The Scapegoat

Gothic Suspense කතා කලාවේ පළමු රැජින වන Daphne du Maurier කතුවරියගේ බොහොමයක් නවකතා/කෙටිකතා මේ වනවිට ටෙලි/සිනමා තිරයේ දිග හැරී තිබේ. ඒ අතරින් වැඩිම ප්‍රමාණයක් චිත්‍රපටයට නගා ඇත්තේ Alfred Hitchcock. අතිශය පාඨක ප්‍රතිචාරය වැළඳගත් Rebecca සහ  Jamaica Inn නවකතා ද්විත්වයද, The Birds නම් කෙටි කතාවද ඔහු විසින් මෙලෙස පුළුල් තිරයට නැගීය.

The Scapegoat by Daphne du Maurier. Old Mass Market Orange Penguin Book

ඉමහත් පාඨක ජනාදරය දිනාගත් Psychological Suspense ශානරයට අයත් ඇයගේ The Scapegoat නම් මෙම කෘතියද දෙවතාවක්ම එලෙස තිරය ඉදිරියේ එළි දැක්වූවකි. නමුත් එම දෙවතාවේදීම ඩැෆ්නි තම කෘතිය හරහා ගොඩනැංවූ උද්වේගකර කුතුහලය සහ අවසානයේ මතුකරලන අවිනිශ්චිතතාව දියාරු කරදමා තිබේ.

එහි කතා තේමාව අපට බොහෝ හුරු පුරුදු එකකි. සුබ සහ යස සේ, Masquerade (2012) කොරියානු චිත්‍රපටයට පදනම් වූ සත්‍ය ඉතිහාස කතාව සේ, ඔවුහු දෙදෙන තම අනන්‍යතාව හුවමාරු කරගනිති. එකෙක් පවුල් බර කරටගෙන සිටින වංශවත් ප්‍රංශ ජාතිකයෙකි. ඔහු ජීවිතය දෙස බැරෑරුම් දෙසින් නොබලන බරක් පතලක් නැති සමාජගත සජීවී චරිතයකි. අඩපණ වූ වීදුරු කර්මාන්තශාලාවක පරම්පරාගත හිමිකරුවෙකි. නමුත් බැඳීම් වලින් දැඩි නොවූ අන් අය අවඥාවෙන් බැහැරලන, ස්වාර්ථකාමී, වගකීම් වලින් මිදී යන්නට වෙර දරන ස්ත්‍රී ලෝලියෙකි. අනෙකා සදාචාරවත් සංයමෙයෙන් යුතුව කටයුතු කරන, කාත් කවුරුවත් නොමැතිව තනිව දිවි ගෙවන ඉංග්‍රීසි ජාතික ප්‍රංශ ඉතිහාස කථිකාචාර්යවරයෙකි. විනෝදයෙන් තොරවූ හුදෙකලා හිස් දිවිය ඔහුට ප්‍රීතියක් නොමැති නමුත්, ඉන් මිදෙන්නට ආසාවක්ද ඇති නමුත්, ඊට තැත් දරන්නෙකුද නොවේ. ඔහු අපගේ කතා නායකයාය. ඔහුට මේ ඇබැද්දිය සිදුවන්නේ ප්‍රංශයේ ගතකරන නිවාඩුවකදීය. එකෙකු තම ජීවිතයෙන් පලා යාමට අනෙකා තම පවුලේ "scapegoat" බවට පත් කරයි.

මෙය අපට හුරුපුරුදු කථා වස්තූන්ගෙන් වෙනස් වන්නේ කතානායකයා සතු වන අනන්‍යතාවය පිළිබඳව ඔහු මෙලෝ අලබෝලයක් නොදන්නා නිසාය. ඔහු කාගේ කවුරුද, ජීවත් වන්නේ කොහිද, විවාහ වී ඇත්තේ කා සමඟද, ජීවන තත්වය ජීවිකාව කුමක්ද, ආශ්‍රය කරන්නේ කවුරුන්ද මේ කිසිදු දෙයක් ඔහු නොදනී. ඔහු දන්නා එකම දෙය වන්නේ නමත්, වියවුල් පවුලක බර දරන බවත්, ඒ ජීවිතය ගැන අසතුටු බවත්, තනිකඩ ජීවිතයකට ඉරිසියා කරන බවත් පමණී. කතාව ගලා යන්නේ පාඨකයා සමඟ ඔහු මේ කාරණා දැනගන්නා අයුරකිනි. අහවලා කවුරුන්ද, ඔවුන් ඔහුට ඇති බැඳීම කුමක්ද ඉතා සියුම් ලෙස අඳුනාගන්නා අන්දම කෘතියෙහි කුතුහලය වඩන ලෙස දිග හැරෙන නමුත් රූප නිර්මාණ තුල ඊට ලැබෙන්නේ අඩු තැනකි.

ශාරීරිකව සහ වාචිකව කිසිවෙකුට හසු නොවන අන්දමේ පුදුමාකාර සමාන බවක් දෙදෙනා අතර තිබුණත් චර්යාවේ සමානකමක් මතු කරන්නේ කෙසේද? ඔහුට හැසිරීම්ද ගලපන්නට සිදුවේ. මේ අතර පවුල අභ්‍යන්තරයේ අමතක කරන්නට තැත් දරන දරුණු මතකයක් වේ. එම කුඩා ඒකකයේ සිටින සියල්ලෝ එම මතකය නිසා රහසේ පීඩා විඳිති. එවන් කිසිඳු මතකයක් නොදන්නා ඔහු ඊට මුහුණ දෙන්නේ කෙසේද, ඒ මතකය සොයාගන්නේ කෙසේද, ඩැෆ්නි කතුවරිය අගනා ලෙස එය දිග හරී.

The Scapegoat (1959): 

ප්‍රවීණ නළු Alec Guinness රංගනය හෙබවූවද කෘතියට වඩා බෙහෙවින්ම වෙනස් වූ දිශානතියකට චිත්‍රපටය ගමන් කිරීම නිසාමදෝ අසාර්ථක නිර්මාණයකි. බොහෝ විට කාලය පැය 1.30ට සීමා කිරීම නිසා කුතුහලය ගොඩනැගීමට කාලය මදි වූවා විය හැක. එමෙන්ම කෘතියේ වූ බොහෝ චරිතද කපා දමා තිබේ. නිෂ්පාදන කාර්යයට ඩැෆ්නි සහභාගී වී තිබියදීත් කතාව වෙනස් කළේ මන්දැයි සිතාගත නොහැකි කාරණයකි.

Alec Guinness Movie Poster - The Scapegoat (1959)


The Scapegoat (2012): 

කෘතියට වඩා වෙනස් වුවද පැරණි චිත්‍රපටයට වඩා ඉහළින් තැබිය හැකිය. Matthew Rhys ද්විත්ව චරිතය නිමවමින් ඇලෙක් ගිනස්ට වඩා ප්‍රශස්ත රංගනයක යෙදේ. ප්‍රංශ පසුබිම මුළුමනින්ම ගලවා බ්‍රිතාන්‍ය පසුබිම්කට මනා ලෙස ගලපා තිබේ. රසයක් එක් කිරීම උදෙසා බ්‍රිතාන්‍ය කිරීටයට සුවිශේෂී වන ඓතිහාසික කාලපරිච්ඡේදයක් දිනයක් එක් කර ඇත. දරුණු මතකයෙහි වූ බර සැහැල්ලු කර තිබීම දුර්වලතාවයකි. චිත්‍රපට දෙකෙහිම සුවිශේෂීත්වය වන්නේ කෘතියෙහි නොවන අවසානයක් ඊට ලබාදීමයි. ඒ අනුව අනෙක් චරිතය පාහර අධම පුරුෂයෙක් බවට හංවඩු ගසා නිශ්චිත අවසානයකින් කතාව නිමවේ. මෙම නිර්මාණයේ එම නිශ්චිත අවසානයට බලාපොරොත්තු සහගත අලංකාරයක් එක් කොට තිබීම වර්ණවත් ගැලපුමකි.

Matthew Rhys | Andrew Scott | Scapegoat (2012) Movie Poster- edited.

© Vijayanthi Vandebona | 2026-July-8 | Published in සිනෙමායා Entertainment

Comments