Victoria and Abdul (2017)

 මීට කාලෙකට කලින් ප්රනාබ් මුකර්ජි, රාම්නාත් කෝවින්ද් එහෙම ඉන්දියාවේ ජනාධිපතිලා වෙලා හිටපු කාලේ ඉන්දියාවේ කෙල්ලන්ගේ (ලංකාවෙත්) නැෂනල් ක්රශ් එක වෙලා හිටියේ ජනාධිපතිලා දෙන්නටම ADC (Aide-de-Camp) වුණු මේජර් ගෞරව් චෞද්රි. 



දැන් නම් එයාට ලුතිනල් කර්නල් පට්ටමක් වත් ඇති. ඊයේ පෙරේදා තිබුණු ඉන්දියන් රිපබ්ලික් දිනය හන්දද මන්දා සෝෂල් මීඩියා ෆීඩ් එක ඇවිස්සිලා අලුත් පරම්පරාවේ ඈයෝ අලුත් නැෂනල් ක්රශ් එකක් හොයාගෙන තියනවා කියලා දැක්කා. ඒ ජනාධිපතිනි ද්රෞපදී නෝනෙගේ ADC, මේජර් රිශාබ් සිං සම්යාල්. විධායක බලතල අයින් වෙලා ජනාධිපති/පතිනි පට්ටම ලංකාවෙත් මේ වගේ සෙරමෝනියල් ගරුකටයුතු වෙච්ච දාක අපටත් මේ වගේ ADCලා නිවුස් වලින් දකින්න ලැබේවිද දන්නේ නෑ.

කොහොමින් කොහොම හරි මේ දෙන්නාගේ උත්කර්ෂයට නංවලා තිබුණු ක්ලිප් දෙක තුනක් විතර බැලුවම එකපාරටම මතකයට ආවේ වික්ටෝරියා සහ අබ්දුල් කතාව.


චිත්රපටයට පාදක වෙන්නේ බ්රිතාන්යයේ වික්ටෝරියා රැජිනගේ අවසාන කාලේ ඇය හා බැඳුණු සත්ය සිද්ධියක්. ඇගේ සැමියා මැරිලා දැන් සෑහෙන කාලයක්. තනිකමින් පීඩා විඳ විඳ තනියම රටක් බලාගන්න එක ලේසි නෑ.
♫ දහස් මුවෙකින් නැගෙන ඔල්වර
සිනා හඬ දසතින් ඇසේ
දහස් ගණනක් සෙනග අතරේ
මහා තනියක් මට දැනේ... ♫
සේකර කියපු විදිහටම තමා වික්ටෝරියාටත් දැනෙන්නේ. "මං ආදරය කරන හැමෝම මිය ගිහින්. ඒත් මං විතරක් තාමත්. මොකද්ද තේරුම?" දහසක් දෙනා මැද්දේ ඈ සිටින්නේ හුදකලාවක වෙළිලා. ඒ පාළුව ඇතුළට හරි අහම්බෙන්, හරි සරලව ඇතුල් වෙන කෙනෙක් තමයි අබ්දුල් කරීම්.
අබ්දුල් කරීම් ඉන්දියාවේ ආග්රාවේ බන්ධනාගාරයක ක්ලාක් කෙනෙක්. 1887දී රැජිනගේ ස්වර්ණ ජුබිලි උත්සවයට ඔහුව තෝරගන්නවා, රැජිනට ඉන්දීය ඓතිහාසික රන් කාසියක් තෑගි කරවන්න. මේ නිසා ඔහුට ඉන්දියාවෙන් එංගලන්තයට එන්න ලැබෙනවා. ඒ වෙලාවේ ඔහුවත් හිතන්නේ නෑ, මේ දුඹුරු පාට සාමාන්ය මනුස්සයාට, ලෝකෙ බලවන්තම රැජිනියගේ ජීවිතේ හදවතේ ආසන්නතම පුද්ගලයා බවට පත් වෙන්න පුළුවන් වෙයි කියලා. ඔහුගේ සුහදශීලී බව නිසාම රැජින ඔහුව තෝරගන්නවා මාලිගාවේ ඇගේ පෞද්ගලික සේවකයෙකු (footman) විදිහට. ඇය දැන් වයසයි. ජීවිතේ වැඩි කොටසක් ගෙවිලා තියෙන්නේ රාජකාරි, නීති, ප්රොටෝකෝල්, උත්සව අතරේ. "ජීවිතේ කාර්පට් එකක් වගේ." ඔහු ඇයට කියනවා. ඉන්දියාවේ ඉඳන් එංගලන්තේ රජ මාලිගේට එවන්න මෙතෙක් කල් බුමුතුරුණු කලාල තෝරා ඇත්තේ ඔහු. ඔහු නිකම්ම ලියන්නෙක් නෙවෙයි, කලාකාමි සිත් ඇති කවි කාරයෙක්. ජීවිතේ වර්ණවත් රටාවක් සොයන ගෙත්තමක්, ඔහු කියන්න උත්සහ කළේ ඒකයි.
ඔහු ඇයගේ යටහත් පහත් සේවකයා වුණාට ඇත්තටම වුණේ ඔහු ඇගේ ගුරුවරයා වීමයි. ඔහු රැජිනට ඉන්දියානු සංස්කෘතිය, උර්දු භාෂාව ඉගැන්නුවා. ඇය ඔහුට කතා කළේ "මුන්ෂි" යන ඇමතුමෙන්. ඒ කියන්නේ ගුරුවරයා කියන එක. ඔහුගේ කතාව, ඔහුගේ හිනාව, ඔහුගේ බුහුමන — මේ සියල්ලේ ඇයට අන් අය නොදක්වන වෙනසක් පෙනෙනවා.
මේ මිත්රත්වය රාජකීය පවුලේ අයට, අධිකාරීන්ට ප්රශ්නයක් වුණා. නමුත් මේ සත්යය වික්ටෝරියා රැජිනිය ඔහුට දන්වලයි තිබුණේ. "ගිජුලිහිණියෝ දැනටමත් වටේ රවුම් ගැහිලා. මං මෙහෙ නැතිකොට ඔබව ආරක්ෂා කරන්නේ මං කොහොමද? දැන් ගෙදර යන්න කාලේ අබ්දුල්", ඇය ඇගේ අවසාන දින කිහිපය තුළ ඔහුට කීවේ ඒ නිසයි. නමුත් ඈ අවසන් හුස්ම හෙළන තුරු ඔහු රැජිනිය හැරදමා ගියේ නැහැ.
"අසන්න කුඩා ජල බිඳුව...
පසුතැවීමක් නැතුවම තමන් අත්හරින්න...
ඉන් ඔබ ලබාවි මුළු සමුද්රයම...
අත්හරින්න තමන්ගේ සීමාව..
එවිට මහා සමුද්රයේ ඔබ ආරක්ෂිතව රැඳේවි..."
- රූමි -
මරණය අභියස ඔහු ඇයව සනසවන්නේ රූමිගේ කවියකින්. ආදරය සමස්ථයයි, අපි එහි කොටස්කරුවන් පමණයි. අබ්දුල් සහ වික්ටෝරියාගේ සහ සම්බන්ධයට නමක් යෙදෙන්නේ ඇගේ මරණ මංචකයෙදි. "ආදරණීය පුතා" ඈ ඔහුගෙන් සමුගන්නේ එහෙමයි.
මුස්ලිම් ඉන්දියානු සේවකයෙක් රැජිනට මේ තරම් කිට්ටුවන්ත වීම වංශවතුන්ට දරාගන්න බැරි වුණා. ඔහු තර්ජනයක් ලෙසයි බොහෝ දෙනා දැක්කේ. එයාලා අබ්දුල්ව එළවන්න උත්සහ කළා. ඇය සිටින තාක් ඒකට ඉඩක් ලැබුණේ නැහැ. ඒත් ඇගේ මරණින් පස්සේ ඔහුගේ හුස්මක මතකයක්වත් එංගලන්තේ නොරැඳෙන්න ඔහුව ඉන්දියාවට එළවලා ඔහු ගැන ඇති සියලු මතකය ගිනි තියලා දැම්මා.
වික්ටෝරියා අධිරාජිනිය විදිහට ජුඩී ඩෙන්ච් දෙවන වරටත් අති සාර්ථක රඟපෑමක නිරතවෙනවා. අලි ෆසල් ඉන්දියාවෙන් එළියට අඩියට තියපු තෙවන නිර්මාණය වගේම ඒවායෙන් ප්රධාන චරිතයක් ලැබුණු පළමු අවස්ථාව.
ඉතිහාස කතාවක් නිකම්ම ගෙනහැර පානවට වඩා මේ චිත්රපටයෙන් කියන්න උත්සහ කරලා තිබුණේ බලය තිබුණට සෙනෙහසට පංති බේදයක් නෑ, ඇඟ වටේට අධිරාජ්යයක් තිබුණත් තනිකමින් මිදිලා පැනලා යන්න තැනක් නෑ කියන එකයි. දැන් ඉතින් තනිකමකට හිනාව ගෙනාපු අබ්දුල්ගේ කතාවෙයි, මහත්තයයි හිටපු එකම තරුණ කොල්ලො දෙන්නයි සෑහෙන කාලෙකට කලින් එකම කාලෙකදි නැතිවුණු ද්රෞපදී නෝනෙගේ කතාවෙයි, සමානකම් හොයන්න එපා. සමාන නෑ. උලුප්පලා පෙන්නුවාට මේවා President's ADC කෙනෙකුගේ රාජකාරි. 


හැබැයි අර අන්ධ ළමයි උපන්දින ගීතයක් ගයලා ඇය සංවේදි වුණු වෙලාවේ ලේන්සුව දුන්නු සීන් එක ඇරෙන්න. ඒ තමා නිල ඇඳුමට යටින් තියන මනුස්සකම.


Comments