2000 දශකය මුල් භාගයේ දී දකුණු කොරියාවේ සෝල් විශ්වවිද්යාලයේ පශු වෛද්ය මහාචාර්ය Hwang Woo-suk ප්රමුඛ පර්යේෂක කණ්ඩායම විශ්ම කර්මයක් සිදු කරමින් විද්යා ලෝකය මවිතයට පත් කළහ.

දකුණු කොරියානු රජය ඔහු රටේ පළමු 'උත්තරීතර විද්යාඥයා' ලෙස නම් කළ අතර, කොරියානු ජනතාව ඔහු දෙස බැලුවේ දෙවියෙකු ලෙසිණි. එකල ඔහු දකුණු කොරියාවේ ආර්ථික, වෛද්ය හා තාක්ෂණික දියුණුවේ අනාගත ගැලවුම් කාරයා විය. ඔහු කොරියාවට නොබෙල් ත්යාගය ගෙන එන පළමු විද්යාඥයා වනු ඇතැයි මුළු රටම විශ්වාස කළහ. රජය ඔහුට ඩොලර් මිලියන ගණනින් ප්රතිපාදන ලබා දුන් අතර, ඔහුගේ නමින් තැපැල් මුද්දර පවා නිකුත් විය.
එහෙත් මේ සියල්ල ඔහුට අත් කර දුන්නේ අපකීර්තිමත් කළු පැල්ලමකි. මන්ද යත් මෙම අසමසම විද්යාත්මක ජයග්රහණය පිටුපස තිබුණේ අතිශය අඳුරු යථාර්ථයකි. පර්යේෂණය සඳහා අවශ්ය වූ නිදර්ශක ලබාගැනීමේ දී සදාචාරාත්මක අයිතිවාසිකම් පාගා දමා ඇති බවත්, කනිෂ්ඨ පර්යේෂකයන් ලවා බලහත්කාරයෙන් නිදර්ශක ලබා ගෙන ඇති බවත් හෙළි වන්නට වැඩි කලක් ගත නොවීය. එයටත් වඩා අතිශය බරපතළ කරුණ වූයේ, ඔහු ප්රකාශයට පත් කළ පර්යේෂණ පත්රිකාවේ ඇති දත්තවලින් බහුතරයක් සම්පූර්ණයෙන්ම ව්යාජ ලෙස සකස් කරන ලද ඒවා වීමය. විද්යාත්මක සත්යය පසෙක ලා කීර්තිය සහ බලය වෙනුවෙන් කරන ලද මෙම මහා වංචාව හෙළිදරව් වූයේ, ඔහුගේ ම කණ්ඩායමේ සිටි එක් නිර්භීත විද්යාඥයෙකුගේ ඉදිරිපත් වීම නිසා ය. මෙම අපකීර්තියත් සමඟ මහාචාර්යවරයාට සිය තනතුරින් ඉල්ලා අස්වීමට සිදු වූ අතර, මුළු මහත් විද්යාත්මක ප්රජාවම මින් දැඩි ලෙස කම්පාවට පත් විය. මෙම වංචාව හෙළිකරමින් කරළියට ආ එම පර්යේෂණ කණ්ඩායමේ ම සිටි Ryu Young-joon සමඟින් එක්වූ PD Note රූපවාහිනී වැඩසටහනේ Han Hak-soo ඇතුළු ගවේෂණාත්මක මාධ්යවේදීන් පිරිස නොවන්නට කොරියානුවන් තවමත් Hwang Woo-suk මහාචාර්යතුමා දේවත්වයෙන් අදහමින් සිටිනවා විය හැකිය. Hwang Affair යනුවෙන් ප්රචලිත වූ මෙම සිද්ධිය 21 වන සියවසේ ලෝක විද්යා ක්ෂේත්රය මුළුමනින්ම උඩු යටිකුරු කළ, එමෙන්ම සමස්ත කොරියානු ප්රජාවම දැවැන්ත රැවටීමකට ලක් කළ සිදුවීමකි. රජය විසින් ඔහුට පිරිනැමූ ගරු නම්බු නාමය අවලංගු කළ අතර ඔහුගේ වංචනික පර්යේෂණ පත්රිකා එම ලෝක ප්රකට විද්යා සඟරා වලින් ඉවත් කරගන්නටද කටයුතු යෙදිණි.
Whistle Blower (2014)
මෙම කොරියානු චිත්රපටය නිර්මාණය වන්නේ ඉහත සිදුවීම පාදක කරගෙනය. PD Chase නම් ගවේෂණාත්මක රූපවාහිනී වැඩසටහනක නිෂ්පාදකයෙකු වන Yoon Min-cheolගේ අලුත්ම හඹායෑම Dr. Lee Jang-hwan විසින් සිදු කරන ලද මානව කලල මූලික සෛල ක්ලෝන පර්යේෂණයයි. මෙම පර්යේෂණය අයතා ලෙස සිදු වූවක් මෙන්ම වංචාවක් බවට ද තොරතුරු අනාවරණය කරගන්නේ ගවේෂණාත්මක මාධ්යවේදියෙකුගේ නොසැලෙන ධෛර්යය පෙන්නුම් කරමිනි. නමුත් මෙවර යුන් මින්-චුල් තෝරා ගත් කථාංගයේ අභියෝගය සාමාන්ය දෙයක් නොවේ. ආචාර්ය ලී යනු ජාතික වීරයෙකි. ඔහු කොරියාවේ අභිමානයයි. කොරියානු ජනතාවගේ ආඩම්බරයයි. රජය, මාධ්ය ආයතන, විද්යාත්මක සංගම් මෙන්ම සමස්ත සමාජයම ඔහු පසුපස සිටී. එවැනි බලවත් දැවැන්තයෙකුට එරෙහිව සත්යය ඔප්පු කිරීමට යෑම යනු තම වෘත්තියේ අවසානය මෙන්ම සමාජීය වශයෙන් කොන් වීමට අත වැනීමකි.
ඔහුට තොරතුරු සැපයූ අකටයුතු නාදකයා (Whistle Blower) වන Shim Min-ho මත ඔහුගේ සම්පූර්ණ විශ්වාසය රැඳවිය යුතු වේ. පර්යේෂණාගාරයේ සේවය කොට ඉන් ඉවත් වූ ශිම් මින්-හෝ මහාචාර්යවරයාගේ දකුණු අත වැනි සහයකයා ය. පෞද්ගලිකව පවා දෙපළ අතර වූයේ දැඩි ගුරු ගෝල සම්බන්ධතාවකි. මොවුන්ගේ විරසකය හුදෙක් විද්යාත්මක සහ වෘත්තීය ආචාර ධර්ම වලට (Bioethics) එකඟ නොවීම පමණක් විය හැකිද? මහාචාර්යවරයාගේ PR කණ්ඩායම නිෂ්පාදක යුන් මින්-චුල්ගේ සාක්ෂි එකිනෙක බිඳ හෙළති. නිෂ්පාදක යුන් මින්-චුල් සහ ඔහුගේ කණ්ඩායම සමඟින් ශිම් මින්-හෝ සත්යය හෙළි කිරීමට තැත් දරන විට මුහුණ දෙන මානසික පීඩනය සහ මහජනයාගෙන් එල්ලවන තර්ජන ගර්ජන චිත්රපටය තුළ ඉතා තීව්ර ලෙස නිරූපිතය. “සත්යයක් අනාවරණයෙන් රටේ ගෞරවයත් කෙළෙසේ නම්, රෝගීන් දහස් ගණනකගේ බලාපොරොත්තුත් කඩවේනම්, වැදගත් වනුයේ සත්යය ද, නැතිනම් ජනතා අභිලාෂය ද?” අකටයුතු නාදක ශිම් මින්-හෝ මෙම උභතෝකෝටිකය නගන්නේ නිෂ්පාදක යුන් මින්-චුල් ගෙනි. ඔහු ඊට ලබා දෙන පිළිතුර හරහා මාධ්යවේදියාගේ භූමිකාව කුමක්ද යන්න පැහැදිලි වේ. සමාජය යම් සත්යයක් දරා ගැනීමට අකමැති වුවද, බොරුව මත ගොඩනැගුණු අභිමානය, අවසානයේ දී විනාශයකින් කෙළවර වන බව ඉන් ප්රකට වේ.
King of Clones (2023)
Netflix Documentaryක් වන මෙහි දිග හැරෙන්නේ මෙම වෘතාන්ත චිත්රපටයට පාදක වන සත්ය කතාවය. පෙර කී චිත්රපටයට ඔබේ සිත් ඇදී ගියා නම් මෙය මග නො හැර නැරඹිය යුත්තකි. 'Whistle Blower' චිත්රපටය 2005 වසරේ සිදුවූ වංචාවට සහ මාධ්ය සටනට පමණක් අවධානය යොමු කළද, 'King of Clones' වාර්තාමය චිත්රපටය මගින් "ඊට පසුව මහාචාර්ය හ්වැං වූ-සුක්ට කුමක් සිදුවූයේද?" යන කුතුහලයට පිළිතුරු ලබා දේ. මෙම වාර්තාමය චිත්රපටයේ විශේෂත්වය වන්නේ, මහාචාර්ය හ්වාං වූ-සුක් විසින්ම කැමරාව ඉදිරියට පැමිණ තමාගේ සාර්ථක වීම, වැටීම, පාපොච්චාරණය, සහ වර්තමානයේ ඔහු සිදු කරන පර්යේෂණ ගැන තමන්ගේ ම මුවින් පැවසීමය.
කොරියාවේ විශ්වවිද්යාල තනතුරුවලින් නෙරපා හරින ලදුව, වංචාවට වරදකරු වූ හ්වැං වූ-සුක් නිහඬ වූයේ නැත. ඔහු අබුඩාබි හි රාජකීය පවුලේ අනුග්රහය ඇතිව දැවැන්ත ක්ලෝනකරණ මධ්යස්ථානයක් ආරම්භ කළේ ය. අද වන විට මහාචාර්ය හ්වාං වූ-සුක් සිය අතීත වැරදිවලින් හදවතින්ම පසුතැවිලි වෙමින් අරාබියේ සිට පොහොසතුන් වෙනුවෙන් සුරතල් සතුන් ක්ලෝනකරණය කරමින් සිටියි. රේස් දිනන අලංකාර ඔටුවන් සිය ගණනින් ක්ලෝනකරණය කරයි. දකුණු කොරියාව ඔහුගේ සේවය නැවත ලබා නොගත්තද රුසියාව වැනි අනෙකුත් රටවල් සමඟ වඳ වී ගිය සත්ත්ව විශේෂ නැවත බිහි කිරීමේ පර්යේෂණවල නිරතව සිටියි.
වෛදික දැනුම් පද්ධතියේදි මෘත දේහ භූමදානය කිරීමට වඩා ආදාහනය කිරීමට ප්රමුඛත්වය ලබා දෙන්නේ ඔවුන් අනාගතය දැක අනාගත පරම්පරාවන් ඔවුන්ගේ DNA සමඟ සෙල්ලම් කිරීම වැළැක්වීම සඳහාද යන ගැටළුව ඔබට පැණ නැගෙනු ඇත්තේ මෙහි එන දෙබසකිනි. විද්යාව යනු මානව වර්ගයාගේ භෞතික අඳුර දුරු කරන පහනකි. එය රෝග සුව කිරීමට, ජීවිතය නිරෝගී කිරීමට සහ ලෝකය යහපත් කිරීමට අත්යවශ්ය වේ. නමුත් විද්යාව සදාචාරාත්මක සීමා ඉක්මවා ගිය විට, එය මනුෂ්යත්වයේ ම විනාශයට හේතු වේ. මේ වනවිට ලෝකයේ මෙතරම් ක්ලෝනිත සතුන් වෙසේ යයි මා දැන සිටියේ නැත. එක් අතකින් සතුන් වන්ද්යාකරණයට ලක් කරන මානවයා අනෙක් අතින් ක්ලෝනීකරනය කරමින් අනෙක් සත්ව විශේෂයන්හී පැවැත්මේ තීරණය සියතට ගනිමින් සිටියි. 'Whistle Blower' චිත්රපටය සහ 'King of Clones' වාර්තාමය චිත්රපටය අප හමුවේ තබන්නේ එකම අභියෝගාත්මක ප්රශ්නයකි: "විද්යාවට යම් දෙයක් කළ හැකි පමණින්, අප එය කළ යුතුද?" යන්නය.
© Vijayanthi Vandebona | 2026-Oct-29 | Published in FB Group සිනමාවේදීන් - The Cinema People


Comments
Post a Comment