ලෝකයක් රවටා ලෝකයක් බේරා ගන්නට වෙර දැරූ රතු ඉන්දියානුවාගේ කතාව
මා හා සමකාලීනයකු වේ නම් එක්තරා වසරක
සිංහල පෙළ
පොතේ පිටු අතර රැඳුණු මෙම ප්රකාශය ඔබට මතක
යැයි සිතමි.
"...මේ මහපොළොව මිනිසාට අයිති නැති බව අපි දනිමු. මිනිසා අයිති වන්නේ මහපොළොවටය. ඥාතීන් සියලු දෙනා එකම ලේ බැම්මකින් බැඳෙන්නාක් මෙන් මෙලොව ඇති සියලු දෑ ද එකිනෙකට බැඳී පවතී. ජීවන ජාලය වියන ලද්දේ මිනිසා විසින් නොවේ. ඔහු හුදෙක් එහි එක් වර පටක් පමණකි. ඔහු මෙම ජීවන ජාලයට යම් බලපෑමක් කරයි ද, හෙතෙම එය තමන්ට ම සිදුකරගත්තා වේ..."
එය 1854 දී ඇමෙරිකානු රතු ඉන්දියානු ගෝත්රික නායක සියැටල් විසින් ඇමෙරිකානු
ජනාධිපතිවරයා වෙත යැවූ බව කියවෙන අසමසම සංදේශයේ කොටසකි. සොබාදහම සහ මිනිසා අතර
ඇති අදෘශ්යමාන එහෙත් නොබිඳිය හැකි මෙම ආත්මීය සබඳතාව, රතු ඉන්දියානු ජනප්රවාද තුළ කොතරම් තදින් මුල් බැස තිබේද යන්න රතු
ඉන්දියානු නායක හයවතාගේ ජීවිතය පදනම් කරගනිමින් Henry Wadsworth Longfellow
ලියූ සුප්රකට "The Song of
Hiawatha" කාව්ය සංග්රහය තුළින් ද මුළු ලෝකයටම
තිළිණ කෙරිණි. නමුත් මෙය හයවතාගේ හෝ සියැටල්ගේ කතාව නොවේ.
1999 දී ලෝ ප්රකට සිනමාකරුවෙකු වන Richard Attenborough විසින් සිනමාවට නඟන ලද ‘Grey Owl’ සිනමාපටය දිග හැරෙන්නේ සියැටල්ගේ දාර්ශනික හඬත්, හයවතා සම්බන්ධිත කාව්යමය වනගත සංකල්පනාවනුත් එකට කැටි කරගත් චරිතාපදානයක් ලෙසිනි. සොබාදහමේ ජීවන ජාලයෙන් මිනිසාට වෙන් විය නොහැකි බවත්, එය විනාශ කිරීම තමන්ටම කරගන්නා විනාශයක් බවත් 'අළු බකමූණා' නොහොත් Archieගේ චරිතය තුළින් මුළු මහත් මිනිස් සංහතියටම නැවතත් අවධාරණය කරයි.
මෙම සිනමා නිර්මාණය පදනම් වී ඇත්තේ
ආර්චි නම් 'සැබෑ' රතු ඉන්දියානුවෙකු; පරිසරවේදියෙකු
මතය. පෝස්ටරය බැලු විට ඔහුගේ චරිතය රඟ දක්වනුයේ ප්රවීණ Pierce Brosnan නම් තනිකර සුද්දා බව ඔබට පෙනෙනු ඇත. ‘ජේම්ස්
බොන්ඩ්’ ලෙස අතිශය ආකර්ෂණීය හා විලාසිතාමය චරිතය නිරූපණය කළ පියර්ස් බ්රොස්නන්ය.
නළුවරණයේදි රතු ඉන්දියානුවෙකු ලෙස, කිසිදු
රතු ඉන්දියානු හැඩයක් නැති හද්ද සුද්දෙකු තෝරාගන්නට Attenboroughට පිස්සු යැයි කියා චිත්රපටයේ මුල් කොටසේදී
ඔබට සිතෙනු ඇත. නමුත් චිත්රපටය මුළුමනින්ම නරඹා අවසානයේදී මෙම 'සැබෑ' රතු ඉන්දියානුවා නිරූපණය කරන්නට Brosnan හැර වෙනත් සමතෙකු නැතිය කියාද ඔබට වැටහෙනු ඇත.
මහා නිර්මාණකරුවෙකු වන රිචඩ් ඇටෙන්බරෝ
මෙහි අධ්යක්ෂවරයා ලෙස කටයුතු කිරීමම චිත්රපටයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට හේතු
වී ඇතත් එකල මෙය කතාබහට ලක් නොවූ ආදායම් නොයිපදවූ චිත්රපටයක් ලෙස සඳහන් වීම
අදහාගත නොහැකිය. මීට පෙරද, ගාන්ධි (1982) වැනි දැවැන්ත චරිතාපදාන බොහොමයක් සිනමාවට නංවා
ඇති ඇටෙන්බරෝ, මෙහිදීද හුදෙක් චරිතයක ජීවිත කතාව
පෙන්වීම වෙනුවට මිනිස් මනසේ සංකීර්ණතා සමඟින් මිනිස් බැඳීම් සූක්ෂම ලෙස තිරයට
ගෙනැවිත් තිබේ. කැනඩාවේ මනස්කාන්ත වනාන්තර දර්ශන එකතු පහදු කොටගත් ස්වභාවධර්මයේ
දැවැන්ත කැන්වසය ඔහු වර්ණගන්වා ඇති අයුරු අපූරුය.
මුල් කාලීනව ආර්චි නම් අපගේ කථා නායකයා
එම සමාජයේ ප්රකට දඩයම්කරුවෙකු ලෙස වනාන්තරයේ ජීවත් වුවද, පසුකාලීනව ලෝක ප්රසිද්ධ පරිසරවේදියෙකු,
ලේඛකයෙකු සහ කැනඩාවේ වනාන්තර හා වනජීවිත
සුරැකීමේ පෙරගමන්කරුවෙකු බවට පත් විය. ඔහුගේ සැබෑ ජීවිතයේ සත්යය සමඟින් යටකී එම
වෙස් පෙරළුම චිත්රපටය තුළ ඉතා සංවේදී ලෙස මතු කර තිබේ.
වනාන්තරයේ තනිව හැසිර, කිසිදු
මිනිස් හැඟීමකට ඉඩ නොදී, ගල්පර්වතයක් මෙන් දැඩිව, රළු ලෙස ජීවත් වූ ආර්චිගේ ජීවිතය සම්පූර්ණයෙන්ම
උඩු යටිකුරු වන්නේ නවීන ලෝකයත් සමඟ මුසු වු පෝනි නම් තරුණ රතු ඉන්දියානු තරුණිය
ඔහුගේ ජීවිතයට පිවිසීමත් සමඟය. එම චරිතය රඟදක්වන ශිල්පිනිය දුටු සැණින් ඔබට
හුරුපුරුදු බවක් දැණුනා නම් ඒ බොලිවුඩ් සිනමාවේ Diana Penty නිසා විය හැක. පෝනි යනු හුදෙක් ප්රේමවන්තියක්,
දඩබ්බර සිතැත්තියක් පමණක් නොව, සොබාදහමේ සියුම්ම ජීවීන්ට පවා අසීමිත කරුණාවක්
දැක්වූ ආත්මීය ස්ත්රියකි. අනාථ බීවර පැටවුන් (Beavers) දෙදෙනෙකු කෙරෙහි ඇය දැක්වූ පිවිතුරු දයාව නිසා, එය දැකීමෙන්ම, බීවරයන් දඩයම් කිරීම තම වෘත්තිය කරගත්
ගල්හදවතැති ආර්චි ක්රමයෙන් මෙලෙක් වන්නට පටන් ගනී. ඇගේ බීවර ප්රේමය ලේ උරා බොන
දඩයම්කරුවෙකුගේ අත රැඳි පිහිය ගිලිහුවා,
පරිසර ආරක්ෂකයෙකුගේ සුරත මත පෑනත් මුවඟ මත කටහඬත් තබවන්නට සමත් වේ.
ලෝකයා රවටා එක්තරා මහා වංචාවක් කළද,
එමඟින් ඔහු අවසානයේ ලෝකයාට දුන් පණිවිඩයක්
විණි. චිත්රපටයේ එන එක්තරා අවස්ථාවක එම වංචාව හඟින ලද රතු ඉන්දියානු ගෝත්රික
නායකයෙකු කුළුපගව සිනහමුසු මුහුණින් ඔහු වෙත පවසන දෙබස කැටි කරලන්නේ එම පණිවිඩයයි. "Men
become what they dream... you have dreamed well."
මෙම මහා වංචාව නොවේ නම් අපි ඔහු ගැන
මෙලෙසින් නැවත කතා නොකරනු ඇත.
© Vijayanthi
Vandebona | 2026-Oct-11 | Published in FB Group සිනමාවේදීන් - The
Cinema People

Comments
Post a Comment