පොරොම්බ්රොතෝට හිත බැඳිලා එයාගේ ෆිලුම් පික්සුවෙන් වගේ හොයද්දි හම්බුණු අපූරු මැණිකක් තමයි ශෝමොන්තොරාල්. බෙංගාලි උරුවටම ඒ නම් දෙක කියැව්වේ බංගලියන්ගේ 'ඔ' කාරයටත්, 'ස' 'ස' ගාන්නේ නැතිව 'ශො' 'ශො' ගානවටත් මං හරි ආස නිසා. බෙංගාලි බස තරම් කණට ප්රිය සුමධුර සුනම්ය බස් වහරක් ලොවෙත් නැහැ. ඉතින් සිංහලෙන් කියනවනම් මං මේ කතා කරන්නේ Parambrata Chatterjee ගැන.
ඔව් ඒ තමයි Kahaani(2012) චිත්රපටයේ විද්යා බාලන්ට උදව් දෙන හුරුබුහුටි පොලිස් නිලධාරියා, Pari(2018) චිත්රපටයේ අනුෂ්කා ශර්මාව ආදරෙන් රැක බලාගන්න තරුණ ළාමක ඉලංදාරියා. ඔහු හින්දි සිනමාවට සහය නළුවෙක් වුණාට, බෙංගාලි සිනමාවේ දැවැන්තයෙක්. බෙංගාලි සිනමාවේ මෑතකාලීන ප්රවීණයන් සමඟ හරි හරියට වැඩ කරපු අත්දැකීම් සපිරි රංගනවේදියෙක්, ඔවුන්ව මෙහෙයවපු අධ්යක්ෂකවරයෙක්. ඔහුගේ අධ්යක්ෂණයේ දිග පළල මං ඉස්සල්ලාම දැක්කේ Shonar Pahar (2018) වලින්. දැන් බලා ඉන්නේ මේ අවුරුද්දේ එළියට ආපු ඔහුගේ Abhijaan (2022) බලන්න ලැබෙනකන්.
අභිජාන් වලින් කියවෙන්නේ 'අපූට' රඟපාපු, බොහොම මෑතකදී ජීවිතයෙන් සමුගත් Soumitra Chatterjee ගේ ජීවිත කතාව. ඔහු මියෑදෙන්න පෙර ඊට ඔහුගේ රංගන දායකත්වය ලබාගන්න පොරොම්බ්රොතෝ වාසනාවන්ත වෙනවා. රවින්ද්ර සංගීතයෙන් හැඩ වන, එහි එකම ගීතය වන Tomaro Asimey - Rabindra sangeet | Abhijaan | Durnibar Saha යූටියුබයේ නැරඹුවහොත් ඔබත් අනිවාරයෙන් එය බාගන්නට ලැබෙන තුරු මං වගේ දින ගැන ගැන බලා සිටීවි.
හරි එහෙනං දැන් අපි ශෝමොන්තොරාල් ගැන කතා කරමු.
මේකේ කතා තේමාව සමහර අයට ඇලජික් වෙන්න පුළුවන්. එහෙමයි කියලා මේ මැණික මඟ හැර ගන්න එපා. මොකද මටත් එහෙම වෙන්න ගියා. එහෙම අය හිතාගන්න මේ කතා කරන්නේ ලෝකය දිහා අහිංසක විදිහට බලන, වෙනස් විදිහකට බලන, ජීවිතය විඳින්න උත්සහ දරන මනුෂ්යයෙක්ගේ කතාවක් කියලා. තවත් විදිහකට කිව්වොත් 'අපූ' වගේ අපූරු මනුස්සයෙක්ගේ කතාවක්. ඒ අපූරු මනුෂ්යයාට පණ පොවන පරම්ගේ රංගනය සහ සිනමාපටයේ ගීත සියල්ලක්ම ඔබේ ඇලජික් එක නැති කරාවි. ඒ හන්දා Social Issue එකක් හිමීට ඔළුවට ඔබන කතාවක් කියන්න පුළුවන්.
ඉතින් ඔබ හිතුවේ Parambrata කියන්නේ රංගනශිල්පියෙක්, අධ්යක්ෂකවරයෙක් විතරක් කියලද? ඔහුගේ ගායන කුසලතාවයත් මේ සිනමාපටය ඔස්සේ දැක බලාගන්න පුළුවන්. බෙංගාලි විතරක් නෙවී, විදෙස් භාෂාවන්ගෙන් ගයන්නටත් ඔහු දස්සයි. කතාව ගැන මුකුත්ම කියලා ස්පොයිල් කරන්නේ නැහැ. ඒ වෙනුවට සමන්තරාල් හි අඩංගු වෙන පරම්බ්රටා ගයන Bhalobasar Gaan නම් ආදර ගීය අහන්න කියලා කියන්නම්. එහි ඇත්තේ ලලොන් නම් ප්රසිද්ධ ඉපැරණි බෙංගාලි කවියාගේ කාව්යයක සංස්කරණයක් සහ ප්රසිද්ධ ස්පාඤ්ඤ ගීයක එකතුවක්.
"I do not know myself
I look for her on the land and in the sky
I do not know myself
I wander around while being clueless
Who am I?
And who is she?"
Language: Bengali

Comments
Post a Comment