ධරම්-ජී ගේ නිර්මාණ දිවියේ අවසන් පිටුව වර්ණවත් කළ "Ikkis"

ඉන්දියානු යුද සිනමාවේ වෙනස්ම ආරක් ගත් ඉක්කීස් චිත්‍රපටය බොහෝ දේශප්‍රේමි ඉන්දියානුවන්ගේ ප්‍රතික්ෂේප වීමට බඳුන් වූයේ ළාබාලතම ඉන්දියානු යුද වීරයාගේ වීරත්වයේ චරිතාපදානය නරඹන්නට ආ ප්‍රේක්ෂකයා හට ඒ වෙනුවට තම පරම සතුරා සමඟ මිත්‍රත්වයේ බැඳීමක කථාවක් නරඹන්නට සිදුවීම නිසා විය හැකියි. එමෙන්ම කතා තේමාවට පදනම් වූ ඉන්දියානු සෙබළාගේ චරිතය රඟපෑ අගස්ථ්‍යා නන්දාගේ රංගනය අබිබවා පකිස්තානු සෙබළාගේ චරිතය රඟපෑ ජයිදීප් අහ්ලාවත්ගේ රංගනය කැපී පෙනීමද මීට හේතුවකි. මෙම තත්වය නිසාමදෝ නිෂ්පාදක කණ්ඩායම හට චිත්‍රපටය අවසානයේ එම ඉන්දියානුවන් අස්වසන්නට හින්දි බසින් අකුරින් මිත්‍රත්වයේ දෑත අකුළා වාක්‍ය ඛණ්ඩයක් යොදන්නට සිදුවීම ඛේදජනකය. කතා රචකයා කතාවේ ගලා යාම ඔස්සේ මතුකරලන්නට උත්සහ කළ සමස්තය දියාරු කර හැරීමක් ලෙසින් එය දැක්විය හැකියි. 

Ikkis (2026)


බච්චන් සීනියර්ගේ එකම මුණුපුරා වන අගස්ථ්‍යා, තරු විරුවෙකුගේ දරුවෙකු- පැම්පර්ඩ් සෙබළෙකුගේ චරිතයක් රඟදැක්වීමට මනා සේ ගැළපේ. එමෙන්ම මුහුණුවරින් පවා දෙවන ලුතිනන් අරුන් කේත්‍රපාල්ට ගැළපිය හැකිය. නමුත් ඔහුගේ පළමු චිත්‍රපටය වන The Archies හි තරම් දස්කමක් අධ්‍යක්ෂකවරයා හට ඔහුගෙන් මතුකරගන්නට නොහැකි වී තිබේ. මෙවැනිම චරිතාපදාන ටැංකි කතාවක් වූ Pippa (2023) චිත්‍රපටයේ ඉශාන් කට්ටර්ගේ රංගනය ඔහු හා සැසඳෙන්නට වීම වැළැක්විය හැකි කාරණයක් නොවේ.

ප්‍රවීණ නළු ධර්මේන්ද්‍රගේ මරණය චිත්‍රපටයේ ප්‍රචාරණය සඳහා මහත්සේ බලපෑ බව කිව හැකිය. මෙම ලිපියේ හෙඩිම උදෙසාද එවැන්නක් භාවිත කළේ හුදෙක් ඔහුගේ අවසන් රංගනය මෙය වීම නිසාම පමණක් නොවේ. බ්‍රිගේඩියර් කේත්‍රපාල් පියා, තම උපන් ගම් බිම් දැක බලා ගන්නට යන ගමනේදි ඔහු ගයන්නට යෙදෙන උර්දු කවිය ධර්මේන්ද්‍ර විසින්ම ලියන ලද කවියක් වීම නිසාය. එම කවිය පුරා දිගහැරෙන්නේ උපන් ගම කෙරෙහි ඔහුගේ හදවතින් උතුරා යන ආදරයයි. ගැමි දිවියේ සුවඳ නැවත විඳින්නට ඔහු කෙරෙහි වූ බලවත් ආශාවයි. අහිංසක සෙල්ලම් කාලයට ආයෙත් පිය මනින්නට ඔහු කරන ප්‍රාර්ථනයයි. බ්‍රිගේඩියර් කේත්‍රපාල් මෙන් ඔහුද උර්දු බස හොඳින් වහරන පංජාබයේ උපන්නෙකි. ඉතින් එම චරිතය මවන්නට ධර්මේන්ද්‍ර හැර වෙන සුදුස්සෙක් නොමැත.

"වචන වලින් කිවිය නොහැකි ජීවිතේ ගමේ

පංච නදී හමු වන තැන (පංජාබය) මිහිරිමය ජලේ

රහසේ මුමුණන සුළඟේ සතුටු කතා අතරේ

ආත්මය මගේ නිදියයි ඒ උණුසුම් තුරුලේ"

ධර්මේන්ද්‍ර හට පමණක් නොව ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන්නෙකුගේ සුළු චරිතයකින් ධර්ම් ජී හා සම්බන්ධ වන ප්‍රවීණ විකට නළු අස්‍රනි හටද චිත්‍රපටය නරඹන්නට නොහැකි වන්නෙ මෙම ප්‍රවීණ වැඩිහිටි නළු යුගලය 2025 වසරේදි මිය යන බැවිනි.

අධ්‍යක්ෂණයේ නොයෙක් දුර්වලතා නිසා කතා රසයට හානියක් වී ඇති බැව් පෙනේ. ගැහැණු දැරියන් තුලින් ඔවුන්ගේ ඇඳුම් පැලඳුම් තුලින් 70 දශකයේ ජීවය නොදැනීම ඉන් ප්‍රධානය. එමෙන්ම සුවච කීකරු සිසුන් සේ පකිස්තානු සෙබළ කැලක් ඉන්දියානු සෙබළු තිදෙනෙක් ඉදිරියේ යටත් වීම වැනි කාරණා සටන් අධ්‍යක්ෂණයේ දුර්වලතා මතු කරයි. කතා රචකයා ඉතා ප්‍රබල කතාවක් ගොඩනගා ඇති මුත් එය ඉදිරිපත් කිරීමෙහි ලා යම් අසමත්කමක් දක්වා තිබේ යයි කිව හැක. ප්‍රබලත්වයට උදාහරණයක් ලෙස, පසුබාන්නට කියා අණ ලැබී තිබියදීත් එසේ නොකළේ මන්දැයි යන්න අරුන්ගේ පියා නිතර තමාගෙන්ම විමසන පැනයකි. ටැංකි 3කට එදිරිව ටැංකි විශාල ගණනක් දකින ප්‍රේක්ෂකයාටද එම ගැට‍ළුව මතුවේ. තෙවන පාර්ශවයක ඔහු සිතන පිළිතුර පැවසෙනමුත් කතාකරුවා එම ගැට‍ළුවට අරුන්ගේ කෝණයෙන් ගොඩ නගා ඇති උත්තරය ඉතා සිත්ගන්නාසුලුය.

එමෙන්ම චිත්‍රපටයේ නොයෙක් අවස්ථාවන් සාහිත්‍යාත්මක ස්පර්ශයකින් ගලා යයි. පාකිස්තානු බ්‍රිගේඩියර් නිසර්ගේ සෙබළ දිරිගැන්වීමේ කථාව හැඩවෙන්නේ උර්දු කවියෙකුගේ කවියකිනි. ඉන්දියානු සෙබළුන් ගුවන් විදුලියේ ප්‍රචාරය වනු අසන්නේද උර්දු කවිය. චිත්‍රපටය පුරා දිස්වෙන The Godfather, Papillon නවකතා පොත් අතර Hemingwayගේ නවකතාවට වැඩි ඉඩක් වෙන් වන්නේ එය උපමා රූපකයක් ලෙසින් භාවිතා වෙන හෙයින් යැයි සිතිය හැක. එහි ග්‍රන්ථ නාමය John Donneගේ පැදි පෙළකින් හෙමින්වේ උපුටා ගත්තකි. එය දැක්වෙන්නේ මෙලෙසය.

No man is an island,

Entire of itself.

Each is a piece of the continent,

A part of the main.

If a clod be washed away by the sea,

Europe is the less.

As well as if a promontory were.

As well as if a manor of thine own

Or of thine friend’s were.

Each man’s death diminishes me,

For I am involved in mankind.

Therefore, send not to know

For whom the bell tolls,

It tolls for thee.

මෙම පැදි පෙළෙහි කැටි වන අර්ථය චිත්‍රපටය හා ගලපා මෙලෙස ගත හැකිය.

"මිනිසෙකු වුවද, සමාජයක් වුවද, රටක් වුවද, තනි පැවැත්මක් නොමැත. මනුෂ්‍යත්වය විශාල තනි බිම් කඩකි. අප සියල්ලන් මිනිස් හුයෙන් බැඳී ඇති නිසා ඉන්දියානු වුවද පකිස්තානු වුවද යමෙක්ගේ මරණය බලපානුයේ ඔහු කෙරෙහි පමණක් නොවේ. සමස්ත මිනිස් සංහතිය වෙතම එය බලපානු ඇත්තේය." 

© Vijayanthi Vandebona | 2026-April-15 | Published in FB Group සිනමාවේදීන් - The Cinema People.  

Comments