චිත්‍රපටය දිග හැරෙනුයේ 1990 දශකයේ මුල් භාගයේදී ඉන්දියාව මුහුණ දුන් බරපතළ ආර්ථික අර්බුදය සහ ජාතික දේශපාලන වියවුල් මූලික කරගෙනය.
Governor: The Silent Saviour (2026)
මෙහි කේන්ද්‍රීය කතා පුවත දිවෙන්නේ ඉන්දීය මහ බැංකුවේ (RBI- Reserve Bank of India) කාමර, කොරිඩෝවන් සහ රැස්වීම් ශාලා තුළය. මූල්‍යමය තීන්දු තීරණ මඟින් රටක් බංකොලොත් භාවයෙන් බේරා ගැනීමට උත්සාහ කරන මිනිසෙකුගේ අරගලය මෙහි දෘශ්‍යමාන කර තිබේ. කොංග්‍රස් පක්ෂය මහ මැතිවරණයේදි පරාජය වීමත්, බලයට පත් හවුල් ආණ්ඩුව බිඳ වැටීමත්, යළි මහ මැතිවරණයත් සමඟ රජීව් ගාන්ධි ඝාතනයත් වැනි දේශපාලන කයි කතන්දර මධ්‍යයේ ඉන්දීය ආර්ථිකය ගලාගිය ආකාරය ඉන් විදහා දැක්වේ.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන A. Ramanan නම් මහ බැංකු අධිපතිවරයාගේ (ආණ්ඩුකාරවරයාගේ) චරිතය පදනම් වී ඇත්තේ ඉන්දීය මහ බැංකු
ඉතිහාසයේ එවක
තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ ප්‍රබල චරිතයක් වූ S.
Venkitaramanan මහ බැංකු අධිපතිවරයා මතය. ඔහුගේ දෙවැනියා වන CR, එවක නියෝජ්‍ය අධිපති ලෙස කටයුතු කළ සහ පසු කලක
අධිපති ලෙස උසස් වන C. Rangarajan මත පදනම් වී තිබේ. ඉන්දියාවේ එම කාලය තුළ මූල්‍ය ප්‍රතිපත්ති හැඩ ගැස්වූ ආචාර්ය මන්මෝහන් සිං වැනි දේශපාලනික
නායකයන් කිහිප දෙනෙකුද චිත්‍රපටයේ දැකගත හැකිය.
මනෝජ් බාජ්පායි නම් ශිල්පියාගේ රංගනය
ජල තලයක් වැනිය; ස්පර්ශ කරන පරිසරය අනුව මොහොතින් මොහොත
අනන්ත වූ හැඩතල ගනියි. චරිතයක ආත්මයට ම වැදී එහි සැබෑ ස්පන්දනය ප්‍රේක්ෂක හදවත්
වෙත ගෙන ඒමට ඔහුට ඇති හැකියාව අතිමහත්ය. රාමන්ගේ චරිතයද ඊට වෙනස් නොවේ. භාජනයකට
වැටුණු ජලය එම භාජනයේ හැඩය ගන්නාක් මෙන්, මනෝජ් බාජ්පායි ද තමන් ලබන ඕනෑම චරිතයකට අනුගත වෙමින්, එහි ජීවය ප්‍රත්‍යක්ෂ කරන අයුරු සැබවින්ම
විස්මයජනකය. දැවැන්ත
දේශපාලන පීඩනයන් මැද, අභ්‍යන්තරිකව බිඳී නොවැටී, රට වෙනුවෙන් දැඩි තීන්දු ගන්නා රාජ්‍යතාන්ත්‍රිකයෙකුගේ
චරිතය ඔහු ඉතා විශිෂ්ට ලෙස නිරූපණය කර තිබේ.
චිත්‍රපටයේ දක්නට ලැබෙන අභව්‍ය යැයි
සිතෙන කාරණා බොහොමයක්
වසන්නේ බජ්පායිගේ එම රංගනයයි. මෙම අභව්‍යත්වය උපාය සම්බන්ධී ඉන්දීය බයෝපික් බොහොමයක දක්නට ලැබෙන
කාරණයකි. එනම්
තනතුරු හොබවන ඉන්දියානුවන් බොහොමයක් දෙනා උපාය මාර්ගික තීන්දු තීරණ ගනු ලබන්නේ අධ්‍යාපනයෙන්
හෝ අත්දැකීම් තුලින් ලබන පරිචය විසින් නොව අහල පහලක සිටින කෙනෙකු කරනා යමක්
දැකීමෙනි ඇසීමෙනි. එම නිරූපණය වර්තමානය වන විට ඉන්දීය නිර්මාණ තුළ ඔඩුදුවා ඇති බැවින් දැන් සත්‍යයක් වුවද නොපිළිගන්නා බවට ප්‍රේක්ෂකයා
පත් කොට ඇත.
ජාතියක් ආර්ථික අගාධයකට ඇද වැටෙන
මොහොතක, වාසි පසෙක ලා රට වෙනුවෙන් පෙනී සිටින
නිහඬ වීරයන්ගේ කැපවීම් අගය කිරීමට මෙම චිත්‍රපටය කදිම නිදසුනකි. ශ්‍රී ලංකාව
මෑතකදී මුහුණ දුන් අතිශය අභියෝගාත්මක ආර්ථික අර්බුදයේ අත්දැකීම් හමුවේ මෙම සිනමා
නිර්මාණය ඔබට වඩාත්
සමීප සහ හුරුපුරුදු අත්දැකීමක් වනු ඇත. රටක මූල්‍ය පද්ධතිය කඩා වැටෙන වකවානුවක,
සාමාන්‍ය ජනතාව දෛනික ජීවිතයේ අරගල සමඟ පොරබදන
අතරතුර, තිරය පිටුපස සිට රට ගොඩනැඟීමට නිහඬව
දරන ලද දැවැන්ත උත්සාහයේ සජීවී සාක්ෂියක් මෙහි ප්‍රතිනිර්මාණය වේ. ආර්ථික අර්බුදයක
කටුක යථාර්ථය සජීවීව විඳි අප වැනි ප්‍රේක්ෂක පිරිසකට, මෙම චිත්‍රපටය මඟින් දේශපාලන හා මූල්‍ය තීන්දු තීරණවල බරපතළකම මෙන්ම
සැබෑ නායකත්වයක වටිනාකම නැවත වරක් සිහිපත් කර දෙයි.
© Vijayanthi Vandebona | 2026-Oct-8 | Published in FB Group සිනමාවේදීන් - The Cinema People

Comments
Post a Comment