The Snows of Kilimanjaro [1952]

 "හිම පියල්ලෙන් වැසී ගත් අඩි 19,710 උසැති කිලිමැන්ජාරෝ කඳු ශිඛරය අප්රිකාවේ උසැතිම කන්ද ලෙස සැලකේ. එහි බටහිර පෙදෙසේ කඳු මස්තකය සමීපයේ හිමෙහි මිදී ගිය කොටියෙකුගේ මළ සිරුරක් තිබේ. එතරම් උසක එම කොටියා මියැදෙන්නට පෙර කුමක් සෙවුවේ දැයි කිසිවෙකුත් පැහැදිලි කොට නොමැත."



මෙය චිත්රපටයේ ආරම්භක පාඨයයි. එය 1926 වර්ෂයේ පළ වූ සැබෑ ප්රවෘත්තියකි. සමස්ත චිත්රපටයේම රිද්මය හසුරුවනු ලබනුයේ මෙම කොටියාගේ අපැහැදිලි අරමුණය. කිලිමැන්ජාරෝ කන්දේ බටහිර ශිඛරය මසායි ජනයා "දෙවියන්ගේ නිවස" ලෙස හඳුන්වනු ලබති. එසේ නම් මේ කොටියා දෙවියන්ගේ නිවස සොයා, ලෝකයේ කෙළවර සොයා, අති බිහිසුණු වික්රමයක යෙදුණේද? මෙම අපැහැදිලි අරමුණ ඔබට පැහැදිලි කර ගත හැකි නම් ඔබේ දිවියේ සැබෑ අරමුණ ඔබට පැහැදිලි වනු ඇත.
Gregory Peck තරු රංගනයෙන් බබළන, අමරණීය ඇමරිකානු කතුවර Ernest Hemingwayගේ කෙටිකතාවක් පාදක කොට නිර්මාණය වූ "කිලිමන්ජාරෝහි හිම පතර" මිනිස් දිවියක අරමුණු කුමක් විය යුත්තේ දැයි විදහා දක්වන දාර්ශනික නිර්මාණයකි.
හැරී ස්ට්රීට් චිර ප්රසිද්ධ ලේඛකයෙකි. තම බිරිඳ හෙලන් සමඟ යෙදුණු අවදානම් සහගත අප්රිකානු සෆාරි සංචාරයක් අතරතුරදී කටුවක් ඇණී නැගුණු කුඩා තුවාලයක් ආසාදනය වී මරණයේ දොරකඩ අබියෙස සිටින හැරී, කිලිමැන්ජාරෝ කඳු සෙවණැල්ලේ කඳවුරු ලා තම ජීවිතය පිළිබඳ ස්මරණයක යෙදේ. ඔහුගේ සිතැඟි, කලෙක පැරීසියේ ගෙවූ බොහීමියන් ජීවිතයේ සිට අද දක්වා පැරණි මතක පෙළගසයි. මෙම මතකයන් අතරේ තම ආදරවන්තියන් එකිනෙක දිග හැරේ. ඒ මධ්යයේ බබළන්නේ සින්තියා නම් වූ මහත් ප්රේමීයයි. ඇය ඔහුගේ ජීවිතයේ සැබෑ ආදරය, ප්රථම බිරිය වූවාය. නමුත් අරමුණු නිසා ඔවුනට ඔවුහු අත් හැරිණි.
හැරී පැරිසියේදී සින්තියා හා සම්මුඛ වනුයේ තරුණ කඩවසම් ලේඛකයෙකු ලෙසිනි. ඔහු අභියෝග හඹා යන කෙළිලොල් පුරුෂයෙකි. වික්රමාන්විත අවදානම් සංචාරයන්හි යෙදී එම අත්දැකීම් ලියන්නට ආශක්ත වූවෙකි. ලේඛකයෙකු වන්නට පෙරුම් පුරන කාලයකදී, දඩයමට ලොල් තම මාමා දුන් උවදෙස ඊට බලපාන්නට ඇත.
"ළමයා! නියම ලියවිලි ලියන එකම හරිම ක්රමේ, මම කියන්නන්. ඒක දඩයමක් කරනවා වගේ. මුග්ධ පාපී බලවේග පරදවන්න උඹේ මොළේ අන්තෙටම පාවිච්චි කරන්න වෙන දඩයමක්. ජීවිතාන්තය දක්වා හුදෙකලාවේ යන්න වෙන සෆාරියක්. උඹ හොයන ගොදුර; කියන්ටම වටින ඇත්තක් වෙන්ට ඕනා, කැප වෙන්ට වටින සත්යක් වෙන්ට ඕනා, හොරයක් බොරුවක් නැතිව ඔක්කොම කියලා දාන්න තරම් වටින වැදගැම්මක් ඇති දෙයක් වෙන්ට ඕනා. උඹම මේ ගොදුර පසු පස්සේ ලුහුබඳින්ට ඕනා. ඉව පාර කොයි දේසෙට ගියත්, මොන දුකක් කරදරයක් විඳින්න වුණත්, බාධක කම්කටොළු කොයි විදියෙන් ආවත්, උඹට ගේම අත අරින්නේ නැතිව ඉන්න තරම් ධෛර්යයක් තියනවද කියලා මම දන්නේ නෑ. හැබැයි උඹට ඒක පුළුවන් නම්, දෙවියෝ උඹට උදව් කරාවි, උඹට කරුණාව පාවි."
සැබෑ ලිවීම අසීරු හුදකලා ජීවිතය සොයා යන ව්යායාමයකි. ඊට ධෛර්යය, අවංකභාවය, සහ ඉවසීම අවැසිය. එය සැබෑ ලෙසම කළ හැක්කේ ඒ වෙනුවෙන් කැප විය හැකි තැනැත්තාට පමණි. මාමා කියූ ලෙස කරන්ට ඔහුට මුදල් හදල් නොමැතිය. නමුත් මුදල් ගලා එන විට බැඳීම් ඊට හරස් වේ. ආසාවන් සහ බැඳිම් අතරේ ගැටුමේ ප්රතිඵලයක් ලෙස දෙපිලම ඉන් පරාජයට පත් වේ. පසුව ඔහු ධනවත් කාන්තාවක හා ඇසුරේ ජනප්රිය කතුවරයෙකු ලෙස සැපසේ ජීවත් වෙයි. නමුදු එයද බිඳ වැටේ.
"සාර්ථකත්වය හෙවත් ප්රසිද්ධිය සහ ධනය, හිම බෝලයක් වැනිය. හිම ඇලෙමින් කෙමෙන් කෙමෙන් බෝලය විශාල වුවද එය පෙරලෙනුයේ පහළටය."
හැරී මෙම වදන් මතකයට නංවනුයේ තම ජීවිතය ගැන සිහිපත් කරමිනි. "හිස්" සාර්ථකත්වය අර්ථ විරහිතය, එයට නැගුමක් නැත.
ඔහු මරණීය වේදනාවට මනෝ විකාරයෙන් දොඩවන අතරතුර හෙලන් ඔහු මරණ මංචකයෙන් බේරා ගැනීමට මහත් උත්සාහයක යෙදේ. ඇයගේ ආදරය නොසැලෙයි. නමුත් එය ඔහුට වගක් නොමැත. දිවා රෑ නොතකා ඔහු අසලම රැඳෙමින් උව්ටැනෙහි යෙදෙන හෙලන්, ඔහුගේ වත්මන් බිරිඳයි. නමුත් ඔහුගේ මරණීය ස්මරණය සින්තියාගේ ආදරය වෙළා ගෙන ඇත.
මේ අතර මියගිය කොටියාගේ රහස කුමක්ද? හැරී මෙම ප්රහේලිකාවට උත්තර සෙවීමට උත්සාහ කරයි. එම වික්රමාන්විත සෆාරි ගමනම එහි ප්රතිඵලයකි. කොටියා එතරම් උසකට ගියේ කුමක් සෙයින්ද? කොටියා යනු සාමාන්යයෙන් පහත් බිමෙහි වාසය කරන සත්වයෙකි. එහෙත් ඌ කිලිමන්ජාරෝහි ඉහළතම ශිඛරයට – හිමෙන් වැසුණු, මරණයට ආසන්න උසකට – ගොස් ඇත. එමෙන්ම කුණු නොවූ මිය ගිය සිරුර හිමෙහි තැන්පත් වී සදාකාලිකව සංරක්ෂණය වී තිබේ.
  • යමෙක් හට ඌ වැරදි ඉවක් පසු පස වැටී ගමන වැරදීමකින් අතරමං වූ කොටියෙකු ලෙස හැඳින්විය හැක. ඉතින් මෙම මරණය එවැනි වල්මත් ගවේෂණයක ප්රතිඵලයක්ද? මරණයට ආසන්නව සිටින හැරීගේ දිවිය, කොටියා මෙන් වැරදි සුවඳක් අනුගමනය කළ එකක්ද? ඔහුගේ මරණය වල්මත් වූ කොටියා සේ අර්ථශුන්ය වීද?
  • එය එසේ නොවේ නම් ඔබට මෙය දිව්යමය ගවේෂණයක් ලෙස අර්ථ දැක්විය හැක. දෙවියන්ගේ නිවස සොයා යාමේ කුතුහලයේ ප්රතිඵලයක් ලෙස ඌ මිය ගියද අමරණීයත්වයට පත් වී තිබේ. නමුත් මෙම ගවේෂණය නියත මරණයකි. එය උගේ ස්වාභාවික පරිසරය නොවේ. එහි යෑම මරණයට අත වැනීමකි. ඉතින් එවැනි අත්පත් කරගැනීමක සැබෑ ප්රතිඵලයක් වේද?
කොටියාගේ අරමුණ සහ හැරීගේ ජීවිත ගවේෂණය අතර වෙනසක් වේද? අනර්ඝතම දෑ අත්පත් කර ගැනීම උදෙසා ජීවිතය අවදානමේ යෙදවීම යහපත්ද? ජීවිතයේ අරමුණු සමතුලිත කළ හැකිද? ජීවිතයම යනු අවදානම් ගැනීමකි. උසස්තම දේ සොයා යාමකි. මැරුණු කොටියාගේ මඟ පෙන්වීමෙන් මරණය අබියස ජීවිතානුබෝධය ලබන හැරී පමා වූවා වැඩි වීද? අතීතයේ සිරවී සිටින ඔහුට වර්තමානය කරා ආ හැකි වෙයිද? වත්මනෙහි ඇති දෑ අගය කළ හැකි වේද?
හෙමිංවේගේ කෙටිකතාවේ අවසානය සනිටුහන් වනුයේ කටුක පසුතැවිල්ල පෙරටුකොට ගෙනය. නමුදු කතුවර එර්නස්ට් හෙමිංවේගේ බලවත් අකමැත්ත මැද චිත්රපටය අවසන් වනුයේ බලාපොරොත්තුව පෙරටුකොට ගෙනය. The Snows of Kilimanjaro, 1952 වසරේ ඉහළතම ආදායම් ලැබූ චිත්රපට අතරින් එකක් වූ අතර ඇකඩමි සම්මාන දෙකක් සඳහාද එය නිර්දේශ විය.
කොටියාගේ ගමන මංමුළා වූවක් නොවේ. එය වැරදි සුවඳක් නොව, සැබෑ, උද්යෝගිමත් සුවඳක් අනුගමනය කිරීමකි. එය උසස්තම දේ සොයා යෑමකි – එම නිසා එම මරණය ගෞරවනීය අවසානයකි. එහෙත් මරණය එම මාර්ගයේ අනිවාර්ය අන්තය නොවිය යුතුය. කොටියා මෙන් ඉහළට නැග මිය යෑම තේජාන්විත වන නමුදු, හැරීගේ ජීවිතානුබෝධය ඊට වෙනස් මඟක් ගනී. අපි සැම සිතැඟි වලින් කිලිමැන්ජාරෝවේ කොටියා සේ විමු. උසස්තම දේ සොයා කෙළවර ගැන නොසිතා ඒ පසු පස හැල්මේ දුවන්නෙමු.

Published in FB Group සිනමාවේදීන් - The Cinema People 2025 – December– 16

Comments