මිනිස් ජීවිතයක වටිනාකම කොපමණද?
මනුෂ්යත්වයේ නාමයෙන් එය කිසිවෙකුටත් සාධනීය පිළිතුරක් දිය හැකි ගැටළුවක් නොවේ. නමුත් නීතිය ඉදිරියේදී ජීවිතයට අගයක් ලැබේ. ඔව්, මිනිස් ජීවිතයකට සංඛ්යාත්මක අගයක්. මේ එහි බිංදු ගණන පිළිබඳ කතාවකි. බින්දු ගණන කීයදැයි, බින්දු ගණන ලැබෙන්නේ කාටදැයි, තීරණය කිරීම පිළිබඳ කතාවකි. මෙය යුද-ගැටුම්, කල-කෝළහල, ස්වභාවික ආපදා, ගෑස් ටැංකි පිපිරීම්, ආදි එකී නොකී මෙකී විපත්තීන්ගෙන් අතොරක් නැති කොදෙව්වක වසන ඔබගේ කතාව විය හැක.
වොෂින්ටන්හි නීතිඥයෙකු වන Kenneth Feinberg හට රාජකාරියක් පැවරී තිබේ. එනම් 9\11 ප්රහාරයෙන් විපතට පත් මිනිස් ජීවිත සඳහා වටිනාකමක් නියම කිරීමයි. ඒ මක්නිසාද යත් සැප්තැම්බර් 11 වින්දිතයන් සඳහා වන වන්දි අරමුදලේ ප්රධානියා ලෙස ඔහු පත් කිරීම හේතුවෙන්.
මේ අරමුදල පිටුපස විශාල දේශපාලන ඩීල් කතාවක් තිබේ. ඇත්තෙන්ම එය පිහිටුවන්නේ විපතට පත්වූවන් අදාල ගුවන් සමාගම් හා නඩු මගට බැසීම වළක්වාගන්නටය. එසේ වුවහොත් අදාළ සමාගම් බංකොළොත් බවට පත්වීම වැළැක්විය හැකි නොවේ. ඇමරිකාව ලංකාව මෙන් නොව ස්ටාර්බක්ස් කෝපි කෝප්පයෙන් පිච්චුණා යැයි කියාද නඩු කියා වන්දි ලබාගන්නා රටකි. ඉතින් කෙනත්ගේ සැබෑ රාජකාරිය වන්නේ වින්දිතයන් අරමුදල කෙරෙහි කැමති කරවාගෙන ඔවුන් නඩු මගට බැසීම වළක්වා ගැනීමය.
මෙය ඉතා බැරෑරුම් කාර්යයකි. බුෂ් පාලනය සහ පීඩාවට පත් මහජනයා යන දෙපැත්තම බේරා, තමන්ගේ ජාමයත් බේරාගෙන කළ යුතු කටයුත්තකි. සහකම්පනය සංවේදිබව නොදන්නා අයෙකුට මෙය කළ නොහැක. කෙනත් එවැන්නෙකු නොවේ. ඔහු නීතිඥයෙකු සතුවිය යුතු කුසලතා මිස මානව සම්පත් කළමනාකරුවෙකු සතුවිය යුතු කුසලතා වඩා නැත. එ නිසා ඔහුගේ රාජකාරි ආරම්භය එතරම් සාර්ථක නැත. විපතට පත් තැනැත්තා සහ එම පවුල් ඔහුට හුදෙක් දත්තයන් පමණී. ඔවුන් හා සිත් නොතලා අරමුදලේ කොන්දේසි සන්නිවේදනයේ යෙදෙන්නට ඔහු දැන සිටියේ නැත. මෙ නිසා බොහෝ පවුල් ඔහු හා ගැටේ.
විපතට පත් වූයේ සමාජයේ එක් කොට්ඨාශයක් පමණක් නොවේ. විධායක නිලධාරීන්ගේ පටන් සුළු සේවකයා දක්වා දුප්පත් පොහොසත් බේදයකින් තොරව සෑම තරාතිරමකම පවුල් මින් අගතියට පත්ව තිබේ. එවිට පාලකයාට ලැබිය යුත්තේ සේවකයාට ලැබෙන වන්දි මුදලමද? පාලකයාගේ මුදල ඊට වැඩි විය යුතුද? පොහොසත් පවුල් හට වැඩි මුදලක් ලබා නොදුන්හොත් ඔවුන් අරමුදලට අකමැතිවී නඩු මගට බසීද? කෙනත් ගැටළු ගොඩකට මැදිවේ. මීට විසඳුමක් ලෙස ඔහු සූත්රයක් ගෙන හැර දක්වයි. ගැටළුව ඔඩු දුවන්නට ගන්නේ ඉන් අනතුරුවයි. රැකියා තත්වය ආදායම අනුව ලැබෙන වන්දි මුදල වෙනස් වීම සාධාරණද? මිනිස් ජීවිතයක වටිනාකම එසේ තීරණය කිරීම මානුෂිකද? මේ සඳහා ඔහුගේ සහයට සිටින්නේ එම ප්රහාරයෙන් බිරිඳ අහිමි වූ Charles Wolf නම් පුද්ගලයෙකි. නමුත් කෙනත්ගේ සූත්රයේ දරුණුතම විවේචකයා වන්නේද, සූත්රයට එරෙහිව සමාජය මෙහෙයවන්නේද Stanley Tucci පණ පොවන ඔහුමය.
ගැටළුව එයම පමණක් නොවේ. ඇමරිකානු සමාජය මානව සම්බන්ධතා විෂයෙහි අතිශය විෂමකාරී වූ සමාජයකි. ඇතැම් ප්රාන්ත සමලිංගික සම්බන්ධතා පිළිගන්නා අතර ඇතැම්වා එසේ නොවේ. Living Together සංකල්පයේ නීතිමය තත්වයද එසේමය. ඇතැම් පුද්ගලයන් මතින් නඩත්තුවන දරු දැරියන් ප්රමාණය දික්කසාද පවුල් කිහිපයකින්ද ඒ අතර කසාද නොවූ පවුලකින්ද සමන්විත විය හැක. ඒ අනුව වන්දි මුදල හිමිවිය යුත්තේ කාටද? එය බෙදී යා යුතුද යනාදි වශයෙන් අතිශය සංකීර්ණ සහ මානුශික ගැටළු රාශියකට ඔහු මැදිවේ. අනෙක් අතින් ඇමරිකානුවන් සේම සංක්රමණික සේවකයන් පිළිබඳවද ඔහු සැලකිල්ලට ගත යුතුය.
ඉතින් ඔහුට සාර්ථකව තම රාජකාරිය නිම කළ හැකිවෙයිද? ඔහු මනුෂ්යත්වය පසෙකලා නීතිමය රාමුවක කොටුවෙයිද?
Michael Keaton ගේ රංගනයෙන් හැඩවෙන කෙනත්ගේ චරිතය අවසානයේ ඔබට කියනු ඇත්තේ මෙය ඇත්තෙන්ම බිංදු ගණන පිළිබඳ කතාවක් නොව මිනිසත්බවට ලැබිය යුතු ගෞරවය පිළිබඳ කතාවක් බවයි. කෙනත් විසින්ම රචිත "What is Life Worth?" නමැති කෘතිය පාදක කරගනිමින් සැකසී ඇති Worth සිනමාපටය, හුදෙක් සැප්තැම්බර් 9\11 සිදුවීම අළලා සැකසුණු "තවත් එක් කතාවක්" ලෙස ගත නොහැකි යයි සිතමි.
Genre: Biographical Drama
Comments
Post a Comment