කාලයකට කලින් මට මිෂනාරි වැඩ වලට සිලෝනෙට ආපු උදවියගේ වාර්තා කිහිපයක් කියවන්න ලැබුණා ආකයිව්.ඔර්ග් එකේ තිබිලා. ඒවායේ කියලා තියෙන එයාලාගේ අත්දැකීම් හරිම සිත්ගන්නාසුලුයි. මේ චිත්රපටේ කතාව ගලා ගෙන යන්නේ චීනයට යන මිෂනාරි පූජකවරයෙක් ගැන. හැබැයි මම නම් මුළු කතාවම බැලුවේ සිලෝනෙට ඒක ආදේශ කර ගෙන. ඒ තරමට අපට මේක ගැලපෙනවා. චීන ජාතික ප්රාදේශීය ප්රභූ නායකයාට උඩරට රදලයෙකුත්, එයාගේ පුතාට චූටි සුදු අප්පෝ කෙනෙකුත්, ඇබිත්ත ජෝසප්ට හැන්ඩි ඉලන්දාරි සිංහල කොල්ලෙකුත් හිතේ මවා ගෙන බලන්න පුළුවන් ලස්සන කතාවක් The Keys of the Kingdom.
චිත්රපටයට පදනම් වෙන්නේ විශිෂ්ට ලේඛක A. J. Croninගේ මේ නමේම නවකතාව. මේ කතාව කියවලා නැති වුනාට දොස්තර කෙනෙක් තේමා කර ගත්තු එයාගේ The Citadel නවකතාවට පිස්සු වැටුණු හන්දත්, Gregory Peck ඉන්න හන්දත්, ග්රෙගරිගේ පළවෙනි ඇකඩමි නිර්දේශයත් තමයි බලන්න හේතු කාරණා වුණේ.
චිත්රපටයේ කතාව ආරම්භ වන්නේ 1938 ස්කොට්ලන්තයේ කුඩා පල්ලියකින්. එහි වසන ප්රැන්සිස් චිෂෝම් පියතුමා දැන් වයස්ගතයි. ඒත් තවමත් ක්රියාශීලීයි. ඔහුගේ අදහස් උදහස් ක්රියාකලාපේ බිෂොප්තුමාගේ අපේක්ෂාවන්ට ගැලපෙන්නේ නෑ. බිෂොප්තුමාගේ අදහස ඔහුව විශ්රාම යවන්න. ඒ ගැන සොයා බලන්න කියලා බිෂොප්ගේ අනුදැනුම මත එන මොන්සිඥෝර් ස්ලීත්ගේ අතට අහුවෙන ප්රැන්සිස් පියතුමාගේ වාර්තා සටහන් පොතෙන් තමා චිත්රපටේ ගලා ගෙන යන්නේ.
චිෂොම්ගේ ළමා කාලය ඛේදවාචකයක්. අම්මයි තාත්තායි දෙන්නම නැති වෙන්නේ එකට, ඇස් පනා පිට. ඔහු හැදී වැඩෙන්නේ ඥාති හිතමිතුරන්ගේ ඇසුරේ කතෝලික දහමත් එක්ක. ඔහුගේ එකම ආදරෙත් ඔහුට තරුණකාලේ අහිමි වෙනවා. මේ විදිහට තමයි ඔහු පූජකත්වයට තල්ලු වෙන්නේ.
පූජකයෙක් වුණාට ඔහුගේ අදහස් සාම්ප්රදායික නැහැ. ඒකටම තරුණ ජවයත් එකතු වුණාම ඇතිවෙන්නේ ගැටුම්. බිෂොප්තුමාට පැමිණිලි කෝටියයි. මේ බිෂොප්තුමාගේ ප්රියතම හොඳම සිසුවා ඔහු. ඉතින් එකපාරට අහක දමන්න බැහැ. බිෂොප්තුමා ඔහුව යවනවා චීනෙට, පයි-ටැන් කියන ගම් පළාතට මිෂනාරි සේවයෙ පුරප්පාඩුවකට. දහසක් බලාපොරොත්තු තියා ගෙන පයි-ටැන් ගමට යන ප්රැන්සිස් පියතුමාට හිතපු තරම් ලේසි වෙන්නේ නැහැ. පල්ලිය නටබුන් වෙලා. මිශනරිය විනාශ වෙලා. ඔහුට නැවතත් මුල සිට අරඹන්න සිදු වෙලා. නමුත් ආගම බලහත්කාරයෙන් පතුරවන්න ඕනෙ නැහැ කියන එක ඔහු තදින් විශ්වාස කරන දෙයක්. කුස ගින්න ලාභ ප්රයෝජන උදෙසා ලබ්ධිය වෙනස් කරන අයවලුන්ව ඔහු තදින් උපහාසයට ලක් කරන්නේ "Rice Catholics" යන නමින්. මේක ඇත්තටම එවැන්නන්ට සමාජයේ පවතින යෙදුමක් බව මං දැන ගත්තේ දැන්. ඒ වගේ අයගෙන් ආගමික සංස්ථාවට වෙන බක්කක් නැති හින්දා ඔහු එවැන්නන් අනුගාමිකයන් ලෙසින් බඳවා ගන්නේ නැහැ. ඒ වගේම ඔහුගෙන් උදව් උපකාර ලැබිලා ඊට ප්රතිඋපකාරයක් විදිහට ඔහු සතුටු කරවන අටියෙන් බෞතීස්ම වෙන්න කැමැත්තක් දක්වන උදවියත් ඔහු ප්රතික්ෂේප කරනවා. ඔහුට අවශ්ය හදවතින් දෙවියන් දැක සැදහෙන සැබෑ බැඳීමක් ඇති අනුගාමිකයින් පමණයි. ප්රැන්සිස් චිෂෝම් පියතුමාගේ මෙම ක්රියාකලාපය බුදුරජාණන් වහන්සේ ධර්ම ප්රචාරණයේදි අනුගමනය කරපු, උපදෙස් දුන් ක්රියාකලාපය හා සමපාත වන බවකුයි මට දැණුනේ. මේ අමාරු කාලේ කිසිම ලාභ ප්රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නැතිව එක සිතින් ඔහුගේ උදව්වට එන්නේ ජෝසප් කියන චීන ඉලන්දාරි ගැටයා විතරයි. ඔහුත් එක්ක එකතු වෙලා පියතුමා තනි අතින් ශාන්ත අන්දෘ දේවස්ථානය ගොඩනගනවා.
මේ අතරේ ඔහුට පුළුවන් වෙනවා මහත් උත්සහයත් කැපවීමත් ඉවසීමත් භක්තියත් පෙරදැරිව චීන ගැමියන්ගේ හිත දිනා ගන්න. පූජකයෙක් විදිහට හික්මෙන්න පුහුණුව ලැබුවත් ස්වභාවිකව තරුණ ජවයත් එක්ක නැගෙන ක්ෂණික කෝපය මැඩලන්න ඔහුට ලොකු වෙහෙසක් ගන්න සිදු වෙනවා. පල්ලිය ටික ටික ලොකු වෙන කොට කාන්තාවන් සහ කුඩා දරුවන්ගේ අධ්යාපනය වෙනුවෙන් කන්යා සොහොයුරියන් තිදෙනෙක් දුර කතර ගෙවා ගෙන ඔහු හා එක් වෙනවා. ප්රධාන කන්යා සොහොයුරිය ටිකක් උඩඟුයි. චිෂෝම් පියතුමාගේ සරල කම ඇය හා ගැටෙනවා. ඔහුගේ ප්රගතිය දැක බලා වාර්තා කිරීමේ උවමනාවෙන් සංචාරයක නිරත වෙන මොන්සිඥෝර් ඇන්ගස්- ඉහළ තනතුරක් ලබා සිටින ඔහුගේ කුඩ කල මිතුරා, වර්තමානයේ ඔහුව විශ්රාම යවන්න සැරසෙන බිෂොප්වරයා- උපදෙස් දීලා යන්නේ චීන ධනවතුන් ඉලක්ක කරගන්න කියලයි. ඒත් ඔහු එය ප්රතික්ෂේප කරනවා. ඔහුට ඕනේ සැබෑ භක්තියක් තියෙන අය අනුගාමිකයින් කරගන්න විතරයි.
මං අහලා තියනවා ඇමරිකානු මිෂනාරි සේවය සිලෝනේ වඩාත් ප්රචලිත වුණේ උතුරු පළාතේ කියලා. අනෙක් පළාත්වල අරක් ගෙන තිබුණු බ්රිතාන්ය නිකායන් මේකට වැට බැන්දද නැද්ද කියලා පොඩි අදහසක් මේ චිත්රපටෙන් ගන්න පුළුවන්. පියතුමා සමඟ හිත මිතුරු වුණු, නමුත් බෞතිස්ම කරවීම ප්රතික්ෂේප කළ චීන ප්රභූවරයෙක් ඔහුගෙන් විමසනවා පයි-ටැන් නගරය කරා දැන් දැන් ආකර්ෂණය වෙන මේ විවිධ නිකායවල මිෂනාරි ගැන. ප්රභූ තැන සිතන්නේ මෙම අනෙක් නිකායන් අදහන්නේ වැරදි දෙවියෙක් කියලයි. ඊට චිෂොම් පියතුමා ලබා දෙන්නේ අනර්ඝ පිළිතුරක්. ඔවුන් හා ඔහු අදහන්නේ එකම දෙවියෙක් බවත්, ඒත් ඒ දෙවියන්ගේ රජ දහන කරා යෑමට අපි අපිටම වෙන් වූ මාවත් ඇති බවත්, අනෙකාගේ මාවත වැරදි පාරක් යයි සිතනාමුත් ඔහුගේ තේරීමට බාධාවක් වන්නට මට කිසිදු අයිතියක් නැති බවත් පියතුමා ප්රභූවරයාට තෝරා දෙනවා.
චිත්රපටේ ගොඩක්ම ලස්සනට දැනුණේ එහි දෙබස්. ක්රෝනින් මේක ලියද්දී තමන්ගේම ජීවිතේ ටිකක් එකතු කරලා කියලා හිතෙනවා. ඔහු වෛද්යවරයෙක්. පතල් ගම්මාන, ඒ තැන්වල දුක, මිනිස්සුන්ගේ කටුක ජීවිත ඔහු දැකලා තියෙනවා. සිටැඩල් නවකතාවේ ඒක ගොඩක්ම පේනවා. ඒ අත්දැකීම් මේ කතාවටත් බලපාන්න ඇති. Alfred Hitchcock පවා මේ කතාවට ආසවෙලා චිත්රපටේ අධ්යක්ෂණය කරන්න බලාපොරොත්තුවෙන් ඉඳලා තියනවා.
චිත්රපටයේ තියෙන තවත් එක ලස්සන දෙයක් තමයි චිෂොම් වටා චරිත එකතු වෙන විදිහ. ඒ අය එනවා, ආයෙත් යනවා. ඒ එක එක චරිත එක එක විදිහට චිෂෝම්ගේ ජීවිතයට බලපානවා. ඒක බලද්දී හිතෙනවා ජීවිතේත් එහෙමයි නේද කියලා. මිනිස්සු එනවා, ආයෙත් යනවා– ඒත් ඒ එක එක මොහොත ජීවිතයට ලොකු බලපෑමක් දෙනවා.
ඉතින් ආඩම්බරකාර ප්රධාන කන්යා සොහොයුරිය වෙරෝනිකා එක්ක පෑහිලා ධූත මෙහෙවර ඉටු කරන්ට ප්රැන්සිස් චිෂොම් පියතුමාට පුළුවන් වෙයිද? සරලකමත්, ක්රියාකලාපෙත්, යුධ ගැටුම් නිසාත්, ඔහුට චීනෙන් යන්න වෙයිද? අනෙක් මිෂනාරි නිකායන්ගෙන් බලපෑමක් ඇති වෙයිද? මොන්සිඥෝර් ස්ලීත් නිදි මරාගෙන හොරාට කියවපු වාර්තා සටහන් පොතට පුළුවන් වේවිද චිෂොම් පියතුමාට සාධාරණයක් ඉටු කරන්න?
ශාස්තෘවරයා කවුරු වුණත් මග පෙන්වන්නාගේ හදවතේ පිරිසිදුකම තියේ නම්, අරමුණ යහපත නම්, එතැනට මිනිසුන් නිතැතින්ම රැස්වේවි. ඇමරිකාවේ මේ දවස්වල සිදුවන පාද යාත්රාවේත් වෙන්නේ ඒ දේම නේද කියලා හිතෙනවා.



Comments
Post a Comment