විනාඩි කිහිපයකට පමණක් පිරිනමන ඇසුරකින් වුවද කල්‍යාණ මිත්‍ර සම්පත්තියකට යමෙකුගේ දිවියේ සම්පූර්ණ ගමන් පථය වෙනස් කළ හැකිය.
මිතුරා: කාඩ් අතක් ගහමුද?
ලැරි: මං දැකලා තියනවා උඹ කාඩ් ගහනවා. මං හිතන්නේ උඹ හොර කරනවා.
මිතුරා: මං දැකලා තියනවා උඹ පොත් කියවනවා. ගල් අඟුරු පතල් කාරයෙක් විදිහට උඹ කියවන එව්වා විහිලු සහගතයි. උඹ ඔය කියවන ඒවා විශ්වාස කරනවද? හොඳ එවුං දිව්‍ය ලෝකෙට, නරක එවුං අපායට... හඃ! වෙන මොනාද උඹ කියවන්නේ? ලෝක විනාසේ, එසීනීන්ලා, ඇරිස්ටෝටල්, ප්ලේටෝ?
ලැරි: හ්ම්...
මිතුරා: රුසියන් යද්දෙස්සා zනාකාර් කොහොමද?
ලැරි: ආ...?
මිතුරා: උපනිෂද්?
ලැරි: ආ...?
මිතුරා: උඹ උපානිෂද් කියවලම නෑ? එහෙනං උඹ ගොඩක් දේවල් දන්නේ නැහැ. හඃ!, ඇත්තටම උඹ මුකුත්ම දන්නේ නෑ නේද?
ලැරි: මට උඹේ පොත ණයට දීපං
මිතුරා: පතල් කාරයන්ට මගේ පොත් දෙන්නේ නෑ. උන්ගේ අත් කිළුටුයි. උඹ ඉන්දියාවට ගිහිං තියනවද?
ලැරි: ඇයි මොනාද එහෙ තියෙන්නේ?
මිතුරා: දවසකට තුන් වතාවක් යාඥා කරන කෝටි ගාණක ජනතාවක්. එහෙ පිළිතුරු තියෙනවා. ඉන්දියාව කියන්නේ තනිවෙච්ච තැනක්. මෙන්න ගනිං උපානිෂද් පොත. ඒත් උඹට පොතෙන් උත්තර හොයාගන්න බැරිවෙයි. උඹට එහෙ යන්න වෙයි.
මිනිස් ජීවිතයේ අරුත සොයා යන ආත්මීය ගමනක් ගැන කියැවෙන මෙම චිත්‍රපටය, W. Somerset Maugham විසින් 1944 දී රචනා කරන ලද The Razor's Edge නවකතාව ඇසුරින් නිර්මාණය කරන ලද්දකි. චිත්‍රපටය ආරම්භ වන්නේ පළමු ලෝක යුද්ධයේ බිහිසුණු අත්දැකීම්වලට මුහුණ දී, ඉන් ලැබුණු මානසික කම්පනය නිසා සාමාන්‍ය ලෝකයේ භෞතික අරමුණු සමඟ ඉදිරියට යාමට නොහැකි වන ලැරී ඩැරල්ගේ අභ්‍යන්තර අරගලයෙනි. යුද්ධයේදි ලැරීගේ දිවිය ගලවාදී ඔහු ඉදිරිපිට මියැදෙන අණදෙන නිලධාරියාගේ මරණය ඊට ප්‍රධානතම හේතුවයි. යුද්ධයේ තම කාර්යභාරය නිමවා ගෙදර එන ඔහු, ධනය හෝ සමාජ තත්ත්වය පසෙක ලා ජීවිතයේ සැබෑ අරුත කුමක්දැයි, තමන් තවමත් ජීවත් වන්නට ඉතුරු වූවේ කුමන හේතුවකට වේ දැයි සෙවීමක යෙදේ.
ඔහුගේ මෙම ප්‍රයාණය නිසා ඔහුට සිය පෙම්වතිය වන ඉසබෙල් පවා අහිමි වේ. ඉසබෙල් ධනවත්, සාම්ප්‍රදායික ජීවිතයක් තෝරා ගන්නා විට, ලැරී ජීවිතයේ දිග පළල මැනීමට තෝරාගන්නේ පොළව අභ්‍යන්තරයේ අඳුරු අගාධයයි. එලෙස යුරෝපයේ ගල් අඟුරු පතලක වැඩ කරමින් සිටින අවධියේ ඔහුට මුණ ගැසෙන ඉහත දෙබසින් දැක්වූ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිසා ඉන්දියාවට ගොස් හිමාල කඳුකරයේ ලඩාක් කඳු මුදුන් තරණය කොට, අඳුරු අගාධයේ සිට ශිඛර අලෝකය දක්වා ජීවිතයේ උස සොයාගනී. බිම්මල් යට පිපුනු පැතුම් පෑගී යන විට කඳු මුදුනට නැග ජීවිතයේ උස බලන්න යැයි ඉන්දිකා උපමාලිගේ හඬින් ටෙලි නාට්‍යයක් උදෙසා කියන රත්න ශ්‍රී විජේසිංහයන්ගේ අවවාදය වන්නේද එවැන්නකි.
මෙම සිනමාපටය පුරාම ප්‍රේක්ෂකයා මුහුණ පාන ප්‍රධානතම ව්‍යාකූලත්වය වන්නේ Bill Murray විසින් ලැරීගේ චරිතයට ලබා දී ඇති අර්ථකථනයයි. ලැරී ඩැරල් යනු යුද්ධයේ අඳුරු අත්දැකීම්වලින් බිඳී ගිය, මිනිස් පැවැත්මේ ගැඹුරුම දුක් වේදනා සහ දාර්ශනික ප්‍රශ්න සමඟ පොරබදින මිනිසෙකි. එවැනි චරිතයකට වඩාත් උචිත වන්නේ ගැඹුරු, සංයමයෙන් පිරි සහ බැරෑරුම් මුහුණුවරකි. ප්‍රේක්ෂකයාට ඔහුගේ වේදනාව සහ අවංක සෙවීම තේරුම් ගැනීමට එම සීරියස් මුහුණ අත්‍යවශ්‍ය වේ. එහෙත්, චිත්‍රපටය පුරාම බිල් මරේගේ මුවේ රැඳී ඇත්තේ අමුතුම ආකාරයේ අඛණ්ඩ මෘදු සිනහවකි. ඔහු බරපතළ දාර්ශනික කාරණයක් සාකච්ඡා කරන විට පවා, නැතහොත් ජීවිතයේ ඛේදවාචකයන්ට මුහුණ දෙන විට පවා ඔහුගේ මුවඟේ මෙම ලා සිනහව රැඳී තිබේ. මෙම සිනහව කෙතරම් දුරට චරිතයට ගැළපේද යන්න සැබවින්ම ව්‍යාකූල කරවන සුළුය. මන්ද යත්, එම සිනහව තුළ යම්කිසි සැහැල්ලු, සරදම්කාරී, ප්‍රහසනාත්මක බවක් ගැබ් වී ඇති බව දැනෙන බැවිනි. එය බිල් මරේගේ ස්වභාවික කොමඩි ප්‍රතිරූපය නිසා වන්නට පුළුවන, නැතහොත් ඔහුගේ රංගන ශෛලියේ සීමාවන් නිසා වන්නට පුළුවන. මෙම සිනහව නිසා ලැරීගේ අභ්‍යන්තර වේදනාව ප්‍රේක්ෂකයාට විශ්වාස කිරීමට අපහසු වේ. ඔහු සැබවින්ම ලෝකය දෙස බලා සිනාසෙන ඥානාවන්තයෙක් ලෙස පෙනී සිටීමට උත්සාහ කරනවාද, නැතහොත් තවමත් ප්‍රහසන ලෝකයෙන් මිදෙන්නට නොහැකි වූ නළුවෙක් ලෙස පෙනී සිටිනවාද යන්න තීරණය කිරීම අපහසු කාරණයකි. ජනගත වූ දාර්ශනික චරිතයකට ප්‍රහසන නළුවෙකු යොදා ගැනීමම විශාල අවදානමකි. නමුත් මෙය ඔහුගේම අවශ්‍යතාවක් මත නිර්මාණය කළ චිත්‍රපටයක් බැව් සඳහන් වේ. බිල් මරේ මෙම චරිතය වෙනුවෙන් තදින්ම කැපවී කටයුතු කළ බව පෙනෙන්නට තිබුණද, ඔහුගේ මුහුණේ නිරන්තරයෙන් රැඳුණු ඒ මෘදු, ලා සිනහව තුළ තිබූ ප්‍රහසන ස්පර්ශය, අගනා කතාවක් සහිත චිත්‍රපටයේ සමස්ත බැරෑරුම්බාවයට බාධාවක් වූ බව සිතමි. එම නිසා Seven Years in Tibet (1997) වැනි ආකර්ශනීය නිර්මාණයක් වන්නට තිබූ අවකාශය නැතිවී ඇති බවක් හැඟේ.
මීට පෙර අවස්ථාවක 1946දී The Razor's Edge නම් වූ කෘතිය සිනමාවට නැගී ඇති අතර "රතු මායිම" නමින් The Razor's Edge කෘතිය අනුලා ද සිල්වා මහත්මිය අතින් පරිවර්තනය වී ඇති බව දැනගන්නට ලැබුණි. කතුවරයා හින්දු ධර්මය මූලික කොට ගෙන ලැරීගේ චරිතය විහිදුවා ඇතත් චිත්‍රපටයට අනුව ඔහුගේ ආධ්‍යාත්මික පිබිදීම සිදුවන්නේ ලඩාක් හි පිහිටි බෞද්ධ ආශ්‍රමයකිනි.
© Vijayanthi Vandebona | 2026-Sept-16 | Published in FB Group සිනමාවේදීන් - The Cinema People

Comments
Post a Comment