නුගේගොඩ ගුවන් පාලම අසල ජනාකීර්ණ මංසන්ධියේ නිමි ඇඳුම් කඩ සාප්පුවක් අබියෙස සෙවණකට වී සිට ගෙන සිටින තරුණයෙකි. දෙ අතට ම පැටවූ සාප්පු මලු බර ඔහුට මහත් පීඩාවක් ගෙන දුන් බව මුහුණින් පළ විය. දුහුවිලි සුළඟ සමඟ රැඳී- මුදුන් වූ ඉරට පසුව නැගෙන දැඩි හිරු රශ්මියත්, තරඟයට කණ ළඟින් දිවෙන බස් රථ නාදයත්, මොටෝ රිය හොන්ක ශබ්දයත්, ඔහුට අධික වෙහෙසකර බවක් ගෙන දී ඇති වග පෙනේ.

ඒ සුන්දර සෙනසුරාදාවේ තමා අබියෙසින් දිවෙන ජන සමුදාය අතරේ සැඟව, තරුණයාට හුරුපුරුදු වූ ඒ මුහුණ සිව්වැනි වරටත් ඔහු පසුකර ගියේ අතරමං වූවෙකු මඟ සොයන විලසකිනි. ඒ මුහුණේ අයිතිකරු වූවේ තරුණයාගේ සේවා ස්ථානයේ හිමිකරු වූ සිරිවර්ධන මහතා ය.
ඔහු සිටියේ ලොක්කා සමඟ සංවාදයක් ඇරඹිය
හැකි අවස්ථාවක නොවේ. එමෙන්ම තැනක් නො තැනක් - වෙලාවක් කලාවක් නොමැතිව, උස් මිටි කම් නො සලකා කතාවේ ගැලෙන්නෙක් ලෙස ආයතනය තුළ සිරිවර්ධන මහතා ඉතා ප්‍රකට ය. සිරිවර්ධන මහතාගේ ව්‍යවහාරයේ ඇති
ඇතැම් යෙදුම් ජනාකීර්ණ මංසන්ධියක් මධ්‍යයේ අසන්නට තරුණයා මඳ ලැජ්ජාශීලී බවකින්
පසුවිය. කෙසේ වතු ඳු පාලක ගෞරවයත්,
පාලක විශ්වාසය දිනා ගැනීමත් උදෙසා, ඔහු
ලැජ්ජාව පසක ලා සැකයෙන් ලොක්කා අබියෙසට විණි.
"සර්..."
"අහ්!... අයිසේ එරන්ද."
"මං දැක්කා සර් කීප වතාවක්ම මෙතැනින් එහාට මෙහාට ගියා."
"ඔව් අයිසේ, මං මේ ඉංග්‍රීසි පොත් කඩයක් හොයනවා. අපේ ළමයා කිව්වා මේ පැත්තේ බලන්ටය කියලා. අවුරුදු 10කට 20කට පස්සේ මං මේ නුගේගොඩ ඇවිද්දේ. බලනවකෝ ඔක්කොම වෙනස් වෙලානේ
අයිසේ."
"මේ සයිඩ් එකේ නං පොත් කඩ නෑ සර්. බෝගහ
පැත්ත පාරේ අර හරියෙ නම් එකක් තියනවා." එරන්ද ඈතට හිස දිගු කොට පෙන්වීය.
"අහ් එහෙමද? ඔන්න බලන්ට ළමයා අපේ කෙල්ලගේ වැඩ. පාරක් තොටක්වත් හරියකට කියා ගන්ට බැහැ නෙව. කොහොම රාජකාරි කරනවද
මන්දා." සුපුරුදු පරිදි සිරිවර්ධන මහතා කතාවක් මත කතාවක් අලවමින් කතාව දික් ගස්සන්නට
පටන් ගත්තේ ය.
"ඉතිං ඉතිං අයිසේ... අඟහරුවාදා අපේ වැඩේ කොහොමැයි? මට හොයන්ටත් බැරි වුණානේ. වැඩ වැඩී අයිසේ මේ දවස්වල. උඹලගේ පිච් එක
රෙඩිද? ක්ලයන්ට්-ප්‍රසන්ටේශන් එකට ලෑස්තිද?"
"ඔව් සර්... අපි රෙඩි. මං නාමිණි අක්කට ඩෙමෝ
කළා. නාමිණි මිස් ඕකේ එක දුන්නා. අපේ ටීම් එක ලැහැස්තියි සර්."
"හොඳයි, එහෙනම් සඳුදා උදේම ඇවිත් මට රිහසල් එකක් පෙන්නන්ට, තේරුණැයි?
නාමිණීටත් කියන්ට."
"ඕකේ සර්."
"කොල්ලෝ මේ විදිහට දිගටම උඹ හොඳට වැඩ කළොත් උඹට
මේ කොම්පැනියේ හොඳ අනාගතයක් තියනවා,
තේරුණැයි? උඹලා මේ ක්ලයන්ට්ව අල්ලගත්තොත් මං හිතාන ඉන්නේ නාමිණිට හොඳ පුටුවක්
දීලා උඹව නාමිණිගේ පුටුවට මාරු කරන්ට, තේරුණැයි?" සිරිවර්ධන මහතා දැඩි සිනහවකින් මිත්‍රශීලී ලීලාවෙන් එරන්දගේ උරහිස
පිටුපසට තට්ටුවක් දැමුවේ ය. එරන්දගේ මුහුණට ද ප්‍රීතියක් දැණුනි. ඔහු සිරිවර්ධන
මහතාට ගරු කළේ එතුමා යහපත් මිත්‍රශීලී ප්‍රීතිමත් ජොලි පාලකයෙකු වූ බැවිනි. එරන්දගේ දෙ අතේ එල් වී තිබූ බර කන්දරාව
සිරිවර්ධන මහතාගේ නෙත ගැටුණේ මේ මොහොතේ දිය.
"ආ.... ගෑනු ළමයත් එක්කලා ශොපිං ඇවිත්
වගේ." එරන්දගේ මුහුණ ලැජ්ජාවෙන් රතුව අසරණ විය. එවැන්නක් එළි වන්නේ කෙසේ ද? ගෑණු ළමයෙකු අහල පහලකවත් නැත.
"සර් කොහොමද එහෙම හිතුවේ?"
"නෑ අයිසේ ඔය දණගහන් ඉන්න සුරදූතියෝ දෙන්නගේ
බෑග් ඉතින් අපේ කෙල්ලත් නිතරම වගේ ගේනවනේ. ඒකයි මං හිතුවේ. ඉතිං ඉතිං
අයිසේ අපිත් දන්න අඳුනන කෙනෙක් ද?"
"අනේ නෑ සර්... එයා ඇඩ්වටයිසින් ෆීල්ඩ් එකේ
නෙවේ."
"හොඳා... හොඳා... දැං එහෙනං ළඟදිම කොහොම හරි
අපිට පාටියක් සෙට් වෙයිනේ."
එරන්ද මෙසේ ලොක්කාගේ සුහද පෙළීමකට
ලක්වන අතරතුර කෙළිලොල් තරුණියක් ඉමහත් සතුටකින් එරන්ද කරා දිව ආවා ය. "මෙන්න ගෙනාවා." ඇගේ දෑතේ වූ අයිස්ක්‍රීම්
කෝන් යුගලය ඔහුගේ පිටුපසින් ඔහුගේ ඉදිරිය වෙත ගෙන හැර පෑවා ය.
එරන්ද යමෙකු හා සංවාදයක රැඳි බව ඇය
දුටුවේ නැත. ඇය ආගන්තුකයා දුටුවේ මොහොතකට පසුවයි. ඇගේ නෙත් සිරිවර්ධන මහතාගේ නෙත්
හා සම්මුඛ වන විට ඈ ඉමහත් භීතියකට පත් වූ බව පෙණිනි. සිරිවර්ධන මහතා පළමු ව විස්මයටත්
දෙවනු ව කෝපයටත් පත් විය. සංයමයකට පුරුදු පුහුණු වූ
නෙත් තුළින් එදින කෝපාග්නිය උත්පත්තිය ලද බව දුටු එරන්ද මහත් විස්මයට පත් විය. තම
ප්‍රධානියා එලෙස කෝප ගැන්වෙනු ඔහු කිසි කලෙක දැක නැත. කේන්තියෙන් ඉහළට එසවුණු
සිරිවර්ධන මහතාගේ දකුණත අධිවේගයෙන් ඇගේ මුහුණ කරා යන්නට ගොස් හැරී ඇගේ වම් උඩු
බාහුව තදින් ග්‍රහණය කොට ඈ ඇද ගෙන යන්නට විය.
ඇගේ අතින් හිමකිරම් දෙකම බිමට ඇද වැටී
සමතලා විණි. බඩු මලු දෙ අතින් රඳවා ගෙන විස්මය මුසු විවර කරගත් මුවකින් ඔවුන් දෙපොළ
මැකී යන තුරු බලා සිටි එරන්දට දැන් කුමක් කළ යුතු දැයි නො වැටහිණි. දෙදෙනාගෙන් කිසිවෙකුත් කුමක් වූවේ දැයි පවසා ගියේ නැත. ඔහු
පිළිතුරු සොයා ගත නො
හැකි ප්‍රශ්න සමූහයක් මැද අතරමං විය. සිදුවීම් පෙළගැස්ම ඔහු වටා භ්‍රමණය වන සෙයක් ඔහුට හැඟිණි. රථවාහන නාදය ඔහුගේ දෙසවනින් පලා ගියේ
ය. ඇය සිරිවර්ධන මහතාගේ කවුරුන්ද?
සිරිවර්ධන මහතාගේ කතාබහේ නිරතුරුව
රැඳෙන ආයතනයේ කිසිවෙකුත් දැක නැති ඔහුගේ එකම දියණිය මැයද?
වාසගම එකම වූ මුත් එසේ විය නො හැක. ඇය
ඔහුගෙන් සමු ගන්නා නිවසේ සිරිවර්ධන මහතා සිටිනු ඔහු කිසි දින දැක නැත. දිනක එම
නිවසේ සිටි ඇගේ සොහොයුරිය ද ඈතක සිටි ඔහු හා සිනා වී අත වැනුවා ය. එම වත්තේ නිතර සැරිසරනු දැක ඇති හැඩි
දැඩි උසැති මේරූ වැඩිමහලු පුරුෂයා ඇගේ පියා යැයි ඔහු සිතා සිටියේ
ය. දිය වී පදික වේදිකාව දිගේ ගලා යන
අයිස් ක්‍රීම්
පිඬ දෙස තුෂ්ණිම්භූතව ටික වෙලාවක් බලා
සිටි එරන්ද ත්‍රීරෝද රථයකට අත දිගු කොට වහා එම නිවස බලා එපිටමුල්ල දෙසට ඇදී ගියේ ය. වත්තේ සැරිසරන පුරුෂයා ඔහුට හමු විය.
"මොකද්ද උවමනාව?"
"මිස් මාධවී සිරිවර්ධන ඉන්නවද?"
"එහෙම කෙනෙක් මෙහෙ නෑනේ."
"මේක තමයි ඇඩ්‍රස් එක කීවේ සර්." එරන්ද
මුහුණේ කිසිදු වෙනසක් නො පෙන්වන්නට වග බලාගත්තේ ය.
"මොකද්ද කාරණාව?" පුරුෂයා මදක් කල්පනා කොට විමසුවේ ය.
"මිස් මාධවී අපේ ෂොප් එකේ දාලා ආපු පැකේජස් ටික
ආපහු භාර දෙන්න." ඔහු දෑතෙහි රැඳි ශොපිං මලු පුරුෂයා වෙත දැක්විය.
"ඔය කීව නම හරිද?" සැක මුසුව එරන්ද දෙස නෙත් රැඳවූ
පුරුෂයා විමසුවේ
ය.
"ඔව් සර් මේක තමයි නම."
"ඔය නම තියන කෙනෙක් නං අපි හොඳට අඳුනනවා. ඒත්
එයා ඉන්නෙ නං මෙහෙ නෙවේ. හරියටම කවුද මොකද කින්ද මන්ද දන්නේ නැතිව භාරගන්නේ කොහොමද නේද?"
එරන්ද හීන් සීරුවේ සිරිවර්ධන මහතාගේ නම
ගම ඈඳුවේ ය.
"ඒ මිස් ත්‍රිනෙත ඇඩ්වර්ටයිසිං කොම්පැනියේ ජයතිස්ස සිරිවර්ධන මහත්තයාගේ
කවුරුහරි වෙන්න ඕනේ. අපි එයාලගේ ක්ලයන්ට්ස්ලා. ඒකයි වැඩිමනක්ම ආවේ."
"ඔව්, හරි හරි, ඒ මිස්ටර් සිරිවර්ධනගේ දුව තමා. අපි
හොඳට අඳුනනවා
ඒ පවුල. ඒත්, අපේ ඇඩ්‍රස් එකට ගෙන්න කීවේ මොක..."
ඉන් එහාට ඔහු කියූ කිසිවක් එරන්දට නෑසුණේ ය. ඇය මෙවැන්නක් ඔහුගෙන් වසන් කළේ
ඇයි? ඔහු සේවය කරන ආයතනය ඇය දනී. තම ලොක්කාගේ
හැසිරීම් උපහාසයට ලක් කොට විස්තර කළ දිනක ඇයත් ඔහු හා එක්ව සිනාසුණු අයුරුත්, ප්‍රධානියාගේ ඇතැම් තීරණ විවේචනය කිරීමේ දී ඇයත් ඔහු හා එක්ව බැණ
වැදුණු අයුරුත් සිහි කළ ඔහුට දෙලොව රත් විය. ඔහු පියවි සිහියට එළඹියේ පුරුෂයා කොටුබැම්ම පාරේ වූ නිවසක පිහිටීම
විස්තර කරන විටයි.
"…මං කියන්නේ එහාටම ගිහින්
භාරදෙන්න."
තම ස්තුතිය පළ කළ එරන්ද වහා ත්‍රීරෝද රථයෙහි
ආපසු නැගී තම
කුලී නිවස බලා ඉගිළ ගියේ කුතුහලය, දුක, සහ බිය පිරුණු මනසකිනි.
එදින රැය පුරා ඔහුට නින්දක් නො විණි. කාමරය පසෙක වූ ඇගේ ශොපිං මලු දකින වාරයක්
පාසා ඒවා ඔහුට ඔච්චම් කරන වගකි හැඟුණේ. රැකියාවට ආයුබෝවන් කියන්නට සිදු වනු ඇත.
ඉදිරියේ රැකියාවක් සොයා නැවත කල් මරන්නට සිදු වනු ඇත. ඇය මෙතරම් දැවැන්ත රහසක්
ඔහුගෙන් සැඟවූවේ මන්ද? ඇගේ දුරකථනයට කිහිප වරක් ඇමතූ නමුත් එය විසන්ධි
කොට තිබේ. ඇගේ ආදරයේ රහසක් නොවිණි. ඇය හා කඩ සාප්පු ගාණේ, පොත් සාප්පු ගාණේ,
අවන්හල් අතරේ, කෞතුකාගාර කලාගාර මැදින් සැරිසැරූ සුන්දර සතුට පිරි මතක ඔහු සතුය.
ඇගේ පියා ඔහු හා කතා කිරීම වළකනු වස් ඇගේ දුරකථනය උදුරා ගන්නට ඇත. ඉතා දිගු
වට්සැප් පණිවිඩයකට කෙටුණු අකුරු සියල්ල මකා අනතුරුව
ඔහු නැවත මෙලෙස ලීවේ ය. "r u ok?" නමුත් පාන්දර යාමය එළඹී, ඔහුට නො දැනීම දෑස් පියවෙන තුරුත් එය ‘seen’ වී තිබුණේ නැත.
රස්සාව ඇත්තේ වැට උඩය. ඔහුට තවත් නැති වන්නට දෙයක් නැත. ඇය හෝ ඔහු හෝ
සම්මුඛ වී යමක් දැන ගත යුතු බව එරන්ද ඉටා ගති. බඩට උදා අහරක් ද රහිත ව ත්‍රීවිල්
රථයක වූ ඔහු මනසින් සිටියේ සිරිවර්ධන මහතා අබියෙස ය. ඔහුට කිව යුතු කරුණු එරන්ද
එකිනෙක සිතින් පෙළගස්වමින් සිටියේ ය. ඔහු සැබෑ ලෝකයට පිවිසියේ රියදුරා කොටුබැම්ම පාරේ, දුරකතන යෙදවුමේ සලකුණු වූ ස්ථානයේ ත්‍රීවීලරය නැවැත්තූ විටය. දෙ අතින් සමබරකොට
මලු කිහිපය දෑතට ගත් ඔහු ත්‍රීවිලරය පිටත් කොට පුරුෂයා පැවසී නිවසේ අංකය සොයා ගත්තේ ය. ගේට්ටුව අබියෙස සිට නිවස දෙස ඉස්සි
ඉස්සි බලමින් කිව යුතු දෑ යළි පුරුදු පුහුණු වන අතරේ පිටුපසින් හදිසියේ උරහිසට මිත්‍රශීලී තට්ටුවක් වැදිනි.
"අයිසේ එරන්ද!"
පත්තර කිහිපයක් අතින් රැගත්, සරමකින් සැරසී හුන් සිරිවර්ධන මහතා දැක මනසේ පෙළ ගස්වා තිබූ සියල්ල
එරන්දගේ සිතින්
ක්ෂණයෙන් ගිලිහී ගියේ ය.
"සර්!" මුහුණට මුහුණ බලා ගත් දිගු
නිහැඬියාවකින් පසුව ඔහුට මතක් වූයේ එපමණකි.
"හ්ම්, වරෙන්කො ඇතුළට." සිරිවර්ධන මහතා
ගේට්ටුව හැර ඔහු ද සමඟ එරන්ද ඇතුළට ගත්තේ ය. ඔහු පසු පසින් දෙ අතට සමබර කරගත් බර
කන්දරාවද රැගෙන ගේට්ටුවෙන් රිංගන ඇසිල්ලේ පුරුදු පුහුණු වූ සියල්ල යළි මතකයට නගා
ගන්නට එරන්ද සමත් විය.
"සර් මට විනාඩියක් සර් එක්ක කතා කරන්න පුළුවන්ද?"
සිරිවර්ධන මහතා නිශ්ශබ්දව ඉදිරියට ඇදී
යයි. ඔහුගේ කතා පෙට්ටිය අද වැසී ඇත. එහි වූවේ වෙන දා ඔහු වටා නොමැති සන්සුන්
ඕරාවකි. එරන්ද
ද ඔහු පසු පස නිසල ව කාන්දමක් සේ ඇදුණේ
ය. වත්තෙහි කොනක වූ සිමෙන්ති මේසයක් ඉදිරියේ වූ බංකුවක එරන්දට පිටු පා වාඩි ගත්
සිරිවර්ධන මහතා පත්තරයේ
වූ කොටස් එකිනෙක වෙන් කරන්නට වූවේ ය.
"එරන්දට මොනෑයි දැන් කියන්ට තියෙන්නේ?”
ඔහුගේ දෑස් රැඳුණේ පිටුපස හුන් එරන්ද
දෙස නොවේ, පත්තරයේ හෙඩිම දෙසය.
"සර් විනාඩියක් මාධවීට කතා කරන්න දෙන්න පුළුවන්ද?" ඔහුගේ කටහඬෙහි වෙන දා නොවන තැතනීමකි.
"ඇයි දැන් එයාට කතා කරන්ට බැරිද?"
"ෆෝන් මුකුත් වැඩ නෑනේ සර්." සිරිවර්ධන
මහතාගේ කට කොනකට නැගුණු සිනහව පිටුපසින් සිටි එරන්දට පෙනුණේ නැත. ඔහු එරන්දට
ඉදිරිපස වූ බංකුවෙහි වාඩි වන්නට සන් කළේ ය.
"ඉලන්දාරියා, උඹටත් කවදහරි තේරේවි ගැණු දරුවෙක් ඉන්න
කාලෙක, උඹට බොරු කියලා කොල්ලෙක් එක්ක රෝන්දෙ යද්දි
අතටම අහු වුණාම එවෙලෙට එන ආවේගෙ කොහොමද කියලා. අයිසේ තාත්තට බොරු කියලා... මේ මට
බොරු කියලා... එවෙලේ හදිස්සි වුණා තමයි අයිසේ. ඒත් එහෙම නොවී කොහොමද කියහං? උඹ හන්දා මගේ පොඩි එකී මට මෙච්චර කල් කොච්චර බොරු කියන්න ඇද්ද
බලනකොට. ඉන්න එකම කෙල්ල,
මගේ මුළු ලෝකෙම. උඹට තෙරෙනවද? මගේ මුළු ලෝකෙම එතැන බිඳුනා අයිසේ. අම්මෙක් නැතිවුණ ගෑණු දරුවෙක් හදන
එක තාත්තෙකුට ලේසි නෑ. උඹලා මට ඇත්ත කියලා හිටියනං මේ කරදර මුකුත් නෑනේ
අයිසේ."
"මං ඇත්තටම දැනගෙන හිටියේ නෑ සර්, මාධවී මිස් සර්ගේ දුව කියලා. මේ ඇත්තමයි." ඇයට මිස් යැයි ඇමතීමේ
නුපුරුදු බවක් ඔහුට දැනිණි. එසේ නො කීමේ අවසරය දැන් ඔහුගෙන් ගිලිහී ගොස් තිබෙන වග පැහැදිලි
ය.
"අනේ පලයං බං යන්න. කියහං ඕවා කොණ්ඩේ බැඳපු
චීනුන්ට."
"මේ ඇත්තමයි සර්. මාධවී මිස් කීවෙත් නෑ. ඉතිං මං
දැනං උන්නේ නෑ."
"ඉලන්දාරියා, උඹ ඕක මයෙ තරුණ කාලෙ කිව්වනං පිළිගන්ට
තිබ්බා. වයසට ගියාට මාත් තාක්ෂණේ දන්නවා කොල්ලෝ. කන බත් ඇටේ ඉඳලා ෆේස්බුක් අනං
මනං වල දාන අපේ කෙල්ලගේ ෆොටෝ වල මං ඉන්නේ මක්කටයි කියලා උඹට නිකමටවත් හිතුණේ නැතෙයි?"
මාධවී සමාජ මාධ්‍ය භාවිත කරන බව ඔහු
දැන සිටියේ නැත. ඊට හෝඩුවාවක් ද නො තිබිණි. ඇය ඡායාරූප ගැනීමට ළැදිමුත් එම යෙදවුම් කිසි දින
භාවිත කරනු ඔහු දැක නැත. ඇගේ නම දැන ගත් දා අඟලක් නෑර
ඩිජිටල් සමාජ අවකාශය තුළ නම පිරික්සුව ද කිසිවක් ඔහුට හමු වූයේ නැත. ඇගේ හැසිරීම අනුව
ඩිජිටල් අවකාශයේ කාලය කා දමන්නෙකු නොවේ යැයි වැටහීමක් ඔහු තුළ විය.
"ඒ කියන්නේ අපේ කෙල්ල ඔව්වායේ උඹව බ්ලොක් කරලද ආශ්‍රය කරන්නේ... හෑ! අනේ පලයං බං
යන්න..." සිරිවර්ධන මහතාට තවම එරන්ද විශ්වාස අකටයුතු ය.
එරන්දට පිළිතුරු කිසිවක් නොවිණි.
"හරි ඒක එහෙම්මයි කියමු. ඒත් උඹ මගේ ගේ වටේ දවසක් හරි කැරකි කැරකි ඉන්න ඇතිනේ.. මේ ළඟ
පාතින් යන්න එන්න ඇතිනේ. මමවත් අඩුගාණේ මගේ වාහනේ වත් මේ වත්තේ, මේ
අහල පහල තියෙන්නේ මක්කටෙයි කියලා
නිකමටවත් හිතුණේ නැතෙයි?
ඉලන්දාරියා, තව මොකටද මේ උඹ බොරු ඇද බාන්නේ ආ?"
"මං සර්ව දකින්න, කැරකුනේ මෙහේ නෙවේ සර්."
"එහෙනං?"
"එපිටමුල්ල පාරේ ගෙදරක් ළඟ."
"මොකා?"
"මාධවී මං එක්ක එනදාට හැමදාම බහින්නේ ඒ පාරෙන්
සර්. මං හිතුවේ එයා ඉන්නේ එහෙ කියලා."
"ගස් කොළං පිරිච්ච ගෙදරක්ද?"
"ඔව් සර්."
සිරිවර්ධන මහතාට බකස් ගා සිනහ පහළ විය.
"අයිසෙ තමුසෙව අපේ කෙල්ල රවටලා තියෙන්නේ තනියම
නෙවෙයි. පොඩි කාලේ ඉඳන් ඒකිගේ හොඳම යාළුවත් එක්ක." එරන්දට කිව හැකි කිසිවක්
සිතා ගත නො හැකි විය.
"උඹලා කවදා කොහොම මුණ ගැහුණාද මං දන්නේ නෑ. ඒත් කොල්ලෝ මට උඹ ගැන කණගාටුයි. මොකටද බං ඔච්චර
අන්දපු කෙල්ලෙක් එක්ක තව කතාවට යන්නේ. අත ඇරලා දාහං."
සිරිවර්ධන මහතා ඔහුගේ පැත්තට කතා කරයි. ඇය දුටු දිනයේ සිට සබඳතාවය ලියලන්නට බලපෑ සියලු
සිදුවීම් එකින් එක ගලපා ගන්නට එරන්ද තැත් කළේ ය. එහි කිසිදු කුමන්ත්‍රණයක් ඇති
වගක් ඔහුට නො පෙණිනි. එය සාමාන්‍ය ලෙසින් දලු ලූ ආදරයකි.
"මට එයා එක්ක විනාඩියක් කතා කරන්න අවසර දෙන්න
සර්. මාධවීට හේතුවක් ඇති."
"යස හේතුව. තමංගේ වටිනාකම තියාගනිං අයිසේ. මගේ
එකී වුණත් උඹට තරම් වටින්නේ නෑ. දැං උං දෙන්නා උඹ ගැන දොඩෝ දොඩෝ බඩ පැලෙන්න හිනා
වෙනවා ඇති. මං දන්නෙ නැද්ද උං දෙන්නා එකතු වුණාම කයිවාරුව." ලොක්කාගේ ගතු මාධවී හා පවසන විට ඇගේ කෙළිලොල්
මුවින් ලොක්කා වෙත පිටවූ වදන් එරන්දගේ මතකයට දිව ආයේ ය. දැන් මේ ඇසෙන්නේ එහි අනෙක්
පසය.
"නෑ සර් මං හිතන්නේ නෑ. මට නොකීවේ මාධවිට
හේතුවක් ඇති."
"මගේ කෙල්ල කියන එක නිකමට අමතක කරපං. උඹව බ්ලොක්
කරලා, උඹට බොරුත් කරලා. මොකටද බං සෙකන්ඩ් වෙන්නේ.
ඔන්න ඔහේ අමතක කරලා දාහං."
"මාධවිට හේතුවක් ඇති සර්. විනාඩියක් මට කතා
කරන්න අවසර දෙන්න සර්."
සිරිවර්ධන මහතා දීර්ඝ සුසුමක් හෙළා
එරන්දගේ ඇස් විනිවිද යන බැල්මක් හෙළා මෙසේ පැවසුවේය.
"දැං උඹ හිතන් ඉන්නේ මං එයාගේ සන්නිවේදන පහසුකං
ඔක්කොම සිර අඩස්සියට අරං කාටවත් කතා කරන්න නොදී කාමරේක හිර කරං ඉන්නවා කියලද ළමයා?"
එරන්ද බිම බලා ගත් වනම සිටියේ ය.
"අවුරුදු 18ත් පැනපු රස්සවකුත් කරන්ට පටං අරං ඉන්න
ගෑණු දරුවෙක් මට පුළුවන්ද අයිසේ හිර කරලා තියාන ඉන්ට. ළමයෝ උඹ එක්ක කතා කරන්ටයි කියන්ට එයා ඉස්සල්ලා මා එක්ක කතා
කරන්ට එපෑය.
මාධවී තාත්තව විතරක් නෙවේ කොල්ලවත්
අන්දලා. දැං හරියට අපි බොරුවක් කළා වගේ, අපි එක්කම තරහ වෙලා. නොකා නොබී ඉන්නවා
දොරත් වහං කතාවක් නැතිව. ඔන්න බලපං අයිසේ ගෑණුන්ගේ හැටි. උඹ උඹේ ජීවිතේ ගෙනියපං බං ඔව්වා අත ඇරලා." සිරිවර්ධන මහතා පත්තරයක දෙවන පිටුව දිග හැරියේ ය.
“එයාට උඹ එක්කලා කතා කරන්ට ඕනෙ නං කතා කරාවි, ඕනා
නැතිනං නිකං ඉඳීවි. අවසර දෙන්ට ගන්ට
බබෙක් යැ. කතාකරන්ට ඕනේ කාටද නැත්තේ කාටද කියල තීරණයක් ගන්ට පුළුවං වැඩිහිටියෙක් නෙව." සිරිවර්ධන මහතා එහි තෙවන පිටුව දිග හැරියේ ය.
එරන්දට සිරිවර්ධන මහතාගේ ගැටය වැටහිණි.
මෙතෙක් වේලා ඇගේ වැරදි සුපුරුදු මිත්‍ර ලීලාව පෙන්වමින් කියන්නට තැතනූයේ හීන්
නූලෙන් දෙපළගේ වෙන් වීම අපේක්ෂා කළ හෙයින් යැයි එරන්ද සිතුවේ ය. එහි වරදක් නැත. තම
කනිෂ්ඨ සේවකයෙකු බෑනා කරගන්නට කැමති වන පාලකයෝ කොයි වෙසෙත් ද? පාලකයෙකුගේ දියණියක් හිමි වන්නේ තවත් පාලකයෙකුගේ පුතෙකුට මිස ඔහුගේ
පාලිතයෙකුට නොවේ. අසරණ ලීලාවෙන් ඔහු නැගිට සිරිවර්ධන මහතාට ආචාර කොට දුක් මුසුව
යන්නට හැරුණේ ය. ඔහුට ඇය අහිමි ය. ආදරය ඔහු රවටා තිබේ. නියතයෙන් ම නව රැකියා
ස්ථානයක් සොයන්නට ලක ලැහැස්ති විය යුතුව තිබේ. ඔහු පියවර කිහිපයක් ඉදිරියට තබන
අතරේ සිරිවර්ධන මහතාගේ කටහඬ නැවත මතු විය.
"ළමයා මේ පාර්සල් ටික?"
"මාධවි මිස්ගේ සර්. මගේ නෙවේ."
"මට මේවා භාරගන්ට බෑ ඉලන්දාරියා. උඹලා ආයේ මුණ
ගැහිච්ච දාක දෙන එකයි ඇත්තේ." එසේ කියා සිරිවර්ධන මහතා පත්තර මිටියද රැගෙන
නිවස දෙසට පිය මැන ගෙ තුළට අතුරුදහන් විය.
'මුණ ගැහිච්ච දාක', සිරිවර්ධන මහතා එසේ කීමෙන් අපේක්ෂා කළේ
කුමක් දැයි නැවත හැරී
විත් බෑග අතට ගනිද්දී එරන්ද අහස පොළොව
ගැටලා කල්පනා කළේ ය. 'ඔවුනට නැවත හමු වන්නට අවසරය දුන් වගද?'; 'උඹ සදහටම තියා ගනිං යැයි නොකියා කියූ වගද?'; 'අලුත් රස්සාවක් සොයාගන්නට කළ අනතුරු ඇඟවීමක් ද?'; ඔහුට එය සිතාගන්නට නොහැකිය. නැවතත් එම බර කන්දරාව ඔහුගේ දෙ අතට
පැටවිණි.
එදින රැය පුරා ඔහු පසු වූවේ හෙට සඳුදා
රැකියාවට යා යුතු දැයි නොයා යුතු දැයි යන දෙගිඩියාවෙනි. සේවාදායකයෙකු වෙත කළ යුතු
ඉදිරිපත් කිරීමක පෙරහුරුවක් සිරිවර්ධන මහතා සඳුදා උදයෙන් ම ඉල් වූ බව මතක් වූයේ මැදි
යම් රැයත් පසු
වුණු විටදීය. දණි පණි ගා නැගිට පරිගණක
තිරයේ ස්ලයිඩයන් දිග හැර කිව යුතු කරුණු නැවත පෙළින් පෙළ මතක් කරගන්නට උත්සහ
දැරුවේ කුමක් වුවද රැකියාවේ නියැලෙන අවසන් දිනය තෙක් තම සේවය නිසි අයුරින් ඉටු
කරන්නට ඉටා ගනිමිනි. පසෙක වූ ඇගේ ශොපිං මලු ඔහුට සිනාසෙන අයුරකි ඔහු දුටුවේ.
කණ්ඩායම් නායිකා නාමිණි වෙත ඔහු පෙර පෙන්වූ ප්‍රතිභාව ගිලිහී ගොස් තිබේ. ඔහුට වචන
පැටලිනි, වදන් අමතක ය. තවදුරටත් ඔහු ඉදිරියේ සිටිනු
ඇත්තේ සුපුරුදු සැහැල්ලු සිරිවර්ධන මහතා නොවේ. ඊට වඩා වැඩි බරකින් යුතු පාලකයෙකි.
මාධවීගේ හේතුව මෙය විය හැකි ද?
ඔහුට හෙට දිනට මනස ඒකාග්‍ර කර ගත නො
හැකි වූ අවස්ථාවකය දුරකතනයෙන් බීප් හඬක් නැගුණේ. එහි ‘sry ‘අකුරු තුනක් සමඟ හදවතක ඉමෝජියක් විය. ඊට පහලින් වූ 'typing…' යන්න අතුරුදන් වනතුරු එරන්ද ඒ දෙස දෑස්
අයා බලා සිටියේ ය.
෴
© Vijayanthi Vandebona | 2026-May-26
Published in FB Group නිම්මාරතිය - The Creative Space

Comments
Post a Comment