The Most Hated Woman in America (2017)

ඉතින් මුළු රටක්ම පිළිකුල් කල මේ කාන්තාව කවුද? පිළිකුල් කරන්නේ ඇයි? ඔව් ඒ ආගම නිසා. 


ඇය නිරාගමිකයි, නමින් ඈ Madalyn Murray O'Hair. ඉතින් නිරාගමික වූ පමණින්ම පිළිකුල් කටයුතුද? නෑ. නමුත් මේ සියල්ල ඈ තම නිරාගමික බවම ව්යාපාරයක් කර ගත් නිසා. එයම වංක සිත් ඇතිව තම ආදායම් ඉපැයුම් මාර්ගයක් කරගත් නිසා. අවසානයේ ඇය ඛේදජනක ලෙස ඝාතනයට පත්වෙන්නේත් ආධාර ලෙසින් මේ උපයාගත් මහා ධනස්කන්ධය නිසාමයි.
ඇමරිකානු ඉතිහාසයේ ඇගේ නම ලියවෙන්නේ රජයේ පාසල් තුළ එකල සෑම සිසුවෙක් සඳහාම අනිවාර්ය කොට තිබූ බයිබල් පාඨ කියවීමට විරුද්ධව ශ්රේෂ්ඨාධිකරණයේ නඩු කියා ජයගත් කාන්තාව ලෙසයි. එය ඇගේ නිරාගමික ජීවිතයේ වැදගත් සංධිස්ථානයක්. ඇය පල්ලිය සහ ආණ්ඩුව වෙන් වෙන්ව තිබිය යුතුයි යන මතය ප්රචලිත කිරීමට කටයුතු කළ අයෙක්. රජයේ පාසල් තුළ සියලුම සිසුන් හට යාඥා කියන්නට නියම කිරීම ව්යවස්ථාවට පටහැණි බවට ඈ චෝදනා කළේ සිසුවෙකු වූ තම වැඩිමහල් පුත්රයා එම නඩුවේ පැමිණිලිකරු කරමින්.
ඇය දැවැන්ත සමාජ ක්රියාකාරිනියක බවට පත් වන්නේ එතැන් සිට. එමෙන්ම ඇමරිකාවේ පිළිකුල් කටයුතුම කාන්තාව ලෙස ලේබලය වදින්නේද මේ මොහොතේ. එසේ වුණත් ඇයට ආධාර ගලා එන්නට පටන්ගන්නේත්, එයම ආයතනික මට්ටමින් සමාජ ව්යාපාරයක් ලෙසින් කරගෙන යන්නට ඈ පටන් ගන්නේත් එතැන් සිටයි. කතාවේ ඇරඹුමද එයයි. යහපත් චේතනාවෙන් පටන් ගත් සියල්ල, ගලා එන ජනතා අවධානය හමුවේ මුදලට කෑදර වන සැටිත්, ඊට මුළාවන පෘථග්ජන ජනතා අවධානය තව තවත් මේ නාඩගම සඳහා රැවටෙන සැටිත් හාස්යජනක ලෙස නිරුපණය කොට ඇත්තේ ප්රේක්ෂකයා හට තමන්ටම සිනාවීමට අවස්ථාවක් සලසමින්.

මෙය සමාජ ශෝධකයන් ලෙසින් කරළියට පැමිණෙන බොහෝ පුද්ගලයන්ගේ ඇතුළාන්තය ප්රහසනාත්මක ලෙස ඉදිරිපත් කරන නිර්මාණයක්. ඇගේ ජීවිත කතාව නොදැන මේ සිතුවම්පටය නැරඹුවහොත්, කතාව ගලායන විකට කොමඩි ස්වරූපය අවසානයේ මහා ඛේදාන්තයක් ඇති බව කිසි ලෙසකින්වත් ඔබ නොසිතාවි. එනිසා මෙය Tragicomedy ශානරය Biopic එකකට මුසු කරගත් හොඳ උදාහරණයක්. 

Genre: Biographical Comedy Drama Film

Published in සිනමාවේදීන් - The Cinema People 2022 – June – 17


Comments