Citizen Kane පැරදවූ How Green Was My Valley

පැරද්දුවා කිව්වට රට්ටු නම් කියන්නේ Citizen Kaneව කැපුවයි කියලා. 



1942 දී පැවැත්වුණු 14 වන ඔස්කාර් සම්මාන උළෙල, සිනමා ඉතිහාසයේ මතභේදයට ලක්වෙච්ච ප්‍රබල අවස්ථාවක්. ඇකඩමියේ හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂවරයා ඇතුළු සම්මාන 5 ක් දිනාගන්නේ How Green Was My Valley චිත්‍රපටය. Orson Wellesගේ සිටිසන් කේන් චිත්‍රපටය අනෙක්වට නිර්දේශ වුණත් දිනන්නේ හොඳම තිර රචනය විතරයි.

සිටිසන් කේන් බලපු අය දන්නවා කතා තේමාවට අනුව පවා බලධාරීන්ගේ කැපුම් පහරවල් වලට ලක්වෙන්න ඕනා තරම් ඉඩ තියෙනවා කියලා. එකක් තමා කතාවට පදනම් කරගත්තයි සැලකෙන ඇත්ත පුවත්පත් අධිපතියා; ඔහු ක්ෂේත්‍රයේ බොහොම බලවන්තයෙක්. අනෙක අධ්‍යක්ෂවරුන් දෙන්නාගේ වයස සහ පරිණත බව. ඒ වෙද්දි John Ford කියන්නේ හොලිවුඩයේ ප්‍රවීණ ගෞරවණීය අධ්‍යක්ෂකවරයෙක්. අනිත් අතට, 25 හැවිරිදි ඕසන් වෙල්ස්, සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ට අභියෝග කළ නවක තරුණයෙක්. මේ මොක වුණත් ජගත් සිනමාවේදීන් Citizen Kane අමතක කරන්නේ නෑ. පස්සේ කාලෙක අනර්ඝ ලේබලයක් මේ චිත්‍රපටයට වදින්නේ ඒ නිසා. ඒ බව මේ සමූහයේම පැරණි ලිපි පිරික්සුමක් කළත් හොයා ගන්න පුළුවන්.

Citizen Kane සිනමා භාෂාවේ තාක්ෂණයේ දැවැන්ත විප්ලවයක් සිදුකළ බව සැබෑවක් වුණත් ජෝන් ෆෝර්ඩ්ගේ How Green Was My Valley හුදෙක් ආන්දෝලනාත්මක ඔස්කාර් ජයග්‍රහණය නිසාම පහත් කළ හැකි චිත්‍රපටයක් නොවෙයි. මානුෂීය හැඟීම්, පවුලක බැඳීම්, සහ සමාජීය පරිවර්තනය අතිශය සුන්දර ලෙස අතීත කාමයකට හරවපු ලස්සන නිර්මාණයක්. මේක බලන්න මට ප්‍රබලම හේතුවක් වුණේ තිස්ස අබේසේකරයන්ගේ දොළොස්මහේ ගංගාව ටෙලි නාට්‍යය. සිදත් (අශෝක පීරිස්) කොත්මලේ සංවර්ධනය දිහා බලාගෙන මෙන්න මෙහෙම තමන්ටම මිමිණගන්නවා. 

"How green was my valley then, and the valley of them that have gone." (එකල මාගේ නිම්නය කොතරම් නම් කොළ පැහැයෙන් සුන්දර වීද... අප හැරගියවුන්ගේ නිම්නයද එසේම විය.) 

මේ වාක්‍ය ඛණ්ඩය උපුටා ගැනෙන්නේ මේ චිත්‍රපටයට පාදක වුණු පොතෙන්; Richard Llewellynගේ How Green Was My Valley කෘතිය. මං හිතනවා පොත චිත්‍රපටයට වඩා තවත් ලස්සන ඇතිය කියලා.


චිත්‍රපටයෙන් දිග හැරෙන්නේ 19 වන සියවසේ අගභාගයේ වේල්සයේ ගල්අඟුරු පතල් ගම්මානයක ජීවත් වුණු මෝර්ගන් පවුලේ පුංචි පුතාගේ අතීත මතක සටහන් විදිහට. මේ වෙල්ෂ් උරුව ප්‍රකටව ඇහෙන්න තියන කාරණයක්. හියුට අයියලා පස් දෙනයි එක අක්කයි. චිත්‍රපටය පටන් ගන්නේ වැඩිහිටි හියු මෝර්ගන් තමන්ගේ උපන් ගම් නිම්නයෙන් සමුගැනීමට සූදානම් වීමත් එක්ක කරන අතීතාවර්ජනයෙන්. පවුලේ සමෘද්ධියේ නැගීම් බිඳවැටීම්, ඒත් එක්කම නිම්නය කාර්මික දූෂණයෙන් පන්ති අරගලවලින් විනාශ වී ගිය ආකාරය, ඒ ළමා විය මතකය ඇසුරින් කථිකයා මතු කරන්න උත්සහ කරනවා. ලොක්කයිගේ කසාදේ, අලුත ගෙනා ලොකු නෑනාට ක්‍රශ් වුණ හැටි, අක්කගේ පෙම් හුටපටේ, කකුල කඩාගත්තම අක්කගේ ධර්මදේශක ක්‍රශ් එක මූඩ් ෆික්ස් කරන්න ආපු හැටි ඒ ශෝචනීය සංවේදි මිනිස් මතකයට රොමැන්තික ස්වභාවයක් ගෙන දෙනවා.

මේ සතුට අතරේ දෝලනය වන්නේ පවුලේ බිඳ වැටීම. ගල්අඟුරු පතල් හිමියෝ සේවකයන්ගේ වේතනය කැපීමත් එක්කම පටන්ගැනෙන වෘත්තීය සමිති අරගල නිසා සාම්ප්‍රදායික එහෙයි කම්කරු නායකයෙක් වෙන පියා සහ වැඩිමහල් පුතුන් අතර මතවාදී ගැටුමක් නිර්මාණය කරවනවා. ආර්ථික පීඩනය නිසා පුත්තු එකිනෙකා ගම රට හැරයාමත් සමාජ සම්මතයන් හමුවේ පරාජය වන ප්‍රේම වෘත්තාන්තයත් චිත්‍රපටයට එක්කරන්නේ ගැඹූරු හැඟීම්බර බවක්. මේ කිසිවක් නොතේරෙන පුංචි හියුට අයියලා අඩිපාරේ නොයා වෙන පාරක යන්න වරමක් ලැබෙනවා. ඒත් ඒකට පයින් ගහලා ඔහුත් පියා වගේ අධ්‍යාපනයේ ආලෝකය අතහැරලා අඳුරු ගුහාවල දුක්ඛිත මග ගන්න පෙළඹෙනවා.

ඇත්තටම මගේ සිත් ගත්තේ මේ චිත්‍රපටයේ එන දෙබස්වල තියෙන කාව්‍යාත්මක රහට. සමහරවිට පොතේම තියෙන එව්වා වෙන්න ඇති.

"There is no fence nor hedge around time that is gone. You can go back and have what you like of it, if you can remember." (ගෙවී ගිය කාලය වටා වැට මායිම් රඳවා නැත. ඔබට මතක නම්, නැවත ගොස් එහි ඇති ඕනෑම දෙයක් වින්දනය කළ හැකිය.)

"Men like my father cannot die. They are with me still, real in memory as they were in flesh, loving and beloved forever." ("මගේ පියා වැනි මිනිස්සු මිය යන්නේ නැත. ඔවුහු තවමත් මා සමඟ සිටිති... ලෙයින් මසින් සිටියාක් මෙන් මතකය තුළද ජීවමානව, සදාකාලයටම ආදරය ලබමින්.)

මේ අතරේ අක්කගේ උපාධිධාරි ධර්මදේශක පිටස්තර ක්‍රශ් එක, පියාට සහ ලොකු-ඉස්කෝල ගමනකට ලැහැස්ති වෙන පුංචි හියුට ගණිත ගැටළු උගන්නන වෙලාවේ දෙබස් පෙළ මුවඟට සිනහවක් එකතු කරනවා. හිල් වෙච්ච නාන බාල්දියක් පිරෙන්න ගතවෙන කාලය හොයන එකේ ප්‍රයෝජනයක් නොදන්න, මේ දිහා අහගෙන ඉන්න, කුස්සියට කොටු වෙච්ච, හැමදාම නාන්න බාල්දි පුරෝන අම්මා, නිෂ්ඵල ගැට‍ළුවක් විසඳන්න තතනන මේ පිස්සෝ තුන් දෙනා දිහා බලන්නේ උපහාසයෙන්.


How Green Was My Valley හුදෙක් අතීතය දෙස බලන ශෝකී ආවර්ජනයක් පමණක් නොවෙයි. මානුෂීය ශක්තිය, පවුලේ බැඳීම් සහ වෙනස් වන ලෝකය හමුවේ මිනිසාගේ පැවැත්ම පිළිබඳ කෙරෙන ගැඹුරු ප්‍රකාශනයක්. Citizen Kane සමඟ පැවති තරඟය නිසා ඇතැම් විට අවතක්සේරු කෙරුණත්, ජෝන් ෆෝර්ඩ්ගේ මේ නිර්මාණය ලෝක සිනමාවේ විශිෂ්ට සම්භාව්‍ය චිත්‍රපට අතර සදාකාලික ස්ථානයක් හිමි වෙන්න ඕනි, කතාබහට ලක්වෙන්න ඕනි.

© Vijayanthi Vandebona | 2026-Aug-7 | Published in FB Group සිනමාවේදීන් - The Cinema People


Comments