Frankly, my dear, I don't give a damn.

හොලිවුඩ් චිත්රපට ඉතිහාසයේ අමරණීය දෙබස් ඛණ්ඩයක් වූ මෙය වාරණයට ලක්වන්නට නියමිතව තිබූ බව ඔබ දැන සිටියා ද?



Gone with the Wind (1939) චිත්රපටයේ, හදවතේ බලාපොරොත්තු උපදවාගත් ස්කාලට් විසින් නැගූ පැනයකට පිළිතුරු ලෙසින් හදවතින් බලාපොරොත්තු උදුරවාගත් රෙට් විසින් ලබාදුන් රළු පිළිතුරකි මේ. 
[අවස්ථා සම්බන්ධය වෙනස් වුවද බඹරු ඇවිත් චිත්රපටයේ හෙලන් ද මෙවැනි ම ප්රශ්නයක් විමසන වග අපට මතක් වේ. එනමුත් බේබි මහත්මයාගේ රළු පිළිතුර වචනයට කැටි වන්නේ නැත. හෙළ සිනමා ඉතිහාසයේ මාලිනි ෆොන්සේකා විසින් කියන්නට යෙදුණු එම දෙබස් ඛණ්ඩය ද සදාතන මතකයකි.]



1930-1960 ගණන් දක්වා කාලය තුළ පැවති Hays Code නම් නීති රාමුව (අමෙරිකානු මහජන ප්රදර්ශනය සඳහා චිත්රපටවලට දැක්විය හැකි සහ නොහැකි දේ නියාමනය කළ රීති සමූහයක්) 'damn' යන වචනය චිත්රපට තුළ භාවිතය තහනම් කරන ලදී. කෙසේ වෙතත්, 1930ට පෙර, නිහඬ යුගයේදී පවා "damn" යන වචනය චිත්රපටවල සාපේක්ෂව සාමාන්ය දෙයක් විය. නිෂ්පාදක David O. Selznick සහ තිර රචක(uncredited) Val Lewton යන අය මෙම දෙබස් ඛණ්ඩය චිත්රපටයට ඉතා වැදගත් බව සැලකූ අතර, Hays කාර්යාලයෙන් එම වචනය භාවිතා කිරීමට අවසර ලබාගැනීමේ ඔවුන්ගේ සියලු උත්සාහයන් අසාර්ථක විය. Selznick විසින් Will Haysට (එම වාරණ මණ්ඩලයේ සභාපති) සෘජුවම කළ පෞද්ගලික ඉල්ලීම් සහ අධ්යක්ෂ මණ්ඩල රැස්වීමක් හරහා කළ දැඩි ඉල්ලීම් මධ්යයේ, නීති සංග්රහය වෙනස් කර 'damn' යන වචනය විධිමත් ලෙස චිත්රපටය තුළ භාවිතා කිරීමට අවසර ලබා ගැනීමට හැකි විය. නීති සංශෝධනය අනුව එම වචනය චිත්රපට සඳහා භාවිතා කිරීමට අවසර ලැබුණේ, ඒවා යම් දර්ශනයක හෝ දෙබසක, ඓතිහාසික සන්දර්භයක දී, ඉතිහාස කරුණක් හෝ ජන ශ්රැතිය නිරූපණය අත්යවශ්ය සහ අවශ්ය වන විට, හෝ, සාහිත්ය කෘතියක උධෘතයක් ලෙසින් පමණි. එමගින් කිසිම විටක අකැප හෝ රසයට හානිකර දෙයක් සඳහා අවසර නො ලැබෙන බව සඳහන් කර තිබුණි.
මෙම අනුමැතිය ලැබීමට පෙර, Lewton සහ Selznick එක්ව "Frankly, my dear..." සඳහා විකල්ප ලැයිස්තුවක් සකස් කළහ. 


2005 වසරේදී American Film Institute මඟින් ලැයිස්තු ගත කරන්නට යෙදුණු වසර සියයක ඇමරිකානු සිනමාවේ මතකයේ රැඳී හොඳම දෙබස් 100 (AFI's 100 Years...100 Movie Quotes) අතර පළමු තැන ගත්තේ රෙට් චරිතය මැවූ Clark Gableගේ මෙම දෙබස් ඛණ්ඩය වීමද සුවිශේෂත්වයක්. නමුත් Marlon Brando, එම දර්ශනය සම්බන්ධයෙන් විවේචනාත්මක අදහසක් මෙලෙසින් දක්වා ඇත. "නළුවෙක් දොර ගාවට යන්න ඕනාවට වඩා වෙලාවක් ගන්නවා නම් ඔබ දන්නවා ඔහු නැවතිලා පිටිපස්සට හැරිලා අනිවාර්යයෙන් ම කියනවා කියලා- Frankly, my dear, I don't give a damn".
PS: ලේඛනය උපුටා ගැනීම ඇකඩමි සම්මාන උළෙලේ නිල ෆේස්බුක් පිටුවෙන්.


© Vijayanthi Vandebona | 2026-June-30 | Published in FB Group සිනමාවේදීන් - The Cinema People.

Comments