Outnumbered (2007-2014)

මෙන්න මේ චුට්ටි ගෑණු ළමයගේ ක්ලිප් කෑලි දැකල දැකලම බලන්න හිතුණු British Sitcom එකක්. 


Karen Brockman (Ramona Marquez)


ජීවිත රඟමඬලේ රඟපාලා දවසෙ මහන්සි නිවෙන්න ආයේ ඒ රංගනයම තිරයක් ඉදිරියේ බලන්න ආසාවක් හිතෙන එක බොහොම විකාරයක් වගේ වුණත්; නිල රේටින්ස්, viewership දත්ත, සම්මාන උළෙලවල් ගණනාවකදී මේ ටෙලි මාලාව දිනාගන්න සම්මාන පිට සම්මාන නිසා ඒ විකාර සත්ය අපට භාර ගන්න වෙනවා.

කතාව කැරකෙන්නේ ලන්ඩනේ ජීවත් වන Brockman පවුල වටේට; ගෙදරක ළමයි තුන්දෙනෙක් ඉන්නකොට පවුලක වෙන අලකලංචි. තේමාව Parenting, එහෙමට ලොකු දෙයක් නෑ. ඒ වුණාට ඉදිරිපත් කරලා තියෙන ප්රහසනාත්මක විදිහේ පවුලේ සැමට බලන්න පුළුවන් මොකද්දෝ අමුතු ආකර්ශනයක් තියෙනවා. Seasons 5ක් පුරාම ප්රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙන්නේ ඒ හන්දමයි. ඒ ආදරය උපරිම අවස්ථාවේදි ඒක අඳුනගෙන ටෙලි මාලාව නවත්තන්න කටයුතු කිරීමට තරම් නිර්මාණකරුවන් බුද්ධිමත් වීම ඇත්තටම පසසන්න ඕනි.

චරිත ගැන කිව්වොත් තාත්තා පාසල් ඉතිහාස ගුරුවරයෙක්. අම්මා පාට් ටයිම් Personal Assistant වගේ වැඩ, ළමයින්ගේ වැඩත් එක්ක. ළමයි ඉස්සරහ "අපි හොඳ අම්මලා තාත්තලා" කියලා පෙනෙන්න හදන, ඒත් යටින් අසරණ වෙලා ඉන්න දෙමව්පියන්ගේ ඇත්තම ඇත්ත මුහුණුවර මේ දෙන්නා මාරම ලස්සනට නිරූපණය කරනවා. ලොකුපුත්ර රත්නය ළමා වියෙන් ගැටවර වියට පා තබන්න ඔන්න මෙන්න. මැද පුතා ගෙදර අනික් පැත්ත වුණත් පෙරලන්න පුළුවන් හයිපර් ඇක්ටිව් දඟකාරයෙක්. බඩපිස්සි තමයි මෙන්න මේ පුංචි කෙල්ල. එයාගේ තියෙන්නේ මහ අමුතු දාර්ශනික අහන් ඉන්න කෙනාව බිත්තියට හේත්තු කරන විදිහේ තාර්කික ප්රශ්නයි උත්තරයි අදහසුයි. Season 1, 2 & 3 කාලේ ළමයි ගොඩක් පොඩියි. හුරුබුහුටි, වද දෙන කාලේ. හිනා කාලා මැරෙන්න පුළුවන් සීන් ගොඩක් තියෙන්නේ මේ කොටස්වල. 2014දි ටෙලි මාලාව ඉවර වුණාම එයාලා ආයේ 2016දියි 2024දියි නත්තල් විශේෂ දෙකකට එකතු වෙනවා. 2024 නත්තල් කතාව බැලුවම හිතට දුකක් දැනෙන්නේ අනිත්ය මෙනෙහි වෙලා. ඒ හන්දම ඒකේ රේටින් එච්චර හොඳ වෙන්නේ නෑ. තිරයක අපි දකින්න බලාපොරොත්තු වෙන නත්තල් වයිබ් එක එතැන නැහැ. තියෙන්නේ කාලය ඉගිලෙනකොට අපි හිතන්න දකින්න අකමැති ඇත්තම ඇත්ත.
මං කතාවේ දැක්ක විශේෂතා කිහිපයක් සඳහන් කරන්න කැමතියි. එකක් තමයි මුල් සීසන් කිහිපයේ විශ්වාස කරන්න අමාරු තරම් ඒ වයසට අර පොඩි උන් දෙන්නගේ ස්වබාවික රංගනය. ඒකට හේතුව ළමයින්ට කලින් ලියපු දෙබස් දීලා නැති බව සඳහන් වෙනවා. Semi-Improvisation; ඒ කියන්නේ සීන් එක පටන් ගන්න කලින් ළමයින්ට "ඔන්න ඔයා මෙතැනදී මෙන්න මේ වගේ දෙයක් අහන්න ඕන, කියන්න ඕනි" කියලා පොඩි අදහසක් විතරක් දෙන එක. ඊට පස්සේ කැමරාව ඔන් කළාම ළමයි උන්ගේ හිතට එන විදිහට කියවනවා උත්තර දෙනවා. අර වැඩිහිටි නළුවන් දෙන්නට සිද්ධ වෙනවා ඒ වෙලාවේ ළමයි කියන ඒවාට සැබෑ ජීවිතයේ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් ප්රතිචාර දක්වන විදිහටම රියැක්ට් කරන්න. අන්න ඒ නිසා මේකේ තියෙන දෙබස් අතිශය තාත්වික බවක් දැනෙනවා. ඒ විතරක් නොවෙයි බ්රිතාන්යයේ ළමා ශිල්පීන් වෙනුවෙන් තියන දැඩි නීතිමය තත්වය නිසා, විශේෂයෙන්ම ශ්රමය සම්බන්ධයෙන්, එයාලට සෙට් එකේ ඉන්න පුළුවන් පැය ගණන අතිශය සීමිතයි. මේ හන්දා අම්මගෙයි තාත්තගෙයි ප්රතිචාර දක්වන reverse shots අරගෙන තියෙන්නේ පස්සේ. ඒ උදව්වට ළමයි වගේ විග් දාපු, ළමයගේ මට්ට්මට ඇස් ඇඳපු කොසු මිටවල් පාවිච්චි කෙරුණයි කියලා කියවෙනවා.
අනෙක් විශේෂත්වය තමයි අලවලා තියෙන වීඩියෝවේ වගේ පවුලේ කතාබහවෙන කාලීන ජාතික සිද්ධි. මේ දාලා තියෙන වීඩියෝවට අදාළ වෙන්නේ ගොර්ඩන් බ්රවුන් බ්රිතාන්ය අගමැති වෙලා හිටපු කාලේ ප්රසිද්ධ සිද්ධියක්. BBC වගේ ජාතික නාලිකාවක ඒ වගේ දර්ශනයකට අවසර ලැබුනෙ කොහොමද කියලා හිතෙන්නේ අපිට පුරුදු නැති නිසාද මන්දා. මේ වගේ කාලීන පුවත් විතරක් නෙවෙයි; ගෝඩන් රැම්සේ, නයිජෙල්ලා ලෝසන් වගේ බ්රිතාන්ය සූපවේදීන්, ඩේවිඩ් බෙකම් වගේ බ්රිතාන්ය ක්රීඩා තරු, එකී මෙකී නොකී ගායකයන් නළු නිළියන් ලෝක බලවතුන් ආදී විදිහට නොයෙක් නොයෙක් කීර්තිමත් පුද්ගලයන් ගැන, Top Gear BGT ආදි ජනප්රිය බ්රිතාන්ය රූපවාහිනි වැඩසටහන් ගැන, පවුලක් ඇතුලේ කතාබහ වෙන්න පුළුවන් දේවල් බොරු නැතිව නොපැකිළිව ඉදිරිපත් කෙරෙන එකත් මාරයි.


අපි පහු කරමින් යන සමාජීය කාල රේඛාවේ මේ මොහොතේ ඉන්නේ වැදගත් සංධිස්ථානයක. ඩිජිටල් තාක්ෂණය එදිනෙදා පවුල් ජීවිතයට එකතු පහදු වෙන්න පටන් අරන් අරගත්තු කාලය මේ ගෙවී යන්නේ. ඒ බව අනාගතයට මතක සටහනක් විදිහට එකතු කරන්න නිර්මාණකරුවන් දැඩි උත්සහයක් අරගෙන තියෙන බව පේනවා. සීසන් පහක් තිස්සේ; සාක්කුවේ රැඳුනු බට්ටා ෆෝන් එක ස්මාට් වුණු හැටි, අන්තර්ජාලය අත්යවශ්ය භාණ්ඩයක් වුණු හැටි, ජීවිතය (අ)පහසු කරවන පරිගණක යෙදවුම් ඩිජිටල් උපාංග නැතිවම බැරිවුණු හැටි කියාපාන්නේ ඒක. ළමයි ලොකු වෙද්දී ෆෝන් එකටම මූණ ඔබාගෙන ඉන්න එක, ස්ක්රීන් වලට ඇබ්බැහි වෙන එක, සමාජ මාධ්ය අන්තර්ජාලය නිසා එන පොඩි පොඩි ප්රශ්න වගේ දේවල් අම්මයි තාත්තයි පාලනය කරගන්න විඳින විඳවිල්ල අපිට සමීප ඒත් හාස්යජනක විදිහට මේකේ පෙන්වනවා. ඊටත් වඩා ලස්සනේ ඒකට විසඳුම් හොයන්න ළමයින්ගෙන්ම උපකාර ගන්න වෙන එක. නවීන තාක්ෂණයත් එක්ක පවුලක එදිනෙදා ඇතිවන පොරබැදීම හිනා යන විදිහට ඒත් ඇත්ත ඇති සැටියෙන් පෙන්වන්න නිර්මාණ කණ්ඩායම මාර විදිහට සමත් වෙලා තියෙනවා.
Brockman Family


Season එකකට පැය භාගේ එපි 6ක් 7ක් විතරක් තියන නිසා ආයෙ ආයෙ වුණත් Binge-watch කරන්න කිසි අමාරුවක් නැහැ. හොඳ නරක සහ ජීවිතය ළමයින්ට කියාදෙන්න දඟලන දෙමාපියෙක් නම්, දඟලලා ඉවරවෙලා සැහැල්ලුවෙන් ඔළුව නිදහස් කරගන්න, හිනාවකින් දවස ඉවර කරන්න Outnumbered පාවිච්චියට ගන්න පුළුවන්.
© Vijayanthi Vandebona | 2026-Sept-5 | Published in FB Group සිනමාවේදීන් - The Cinema People

Comments