මේ ටයිටලය දුටු පමණින් නො දන්නා කෙනෙකුට මනසේ පහන් වෙන්නේ මේ චිත්‍රපටය හරිම සුන්දර, මෘදු, හුරුබුහුටි ආදරණීය රොමාන්තික කතාවක් වෙන්න පුළුවන් කියලයි.
![]() |
| My Cousin Rachel (2017) Movie Poster |
ඒත් කතාවේ අයිතිකාරිය Daphne du Maurier බව දැකීමත් එක්ක ම ඒ මධුර අපේක්ෂාව එක පාරටම කඩා වැටෙනවා. අඳුරු, ගුප්ත, ගොතික්, රහස්‍ය කතාවක් ඒ වෙනුවට මනසේ බැඳෙනවා. පොත කියවපු අය නම් කියන්නේ ඩැෆ්නිගේ පොත්වල සුපුරුදු පරිදි තියන අවිනිශ්චිත අවසානය චිත්‍රපට දෙකේ ම වෙනස් කරලා කියලයි. පොත කියවලා නැති නිසා ඒ ගැන කියන්න නම් දන්නේ නෑ. සමස්තය ගත්තත් අවසානය ගත්තත් පෞද්ගලිකව මම නම් කැමති 1952 පැරණි චිත්‍රපටයට. ඒකේ අවසානයට නිශ්චිත අවසානයක් දුන්නත් බලන අපට හිතෙනවා ඒ දුන්නු අවසානයේ කොස්සක් තියනවා නේද කියලා. ඒ කියන්නේ "Did she? Didn't she?" (ඇය නිර්දෝෂී ද? නැත්නම් අපරාධකාරියක්ද?) කියන හැඟීමට අපිට හිතන්න දෙයක් ඉතිරි කරවනවා. ඒත් එක්කම චිත්‍රපටය ආරම්භයේ පෙන්නන එල්ලුම් ගහේ කතාව කොච්චර ගැලපෙනවද කියලා පේන්න ගන්නවා.
ආදරය සහ සැකය අතරේ දෝලනය වන මේ කතාව කියන්නේ පිලිප් ඇෂ්ලි කියන තරුණ හාදයා. අම්මා තාත්තා කුඩා කාලෙදිම අහිමි වෙන ඔහුව කුඩාකාලේ ඉඳන් හදා වඩා ගන්නේ ඔහුගේ තනිකඩ වැඩිමහල් ඥාති සහෝදරයා (cousin) වන ඇම්බ්‍රෝස් ඇෂ්ලි. මේ දෙන්නගේ බැඳීම බොහොම ප්‍රබලයි. 2017 කතාවෙදි මේ බැඳීම දඩබඩ ගලා පෙන්නුම් කරලා ඉවර කරන හන්දා අපට සෘජුව ඇම්බ්‍රෝස් ගැන ලොකු අවබෝධයක් ලැබෙන්නේ නෑ. එතැන ලොකු කාල අවකාශයක් ලබාදෙන්නේ වැන්දඹුවක් බවට පත්වෙන ඇම්බ්‍රෝස්ගේ බිරිඳ -එනම් ටයිටලයේ සඳහන් ගැහැනිය- සහ පිලිප් අතර සිදුවෙන ඇලීම් සහ ගැටීම් වෙනුවෙන්.
British ගොතික් කතාවලට පසුබිම විදිහට Cornwell බොහෝ දෙනෙක් යොදාගන්නේ ඇයි කියලා හිතාගන්න අමාරුයි. අසනීප නිවාඩුවකට කෝන්වෙල් ඉඳන් ඉතාලියට යන ඇම්බ්‍රෝස්, කොහෙන්දෝ පාත් වුණු රේචල්ව ඉතාලියෙදි හදිස්සියෙ ම බැඳලා, හදිස්සියෙ ම මරණයට පත් වෙනවා. මරණෙන් පස්සේ රේචල් ඉතාලියෙන් කෝන්වෙල් එන්නේ ඔහුගේ ලටපට ටික පරම්පරාගත ඔහුගේ උරුම නිවහනට භාර දෙන හේතුවක් එක්ක. මේ රේචල් ගෑණිට පිලිප්ගේ නම් කොහොමටවත් කැමැත්තක් නෑ. තාත්තා වගේ හිටිය ඥාති සහෝදරයා ව උදුරගත්තාය කියනවාට වඩා වැඩි රහසක් ඒ වෛරය ඇතුළෙ කැකෑරෙනවා. හැබැයි ඇයව දකින පළමු හමුවේදිම මේ දේවේශය ඔහුගේ සිතෙන් පළා යන්නේ ඔහුටත් නො දැනීම.
2017 කතාවේ ලොකු ම දුර්වලතාව මෙන්න මේ පළමු හමුව. ඒක බොහොම අජීවී හමුවක්, සංවාදයක්. දුටුවන් මන්මත් කරවන සූකිරි පෙනුමක්, කඩං පනින්න බලන් එන මනුස්සයෙක් ව නො දැනීම දමනය කරන්න පුළුවන් මව්වත් නැළවිලි හඬක් මං Rachel Weiszගේ රංගනයේ දැක්කේ නෑ. ඇය බොහොම සාමාන්‍ය කාන්තාවක වගේ තමයි පේන්නේ. ඒත් ඒකට 1952 රේචල් කියන්නේ ඕන කෙනෙක් පිස්සු වට්ටන්න දමනය කරන්න පුළුවන්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම femme fatale කියන්න ඇහැකි චරිතයක්. චරිතයට පණදෙන්නේ Olivia de Havilland (Gone with the Wind චිත්‍රපටයේ මෙලනි). නමුත් ඩැෆ්නි පෞද්ගලිකව ඔලිවියා අතින් මැවුණු ඒ චරිතය ගැන සෑහීමකට පත් නොවුණු බව සඳහන් වෙනවා.
![]() |
| Olivia de Havilland in My Cousin Rachel (1952) |
1952 පිලිප් චරිතය රඟ දක්වන ප්‍රවීණ නළු Richard Burton තමන්ගේ ජීවිතයේ පළමු ඇගයීම ලබන්නේ මේ චිත්‍රපටයට. ඇකඩමි සම්මාන උළෙලේ හොඳම සහය නළුවා ලෙස නිර්දේශ වීමත් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ හොඳම නැගීගෙන එන නළුවා සම්මානය දිනීමත් ඉන් කැපී පෙනෙනවා. ඒ රංගනය හා කරටකර තරඟයක 2017 චිත්‍රපටයේ නිරත වන්නේ Sam Claflin. නමුත් රිචර්ඩ් බර්ටන් උපතින් ලද මධුරාත්මක ගැඹුරු බැරිටෝන් කටහඬත් සමඟ මුසුවෙන ගින්නෙන් පිරුණු ආවේගශීලී තීව්‍රත්වය ඔහුගේ රංගනය අමතක කළ නොහැක්කක් බවට පත් කරනවා.
ඇම්බ්‍රෝස්ගේ මරණෙට වග කියන්න ඕනි රේචල්ද? ඇගේ සිත කපටි සිතක්ද? ප්‍රේක්ෂකයාව දෝලනය කරමින් අවසානයේ තල්ලු කරදමන තැන ඇත්තටම ඇත්තද? පිලිප්ගේ සැකය ටිකින් ටික මුවහත් වෙනබව දන්න හන්දා ඔහුට අසුවෙන්න එවැනි ලියුමක් ඇය ලියා තැබුවා වෙන්න බැරි කමක් නැහැ කියලා මට හිතෙනවා.
![]() |
| Olivia de Havilland and Richard Burton as Rachel and Philip in My Cousin Rachel (1952) |
පිලිප් කිව්ව විදිහට, ඇම්බ්‍රෝස් එව්ව විදිහට, බලපු අපිටත් ලියන්න වෙන්නේ...
"Were you innocent, or were you guilty?
Rachel, my torment.
My blessed, blessed torment."
කියලා තමා...
© Vijayanthi Vandebona | 2026-July-18 | Published in FB Group සිනමාවේදීන් - The Cinema People



Comments
Post a Comment