Made In India: A Titan Story - Season 1 (2026)

උපාලි විජේවර්ධනගේ බයෝපික් එකක් බලන එක මං වගේ බයෝපික්සන්ගේ තියන ලොකු ආසාවක්. ඒ වුණාට ඒ චරිතය ගැන, ඒ ලෝකය ගැන, කිසිම අධ්‍යයනයක් නැතිව, අඩුම තරමේ පාදක කරගන්නවත් හරි හමං පර්යේෂණාත්මක කෘතියක්වත් නැතිව එහෙම දෙයක් නොහැදෙන එක ඊට වඩා හොඳ හන්දා ඒ ආසාව යටත්පත් කරගෙන ඉන්න අපි කැමතියි. ඒ නිසා ඔහුට සමකාලීන ඉන්දියානු චරිතයක් වුණු JRD Tataගෙන් අපි ඒ ආසාව සංසිඳවා ගනිමු.


මේක විදේශීය නිෂ්පාදන පිරුණු වෙළඳපොළක, ඉන්දියානුවන්ට ගෞරවයක් දෙන, ජාත්‍යන්තර මට්ටමේ අත් ඔරලෝසුවක් නිර්මාණය කරන්න නොපසුබට උත්සාහයක යෙදුණු මිනිසුන් කැලකගේ සත්‍ය කතාවක්. ඔබ දූරදර්ශී ව්‍යවසායකයෙකු වීමට තැත් දරන්නෙකු නම්, එවන්නෙකු යටතේ කළමනාකාරිත්වයේ යෙදෙන්නට ආසාවක් දක්වන්නෙක් නම්, ඉහළින්ම රෙකමදාරු කරන්ට පුළුවන් කතාවක්. ඒ විතරක්ම නෙවෙයි, එවන්නන්ගේ ආයතනයක සේවයේ නිරතවන්න බලාපොරොත්තු වන ලලාසී ඔබටත් මෙයින් යම් දෙයක් ලැබේවි.

කතාව ගොඩනැගෙන්නේ ටාටා මහත්මයා වටා නෙවෙයි. ඔහුගේ අතිජාත සේවකයෙකු වන Xerxes Desai නම් කළමනාකාර අධ්‍යක්ෂකවරයා වටා. නමුත් ටාටා නොසිටියේ නම් දේසායි කෙනෙකු බිහි වන්නේ නෑ. එය තමයි ටාටාගේ හැකියාව හඳුනා ගැනීමේ දූරදර්ශී පාලනය; වගකීම් පැවරීමේ විචක්ෂණශීලී බුද්ධිය. ටාටා පවුල් ගහේ අච්චර ලොකු ඔරිජිනල් අතු තිබෙද්දිත්, හදාගත්තු අත්තක දරුවෙකු වෙන ළඟකදි මිය ගිය රතන් ටාටා ඔහුගේ අනුප්‍රාප්තිකයා වෙන්නෙ ඒ අනුව තමයි.

කතාවට පදනම් වන 70-80 දශකයේ ඉන්දියානු ආර්ථිකයේ පෞද්ගලික අංශය "ලයිසන්ස් රාජ්" කියන යදමින් බැඳවූ එකක්. ඒ වගේම විදේශීය නිෂ්පාදන වෙළාගත්ත අත් ඔරලෝසු වෙළඳපොළ රැඳී පැවතුණේත් කළු කඩ ජාවාරම්කරුවන්ගේ අතේ. හින්දුස්ථානයේ අභිමානය අතේ පළඳවන්න ඉන්දියානුවන්ට හැකි වුණේ HMT: Hindustan Machine Tools (ටෙලි මාලාවේ යෙදෙන්නේ  GMT නමින්) නම් රජයේ ඔරලෝසු ව්‍යාපාරය නිසා පමණයි. නමුත් ඒවායේ නවීනත්වයේ අඩුවක් තිබුණා. ඔවුන් යොදාගත් තාක්ෂණය යල්පැන යමින් තිබුණා. එය දියුණු කිරීමට මුදල් යෙදවීමේ හැකියාවක් රජයට තිබුණේ නැහැ. දේසායි මහත්මයලා ඇතුළු කණ්ඩායම quartz තාක්ෂණය පාවිච්චි කරලා "Titan" නමින් අල්ලන්න හැදුවේ ඉන්දියානු වෙළඳපොළේ හිස් වෙච්ච මේ තාක්ෂණික ඉඩ. හැබැයි ආරම්භය ලේසි පහසු දෙයක් වෙන්නේ නෑ. ටාටා බෝඩ් එකේ; රජයේ; අවසරය ගන්න තැන ඉඳලා, ණයක් ගන්න, නමක් දාන්න, ෆැක්ටරිය හදන්න, රට දිනන්න, ලෝකෙ දිනන්න මේ හැමතැනකදීම එන්නේ ප්‍රශ්න. එපිසෝඩ් 6ක් පුරා පැය හයකින් කතා කරන්නේ එයාලා මේ ප්‍රශ්න වලට මුහුණ දෙන හැටි. දේසායි මහත්තයා සැලෙන මනුස්සක්යෙක් නෙවෙයි. ඔහු ගන්න අවදානම් තීරණ දැක්කම පිස්සුය කියලා හිතෙන්න පුළුවන්. ස්ටීව් ජොබ්ස්ගේ කියමනක් තියනවා මෙන්න මෙහෙම. 

“Here's to the crazy ones. The misfits. The rebels. The troublemakers. The round pegs in the square holes. The ones who see things differently. They're not fond of rules. And they have no respect for the status quo. You can quote them, disagree with them, glorify or vilify them. About the only thing you can't do is ignore them. Because they change things. They push the human race forward. And while some may see them as the crazy ones, we see genius. Because the people who are crazy enough to think they can change the world, are the ones who do.” 

මේ රාමුවට දේසායි මහත්තයව හොඳටම ගලප්පවගන්න පුළුවන් කියලා කතාව බැලුවම ඔබට හිතේවි. JRDගේ මුහුණටම "ඉන්දියානුවන්ට නිපුණත්වයක් කුසලතාවයක් නැතිය ඇත්තේ ශ්‍රමයක් පමණය" කියපු ස්විට්සර්ලන්ත සුද්දන්ට තරු පේන්න එයාලා ලෝකේ පළමු සිහින්ම ක්වාර්ට්ස් අත් ඔරලෝසුව නිපදවමින් ලොකු විප්ලවයක් කරනවා.


පරණ කාලේ කතාවකට තියෙන්න ඕනෙය කියලා මං හිතන හැම දෙයකින්ම ටෙලි මාලාව අංග සම්පූර්ණයි.

  1. පරණ පාට color grading
  2. පරණ තාලෙ ෆැශන්/ ප්‍රොප්ස්
  3. පරණ පාට මූණු
  4. පරණ කාලේ සිංදු (මේක නම් උපරිමේට තියනවා)

කතාව මැද්දෙ ඔබපු ඇත්ත ඡායාරූප ටික එපිය අවසානයේ දාන්න තිබුණානං කියලා හිතෙනවා. මොකද ඒ වෙද්දි ජේ.ආර්.ඩී ටාටා විදිහට Naseeruddin Shahවත්, දේසායි විදිහට Jim Sarbhවත්, අපේ හිත් අලවාගෙන ඉවරයි. එක තැනක් තියනවා JRDට විතරක් නෙවෙයි අපිටත් පොළොව පළාගෙන හැංගෙන්න හිතෙන. නසීරුද්දීන් ෂා ඒ තරමටම ඒ චරිතයට සාධාරණයක් ඉටු කරනවා. දේසායි මහත්මයාගෙයි, ඔහුගේ සහයට ඩැනී ආකාශ්ගෙයි කෙමිස්ට්‍රි එකත් කතාවට ලස්සනක් එකතු කරනවා. පරණ පාට තරුණ මේගා සහ ගෞරව්ගේ රංගනයත් සාර්ථකයි.

ටෙලිමාලාවට පදනම් වෙන්නේ Vinay Kamath ලියපු Titan: Inside India's Most Successful Consumer Brand කියන පොත. ඉන්දියානු ව්‍යවසායකත්ව ධෛර්යය සැමරීම ප්‍රධාන කාරණාව නිසා ඩොකියුමෙන්ට්‍රියක් බලාපොරොත්තු නොවෙනවානම් හොඳයි, බොහෝ තැන් ඩ්‍රැමටයිස්ඩ්. ව්‍යවසායකයෙකුට අභිප්‍රේරණයක් වඩාත්ම අවශ්‍ය වෙන්නේ වැටෙන වෙලාවට. මේ කතාව වඩාත්ම වැදගත්වෙන්නේ අන්න ඒ නිසයි. දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනයෙහි ලා, "Made in India" කියන සංකල්පයේ තවත් පීතෘවරයෙක් වන ටයිටන්ගේ කතාව, ශ්‍රී ලාංකික අපටත් පුදුමාකාර ආදර්ශයක්.

Language: Hindi

© Vijayanthi Vandebona | 2026-June-22 | Published in FB Group සිනමාවේදීන් - The Cinema People. 



Comments