පාට දේශපාලනයෙන් තොරව 'ගංගාවතරණය' සහ 'දොළොස් මහේ ගංගාව' බලමු.

මහවැලි ව්‍යාපාරය සම්බන්ධිත ප්‍රොපගැන්ඩා ටෙලිනාට්‍යයක් විදිහට බිහි වුණාට, ඊට පස්සේ පරම්පරාවක ඉපදිච්ච කෙනෙක් විදිහට අවුරුදු 40කට විතර පස්සේ ගංගාව තරණය බලන මට දැනෙන්නේ නියං සායට කාලෙන් කාලෙට මතුවෙන පැරණි තෙල්දෙණිය නගරයේ නටබුන් දකිනකොට වගේ සංවේදනයක්; එහෙමටම ප්‍රචාරණමය ස්වභාවයක් දැන් ඒක උසුලන්නේ නැහැයි කියලා හිතෙනවා. කතාවට පසුබිම් වෙන්නෙත් ජලාශයට යටවෙන පැරණි තෙල්දෙණිය නගරයේ වාසය කරන ඥාති ගැමි පවුල් 2ක නෑනාගෙයි මස්සිනාගෙයි ආදර අන්දරයක්. සමහරවිට ඒකාලේ ඉඳපු අයට, සෘජුව ව්‍යපෘතියෙන් බලපෑමට ලක්වුණු අයට වෙනත් අදහසක් තියෙන්න පුළුවන්. Motorcycle Diaries චිත්‍රපටයේ අර්නස්ටෝ චේගුවේරා මචු පිචු නටබුන් බලන් ඉන්නා අතරවාරේ මෙන්න මෙහෙම දෙබසක් කියනවා. “How is it possible to feel nostalgia for a world I never knew?” අන්න ඒ වගේ, ගංගාවතරණයෙන් මං අත්වින්දේත් එහෙම නොස්තල්ජියාවක්. ලෝකල් ආරාධනා චිත්‍රපටය බලද්දිත්, සේනව (රවින්ද්‍ර රන්දෙණිය) නිකම්ම නිකන් ඉංජිනේරුවෙක් නොකර කොත්මලේ ප්‍රොජෙක්ට් එකේම ඉන්ජිනේරුවෙක් කිරීම ඇතුළේත්, කොත්මලේ ව්‍යාපෘතිය පසුබිම් වීම ඇතුළෙත්, කතාරසයට අමතරව මං අත්වින්දේ අන්න ඒ නොස්තැල්ජියාව.

Tissa Abeysekara's Gangawatharanaya Teledrama Still of Inoka Amarasena (Daughter of Sriyani Amarasena) and Douglas Ranasinghe

වෙනත් පාටක ක්‍රියාකාරි දේශපාලනයක නිරතවුණු ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂකවරයා තිස්ස අබේසේකරයන් ටෙලිනාට්‍යයට එහෙමටම පාටක් නොතවරන්න වග බලාගත්තා වෙන්න ඇති. ඉතින් ඒ හන්දම ජාතික කර්තව්‍යයක ලස්සන මතක සටහනක් විදිහට ඉතිරිවුණ දෙයක් වගේ තැනක අපට ගංගාවතරණය තියත හැකි. පාරම්පරිකව භුක්ති විඳපු ඉඩම් රට වෙනුවෙන් පරිත්‍යාග කිරීම ගැන ස්තුතියක් සහ ගෞරවයක් එහි ගැබ්වෙනවා.

ඊටත් වඩා ලස්සනම දේ ටෙලි නාට්‍යයෙන් දායාද වුණු තේමා ගීතය- පියසිරි විජේරත්න මහතා ගායනා කරන සුනිල් සරත් පෙරේරා මහතා ලියපු "මහියංගණේ රංකොත වාසනාවන්" ගීතය. ගීතයට ටෙලියට සංගීතය සපයපු සරත් ප්‍රනාන්දු මහතා මේ ගීතය බිහිවුණු හැටි ලස්සන මතකයක් දිග හරිනවා සමන් අතාවුදහෙට්ටි මහත්මයාගේ යූටියුබ් නාලිකාවෙන්. ඒ කතාවට අනුවනම් ප්‍රනාන්දු මහත්මයා නොහිටින්න අපිට ඉතිරිවෙන්නේ වෙනත් ගීතයක්.

Gangavatharanaya Teledrama Title


සුනිල් සරත් පෙරේරා මහත්මයා ලියන ගීතයට ඔහු කැමති වෙන්නේ නෑ. මේ වෙලාවේ පෙරේරා මහත්මයා අතින් ගිලිහිලා බිම වැටෙන, පැන්සලින් කුරුටු ගාපු පද පෙළකට ඔහුගේ හිත යනවා. ඒත් ඒක ඉල්ලුවත් පෙරේරා මහත්මයා ඒක දෙන්න කැමති වෙන්නේ නෑ සෙල්ලමට කුරුටු ගාපු දෙයක් නිසා. අන්තිමට සරත් ප්‍රනාන්දු මහත්මයගේ වදේ නිසා සුනිල් සරත් පෙරේරා මහත්මයා ඒක ටෙලි නාට්‍යය සඳහා දෙන්නේ මහියංගණේ රංකොත පද පෙළත් එක්ක බාල නගාට කරන ප්‍රකාශය එකට තියන එකේ කැප අකැප බව මහනායක ස්වාමීන්වහන්සේ කෙනෙක්ගෙන් අසා දැනගෙනය කියලා ඒ වැඩසටහනේදි ඔහු කියනවා. ඒ පද පෙළට ඔහු සංගීතය යොදන්නේ ඉර බැහැගෙන යන ලස්සන සවස්වරුවක දියවන්නා ඔය අසල ඉඳගෙන දියට වැටිලා තියන රතුපාට අහසේ ඡායාව බලාගෙනය කිව්වම අපිට සැක හිතන්න බැරි, ඒ තරමටම ඒ ලස්සන ගීතය පසු පරම්පරාවක ඉන්න අපිවත් වෙළාගෙන තියන හන්දා.



ගායකයා වුණු පියසිරි විජේරත්න මහතා තමන්ගේ කටහඬ ගීතය සඳහා දෙන්නේ හිතමිත්‍ර තිස්ස අබේසේකර මහතාගේ බලවත් වද කිරීමෙන් ගැලවෙන්න විතරයි. බටහිර ආරට නැඹුරු සංගීතඥයෙක් වුණු සරත් ප්‍රනාන්දු මහතාගේ සංයෝජනයකට ඔහු තමන්ගේ ගැමි ආරේ හඬ දෙන්න දක්වන්නේ බොහොම අකමැත්තක්. ඔහු කොහොමටවත් කැමති වෙලා නැහැ මේ වැඩේට. අබේසේකර මහතා ඔවුන් දෙපළ මුණගස්වන අවස්ථාවේදි පවා විජේරත්න මහත්මයා අතට අත නොදෙන්නේ ඒ කේන්තිය නිසා. නමුත් ඒ සියල්ල වෙනස්වෙනවා ඔහු මේ ගීතයේ තනුවට වහ වැටුණට පස්සේ. කොච්චරද කියනවනම් පියසිරි විජේරත්න මහතාව හැරලන්නට යන ගමන පුරාම විජේරත්න මහතා එය මුමුනපු බව තිස්ස අබේසේකරයන් පැවසුවාලු. සරත් ප්‍රනාන්දු - පියසිරි විජේරත්න මිත්‍රත්වය ගොඩනැගෙන්නේ ඊට පස්සේ. මේක ලියන මොහොතේ සරත් ප්‍රනාන්දුගේ හෙවණැල්ල වැටිච්ච පියසිරි විජේරත්නගේ හඬ මාධූර්‍යය මුසු වෙච්ච තිස්ස අබේසේකරයන්ගේ දෙවන මහවැලි ප්‍රොපගැන්ඩා ටෙලිනාට්‍යය දොළොස්මහේ ගංගාවත් යූටියුබට උඩුගත වෙමින් පවතිනවා පෙන්න තියනවා.

Dolosmahe Gangawa Teledrama Title Screen


"මේ චරිත මනඃකල්පිත යැයි අප කෙසේ කියමුද? අප රට වංශ කතාවේ විශාලතම ගම්පෙරළියට හසු වූ දස දහස් ගණන් ජනයා අතර අප පාත්‍ර වර්ගයා ඔබට මුණ ගැසෙනු ඇත."

 -දොළොස් මහේ ගංගාව-

 

© Vijayanthi Vandebona | 2026-July-26 | Published in FB Group සිනමාවේදීන් - The Cinema People

 



Comments