THE DOVE (1974)

ආදරණීය පුතා- රොබින්,

ඔයා මේ සංචාරේ යන්න පටන් ගත්තම සමහර ගෑණු පත්තරේට ලිව්වා ළමයෙකුට මේ වගේ අවදානමක් ගන්න ඉඩ දෙන්න තරම් මොන වගේ වගකීමක් නැති දෙමව්පියොද ඒ කියලා. 



ඒත් ඔයා යාත්‍රාව දියත් කළ වෙලේ ඉඳන් ඔයාගේ අම්මත් මමත් පිළිගත්තේ අපේ වැඩේ සම්පූර්ණයි කියලයි. ඔයාව ආයේ සඟරාවේ දකිද්දී අපි තේරුම් ගත්තා ඔයා තමන්ගේම මාවතක් හොයන මිනිහෙක් වෙලා ඉන්නවා කියලා. උඹට මම මෙච්චර ආදරේ නොකළා නම් මම හිතන්නේ නෑ  මේ ගමන යන්න උඹට මම කවදාවත් ඉඩ දෙයි කියලා. මගේ හදවතින්ම දැන හිටියා මේක තමයි කරන්න ඕනේ හරි දේ කියලා. මං උඹේ අම්මට කිව්වේ උඹට මොක හරි වුණොත්, එහෙනම් මගේ අවසානෙත් ඒකම වේවි කියලයි. මම තාමත් හිතන්නේ එහෙම. මට ඇත්තටම උඹ ලෝකේ වටේ ගියාද නැද්ද කියන එක අදාළ නෑ. මට වටින්නේ උඹ මේ දේ තනියෙම්ම කරපු එක. උඹට තේරෙනවද ඒක?

ඉතින් ඔක්කොම හරි, ඔයා ඒක කළා. ඇති නම් ඇති. උඹ මටවත් වෙන කාටවත් තව මොකවත් ඔප්පු කරන්න ඕනි නෑ. මම උඹ වුණා නම් (එහෙම වුණා නම් කොච්චර දෙයක්ද) මම දැන් කරන්නේ, පරෙයියා ඉක්වදෝරෙට පැදගෙන ගෙනිහින් එහෙ විකුණලා, ඒ සල්ලි වලින් හොඳ නිවාඩුවක් ගත කරන එක; උඹ උඹේ පැටී එක්ක මෙහෙ ලොස් ඇන්ජලිස් ගෙදර එන්න කලින්.

මීට ආදරෙන්- තාත්තා.

සොළොස් විය පසු කළ තරුණ රොබින් ලී ග්‍රැහම් නම් ඉලන්දාරි ගැටයා අතට ඔහුගේ පියා වූ ලයිල් ග්‍රැහැම් ලියූ මෙම ලියමන ලැබෙනුයේ, දෙවරක් කුණාටුවකට හසුවී සාගරය මැද තනිකමේ අන්ධකාරයේ පතුලේ වෙලී දරාගත නොහැකිව මානසිකව පීඩාවට පත්වී ගැලපගෝස් දූපත්හි සිට වෛද්‍ය ප්‍රතිකාර ලබන අවස්ථාවක. ඔහු ගත කරන්නේ යම් කිසි වීර වික්‍රමයක අවසන් අදියර. මේ වීර වික්‍රමය කුමක්ද? සාගරයේ රැලි සේ වූ ජීවිතයේ රිද්මයන් සොයා සිහිනයක් හඹා යන තරුණ හදවක කතාවක් වූ The Dove (1974) චිත්‍රපටයේ එළි දැක්වෙන්නේ සත්‍ය සිදුවීමක් වූ මෙම වීර වික්‍රමයයි.

Robin Lee Grahamගේ සිහිනය වනුයේ දිග අඩි 23ක් වූ සුදු පරෙවියෙකු සේ හුරු බුහුටි තම 'Dove' නම් කුඩා රුවල් යාත්‍රාවෙන් තනිවම ලොව වටා සංචාරයක යෙදෙන්නටයි. අත්දැකීම් බහුල යාත්‍රිකයෙකු වූ පියාගේ මඟ පෙන්වීම යටතේ කුඩා කළ සිටම ඔහුගේ අතැඟිලි අතර නිතරම රුවල් ගැට රැඳුණා. මෙම සමුදුරු වික්‍රමයේදී ඔහුට හමුවන්නේ පැටී නම් ඔහුට වඩා තරමක් වැඩිමහල් තරුණියකි. ඇය ස්වාධීන, ආකර්ෂණීය තරුණියකි. ඇයද යම් අන්දමකින් ලොව වටා ගමන් කරන අයෙකි. නමුදු එය රොබින්ගේ සංචාරය සේ ක්‍රමානුකූල නැත. එය හිපි ගමනකි. ඇය සොයා යන්නේ අත්දැකීම්ය. ඔවුන්ගේ ආදර කතාවද මෙම චිත්‍රපටයේ ප්‍රධාන අංගයකි. ඇය රොබින්ගේ ගමනට වරෙක බාධාවක් වෙයි, වරෙක සහාය වෙයි. රොබින්ගේ සංචාරය පුරාම දිස්වන්නේ ඔහු ගැටයෙකුගේ සිට වැඩිහිටියකු බවට පත්වීමේ ක්‍රියාවලියකි. ඔහු තමන්වම සොයාගනී. ආදරය සොයාගනී. ජීවිතයේ අර්ථය තේරුම් ගනී.

රොබින් යනු බලාපොරොත්තුවලින් සපිරුණු, නිර්භීත කඩවසම් තරුණයෙකි. ගමන ආරම්භයේදී ඔහු තුළ ඇත්තේ තරුණබවින් එඩිතර වූ උද්යෝගයකි. එහෙත් සමුද්‍රයේ අභියෝග එකිනෙක ඔහුව දැඩි ලෙස පරීක්ෂා කරයි. ඔහු මුහුණදෙන ඒ සෑම අවස්ථාවක්ම නිරූපණය කරනුයේ ඔහුගේ චරිතයේ වර්ධනයයි. රොබින්ගේ චරිතය සේම පැටීගේ චරිතය සඳහාද යොදාගෙන ඇත්තේ එකල වූ නවක මුහුණුය. චිත්‍රපටයට ජීවය දුන් එහි නිෂ්පාදක ප්‍රවීණ රංගධර ග්‍රෙගරි පෙක් ඒ සඳහා ගෙන ඇත්තේ තරමක අවදානමකි. මන්දයත් සමස්ත චිත්‍රපටයම රඳා පවතින්නේ රොබින් සහ පැටී දෙදෙන නිසාය. විශේෂයෙන්ම තරුණයා මතය. නිර්මාපකයන්ගේ තෝරාගැනීම නිවැරදි යයි තහවුරු කරන්නට රොබින්ගේ චරිතය රඟපෑ Joseph Bottoms හට ගොල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේදී ඊට Most Promising Male Newcomer සම්මානය ලබාගන්නට හැකි වේ.

එමෙන්ම ග්‍රෙගරි පෙක්, ඔහු රඟපෑ මොබිඩික් වැනි මුහුදු කතා ස්ටූඩියෝවන් තුළ රූගත කළ හෙයින්, ඉන් දිස්වන කෘතිම බව නිසාම ලද අත්දැකීම් හේතුවෙන්, නිෂ්පාදක ලෙස මෙම චිත්‍රපටයේ කුණාටු තත්වයන් සත්‍ය ලෙසම ගැනීමේ අවශ්‍යතාවය උදෙසා ඔස්ට්‍රේලියාවේ වාරකන් සමය සොයා ගිය බව පැවසේ.

කැලිෆෝනියා වෙරළ තීරයෙන් ආරම්භවන සංචාරයේ රස මුසු තැන්, අභියෝග, බලාපොරොත්තු, චිත්ත භාවයන් මේ සියල්ලක්ම ඉතා අනර්ඝ ලෙස දෙහෝරාවකට මුසු කරන්නට චිත්‍රපටයේ නිර්මාණකරුවන් සමත් වී ඇති බව කිව යුතුය. චිත්‍රපටය පුරාම සුන්දර ස්ථානයන්ගෙන් සහ එම සංස්කෘතික මිනිසුන්ගෙන් පිරී ඇත. ෆිජි, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, මොසැම්බික්, පැනමා, ගලපගෝස්, ඉක්වදොර් ආදි දේශයන්ගේ රූගත කිරීම් චිත්‍රපටයේ ආකර්ෂණීයත්වය වැඩි කරයි. රොබින් ලී ග්‍රැහම්ගේ පොතෙහි සඳහන් වන 1965දී සිදුවූ සත්‍ය ගමන වසර පහක් වුවද චිත්‍රපටයේ එය සංක්ෂිප්ත කොට හකුළුවා දක්වා තිබේ. මෙවැනි සමුදුරු වික්‍රමයක නිරත වූ ළාබාලතම පුද්ගලයා ඔහුය. එනිසාම ඔහුට National Geographic සඟරාවෙන් විශාල මාධ්‍ය ආවරණයක් ලැබේ. එහි පසුබිම තුළ සැඟවී ඇත්තේ 60-70 දශකයේ යෞවනයන්ගේ නිදහස් ආත්මයයි. ඔවුන්ගේ සිහිනයි. එකල තරුණයන් වික්‍රමයන්ට ආකර්ෂණය විය. Nat Geo සඟරාවේ පළවූ වාර්තා සේම මෙම චිත්‍රපටයත් ඔවුන්ට ප්‍රේරණයක් වූ බව කියවේ.

ලොව වටා යාත්‍රා කිරීමේ සිහිනය සමඟ තනිවම මුහුදට බසින ග්‍රැහම්ගේ කතාව මධ්‍යයේ අති සුන්දර සමුදුරු ගීතයක් ගැයේ. එය හොඳම ගීතය සඳහා ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයට නිර්දේශ වූවකි. එහි සංගීත රචකයා  Dances with Wolves (1990),  Out of Africa (1985), Born Free (1966)වැනි ප්‍රචලිත චිත්‍රපට  සංගීත වාදනයන්හි නිර්මාණකරු වූ චිර ප්‍රසිද්ධ John Barryය. Lyn Paul ගයන එම ගීතයේ කොටසකින් මෙය හමාර කරමි.


Sail the summer winds
No need to change your restless ways
Ride the rolling tides
Through whispered nights and golden days

Sail the summer winds

From dream to dream

And shore to shore

Go and get to know

If there's a place that offers more...

Now you must go now

While there is still

A world to see

Go, you'd better go, while it's still free...

Sail the summer winds
And when you've sailed on every sea
Sail the summer winds back home to me

- Lyrics by. DON BLACK -

 

ගිම්හාන සුළඟ සමඟ පැදයන්න

සිහිනයෙන් සිහිනයට,

වෙරළ තීරයෙන් තීරයට.

යන්න ගොස් දැනගන්න,

වැඩි ආලෝකයක් ගෙන දෙන

වෙනත් නැවතුමක් තිබේදැයි කියා.

 

තවමත් දැකීමට ලෝකයක් ඉතිරිව තිබෙන නිසා,

දැන් ඔබ යා යුතුය.

යන්න — නිදහස තවමත් හුස්ම ගන්නා

මේ මොහොතේම යන්න...


© Vijayanthi Vandebona | 2026-March-3 | Published in FB Group සිනමාවේදීන් - The Cinema People. | Words: 850

Comments