THE SEA WOLVES (1980)

ලෝක යුද්ධයක් අතරමැද්දේ ඉරාන නෞකාවට, නාවික පිරිසකට, සෙවණ දෙමින් ඉන්න අපට වගේම, දෙවන ලෝක යුද්ධ කාලේ පෘතුගාලයටත් මේ වගේම වැඩක් සෙට් වුණා. දෙවන ලෝක යුද්ධයෙදි පෘතුගාලය දෙපැත්තම බැලන්ස් කරගෙන අපක්ෂපාත විදිහට කටයුතු කරපු රටක්.



මේ කියන කාලේ ඉන්දියාවම බ්‍රිතාන්‍ය ආධිපත්‍යය යටතේ පැවතුනත් ගෝව තිබුණේ පෘතුගීසි කොළණියක් විදිහට. මේ කියන ගෝවේ නැව්තොටක තමයි බ්‍රිතාන්‍යයන්ට හතුරු ජර්මානුවන්ගේ වෙළඳ නෞකා තුනක් නැංගුරම්ලාගෙන හිටියේ.මේ කාලෙදි ජර්මන් යූ-බෝට් වලින් නොසෑහෙන්න සිද්ධ වෙච්ච ප්‍රහාර මිත්‍ර පාක්ෂික වෙළඳ නැව් වලට බරපතළ තර්ජනයක් වුණා. විශේෂයෙන්ම ඉන්දියන් සාගරයේ බ්‍රිතාන්‍ය වෙළඳ නැව් විශාල ගණනක් මේ ප්‍රහාරයන්ට ගොදුරු වුණා. මේ ප්‍රහාර පිටිපස්සේ ඉන්නේ ගෝවේ ගාල් කරන් ඉන්න වෙළඳ නෞකා තමා කියලයි ඉන්දියාවේ සිටින බ්‍රිතාන්‍ය බුද්ධි අංශයන්ට හෙළිවුණේ.

ගාල් කරන් හිටපු නැවක් ප්‍රහාර දියත් කරන්නේ කොහොමද? මේ සත්‍ය කතාව තමයි The Sea Wolves (1980) චිත්‍රපටයේ දිග හැරෙන්නේ. Gregory Peck සමඟ ජේම්ස් බොන්ඩ් චරිතය මැවූ නළුවන් දෙදෙනෙක්ම- Roger Moore & David Niven, මෙහි ප්‍රධාන චරිත හොබවනවා.

[🚨 Mild Spoilers 🚨]

පෘතුගාලය නියුට්‍රල් රටක් හන්දා ගෝවේ නැංගුරම් ලාගෙන ඉන්න ජර්මන් නැව් ගැන විමර්ශනය කරන්න, ප්‍රසිද්ධියේ නැව් වලට ප්‍රහාරයක් දියත් කරන්න බ්‍රිතාන්‍යයන්ට බැහැ. බුද්ධි අංශ වාර්තාවලට අනුව ඔවුන් අනුමාන කළේ මේ නැව් වලින් එකක, පෘතුගීසි නිලධාරීන්ට හසු නොවුණු රහසිගත කුටියක තිබෙන රේඩියො සම්ප්‍රේෂකයකින් බොම්බායෙන් පිටවන මිත්‍ර පාක්ෂික නෞකාහි ගමන් බිමන් දත්ත සියල්ල ප්‍රහාරක යූ-බෝට් යාත්‍රා වෙත ලබා දෙනවා ඇති කියලයි.

ඕපරේෂන් ක්‍රීක් මෙහෙයුම ආරම්භ වෙන්නේ මේ පසුබිම ඔස්සේ. මෙහෙයුමේ මූලික ඉලක්කය වෙන්නේ සම්ප්‍රේශකය ඇති අදාළ නැව සොයාගෙන සම්ප්‍රේශකය සමඟ නැව විනාශ කරන එක. හැබැයි මේ වැඩේට රාජකීය හමුදාව යොදා ගන්න බැහැනේ. එහෙම කළොත් පෘතුගාලයට රාජ්‍ය තාන්ත්‍රිකව එරෙහි වීමක්, පෘතුගාලයේ ස්වෛරීභාවයට අභියෝගයක් එල්ල කිරීමක් වෙනවා. ඉතින් මේකට ඔවුන් සම්බන්ධ කරගන්නේ කලකට පෙර බෝයර් යුද්ධයට ස්වේච්ඡාවෙන් පුහුණුව ලබපු කල්කටාවේ ස්ථානගත වෙලා ඉන්න පිස්සෝ රැලක්.  Calcutta Light Horse නම් ඔවුන් නිත්‍ය හමුදා සාමාජිකයන් නොවෙයි. මැදි වයස් සහ එය ඉක්මවූ, බැංකුකරුවන්, ව්‍යාපාරිකයින් සහ නීතිඥයන්ගෙන් මෙම කණ්ඩායම සැකසී තිබුණා. මේ වයස්ගත බව ආවරණයක් ලෙසයි සැලකුවේ. බොහොමයක් දෙනා විනෝදයට බරවූ බේබද්දන්. ඔවුන් ගෝව බලා යා යුත්තේ කිසිවෙකුටත් කිසිඳු සැකයක් රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් ඇති නොවෙන පරිද්දෙන්. මේ සඳහාත් ඔවුන් යොදාගන්නේ අපූරු උපක්‍රමයක්. ඔවුන් යන්නේ මුහුදෙන්, හරි අපූරු විදිහකට. මෙම කණ්ඩායමට නායකත්වය දෙන්නේ ග්‍රෙගරි පෙක් සහ ඩේවිඩ් නිවෙන්.

ඔය අතරේ ග්‍රේගරි පෙක්ගේ දෙවනියා, කඩවසම් රොජර් මුවර් ගොඩබිමින් ගෝවට ගිහින් තව ගේමක් ගහනවා. ප්‍රහාරය දියත් වෙන වෙලාවේ ගෝවේ ඉන්න නාවික ජර්මන් කාරයන්ගේ අවධානය වෙන පැත්තකට දාන්න එපැයි. අඩු ජීවිත හානියකින් නැව විනාශ කරන එක තමා ප්‍රධාන අරමුණ. ගෝවේ පෘතුගීසි ආණ්ඩුකාරයා බැලන්ස් කරගන්නත් ඕනේ. මේ වැඩ බාර වෙන්නේ රොජර් මුවර්ට.

ඉතින් වයසක බේබද්දෝ රැළක් එක්ක මේ වැඩේ කරගන්න පුළුවන් වුණයි කියලද ඔයාලා හිතන්නේ?

රහසිගත මෙහෙයුමක් නිසාත්, රාජ්‍යතාන්ත්‍රික කාරණා හන්දත් මේ වැඩේට සහභාගි වුණ අයට කිසිම නිල පිළිගැනීමක් ලැබුණේ නෑ. ඒ වගේම ලෝකයා තියා පෘතුගාලේ දැනගෙන උන්නෙත් නෑ බ්‍රිතාන්‍යයෝ තමන්ගේ බලප්‍රදේශයකට වැඩක් දෙන්න ආවය කියලා. 1974දි මේ වාර්තා එළියට දැම්මම තමා 1978දී පොතක් ලියවිලා ඒක පාදක කරගෙන 1980දි මේ චිත්‍රපටය එළියට එන්නේ. දෙවන ලෝක යුද ඉතිහාසයේ සිත්ගන්නාසුලු තවත් මෙහෙයුමක් කියලා හඳුන්වන්න පුළුවන්.

© Vijayanthi Vandebona | 2026-March-9 | Published in FB Group සිනමාවේදීන් - The Cinema People. | Words: 460

Comments