දේශපාලනය යනු ඩීල් පිටියකි. එහි ඇත්තේ ගේම්ය. එකිනෙකාට චෝදනා කර ඉන් පසු කරට අත දමා ගනිති. කට කතා පතුරවති. මඩ ගසති.
ඔබ සිතන්නේ මඩ ගැසෙන්නේ කට කතා පැතිරවෙන්නේ ප්රතිවාදී පාර්ශවයට විරුද්ධව පමණක් කියාද? නැත. මඩ නා ගැනීම තුළින් camouflage වීමට හැකිය. එවන් මෙහෙයුම් අති සූක්ෂමය. එවැන්නක් දියත් කිරීමට උපායෙහි දක්ෂයන් අවශ්යය. මෙවැනි කැම්පේන් හී ප්රතිඵලය ඔබ අප සිතනා දෑ නොවේ. "නිවැරදි" ලෙස තුන්වන ලෝකයේ රටක ඡන්ද ව්යාපාරයක් මෙහෙයවන්නේ කෙසේද යන්න Our Brand Is Crisis කියාදේ. මෙහි "නිවැරදි" යනු කුමක්දැයි ඔබම අර්ථ කථනය කර ගත යුතුය.
ඇමරිකානු දේශපාලන කැම්පේන් උපදේශක ආයතනයක කණ්ඩායමක් බොලීවියාව බලා පිටත් වන්නේ එහි ජනාධිපති අපේක්ෂක කැස්ටිලෝගේ ඡන්ද ව්යාපාරය මෙහෙයවීම පිණිසය. කැස්ටිලෝගේ ප්රධාන ප්රතිවාදියාද මෙලෙසින්ම ඇමරිකානු කණ්ඩායමක සහය ලබා ගනිමින් සිටියි. ඔහුට සහය ලබා දෙන ඇමරිකානු මහ මොළකරු "පැට් කැන්ඩි" සමඟ හැප්පීමට, කැස්ටිලෝ බඳවාගත් ඇමරිකානු කණ්ඩායමට නොහැකිය. සමීක්ෂණයන්ට අනුව කැස්ටිලෝ සිටින්නේ පහළිනි. එනිසා ඔවුන් කැන්ඩිගේ මහ මොළය සමඟ හැප්පිය හැකි මහ මොළයක් තම කණ්ඩායමට එක් කර ගනී. ඇය ජේන්ය. නමුත් ඈ දායක වූ අවසන් ඡන්ද ව්යාපාර ඇයට අත් කර දී ඇත්තේ නින්දා සහගත පරාජයන්ය. එ නිසා ඈ සියල්ල අතහැර වසර හයක් තිස්සේ සමාජ ආශ්රයෙන් සැඟවී සිටියි. ඒ පරාජයන්ට හේතුවද පැට් කැන්ඩිය. නැවතත් තරඟ බිමට අවතීර්ණ වන්නට එයම තරම් පෙළඹවීමක් වෙන කොයින්ද. මෙය තව දුරටත් දේශපාලකයන් අතර තරඟයක් නොවේ. මහ මොළකරුවන් අතර තරඟයකි. ඉතින් ඇයට කැස්ටිලෝ දිනවිය හැකිද? පැට් කැන්ඩි හමුවේ ඇය නැවත වරක් අන්වර්ථ නාමයක් ලබයිද? බොලිවියානු සංස්කෘතිය හෝ භාෂාව අල්පමාත්රයක් නොදැන ඔවුන් කරනා කටයුත්ත සාර්ථක වේද?
මින් 2002 වසර නිරූපිත නිසා සමාජ මාධ්ය, දේශපාලනය කෙරෙහි ඇති බලපෑම එළි දැක්වෙන්නේ නැත. ඇත්තෙන්ම මෙම ප්රබන්ධිත සිනමා පටයට පාදක වන්නේ එනමින්ම ඇති 2005දී පිටවූ documentryයයි. එහි කියවෙන්නේ 2002 බොලිවියානු ජනාධිපතිවරණය සඳහා Greenberg Carville Shrum (GCS) නම් ඇමරිකානු දේශපාලන කැම්පේන් උපදේශක කණ්ඩායම විසින් දියත් කළ උපාය මාර්ගයන් පිළිබඳවය. GCS යනු එහි ප්රධාන පුද්ගලයන් තිදෙනා වූ Stan Greenberg - Pollster(ජනමත විමසුම්), James Carville - Strategist (මහ මොළකරු), Bob Shrum - Political Consultant (උපදේශක), වාසගම්හි එකතුව වේ. සිනමා පටයෙහි Sandra Bullock රඟන "Calamity" ජේන්ගේ චරිතයට පාදක වන්නේ GCS ආයතනයේ James Carville බව බොහෝ දෙනාගේ මතයයි.
කැස්ටිලෝ, ඇමරිකානු ක්රමයේ මඩ ව්යාපෘතීන් සඳහා කැමැත්තක් දක්වන්නේ නැත. නමුත් ඊට ඔහුගේ අනුමැතිය ලබාගැනීම උදෙසා ජේන් යොදන අවදානම් සහගත සූක්ෂම උප්පරවැට්ටිය අපූරු එකකි. දැඩි මතධාරී දේශපාලකයෙකු යමකට පෙළඹවීම උදෙසා උපදේශකයන් සිදු කරනා මෙහෙයුම් පිළිබඳ හොඳ අදහසක් ඉන් ඔබට ලබා ගත හැකිය.
කැස්ටිලෝ වැඩිහිටි පරම්පරාවේ දේශපාලකයෙකි. ඔබ සිතන්නේ දේශපාලනයේ "අප්පච්චි" සංකල්පය යොදාගන්නේ ලංකාවේ පමණක් කියාද? නැත. නමුත් මෙම සංකල්පය යල්පැන යන ආකාරය ඔබ දැන් අත්දකිමින් සිටියි. බොලිවියාවේද එසේය. විරුද්ධ පාර්ශවයේ තරුණ නායකයන් කෙරෙහි ජනතා ආකර්ෂණය අති මහත්ය. මෙය මැඩ පැවත්වීම පිණිස ජේන් ඇතුළු කණ්ඩායම "Crisis" එකක් නිර්මාණය කරයි. පොරොන්දු, චෝදනා, මඩ, සහ කටකතා මේ අර්බුධයේ සංඝටකයන්ය. එම නිර්මාණිත කටකතාහි ඇතැම්වා සත්ය කාරණා වන අතර අනෙක්වා හුදු හිතළු වේ. මේ හිතළු නිර්මාණය කොට ප්රචාරණය සඳහා කණ්ඩායමේ ඈයින් පොළඹවාගැනීමට ජේන් යොදාගන්නේ හිටපු ඇමරිකානු ජනාධිපතිවරයෙකු වූ ලින්ඩන් බී ජොන්සන් සමඟ බැඳි ඇති ප්රකට ජනප්රවාදයකි. කටකතාවෙහි අන්තර්ගතය කිසිවෙකුට කිසිලෙසකින් පිළිගත හැකි නොවුණත් එය ජන මනසෙහි ඉතිරි කරවා යන කුකුසෙන් මහත් බලපෑමක් කළ හැකි බව ඉන් විද්යාමාන වේ.
ඡන්දයක් දිනීම පිණිස ඉහත කී සංඝටකයන් පමණක් ප්රමාණවත් වන්නේ නැත. බාහිර ස්වරූපයද ඉතා වැදගත්ය. විලාසිතාවට ඡන්දය දෙන පිරිසක්ද වෙසේ. Sympathy Votes ලබා දෙන පිරිසක්ද සිටිති. කැස්ටිලෝට දිගු කමිසයේ අත නවා වේදිකාවට ගොඩවන ලෙස ජේන් ඉල්ලන්නේ එනිසාය. ඒ කාන්තා ආකර්ෂණය දිනාගැනීමටය. සම්මුඛ සාකච්ඡාවකදී සංවේදී කාරණාවක් ගෙනහැර පා දක්වන විට සාක්ච්ඡාව මෙහෙයවන්නා දෙස හෝ උඩ බිම හෝ නොබලා කැමරාව දෙසම බැලිය යුතු බවට උපදෙස් දෙන්නේද ජේන්ය.
සිනමා පටයේ එක් පරිච්ඡේදයක් නාභිගත වන්නේ මේ දිනවල අපේ කණටත් හුරු අන්තර්ජාතික මූල්ය අරමුදල කෙරෙහිය. කැස්ටිලෝගේ ප්රධාන මැතිවරණ පොරොන්දුවක් වන්නේ ජනමත විචාරණයකින් තොරව IMF හට බොලීවියාවට ආරාධනා නොකිරීමයි. යන මග හරස් කරමින් ණය උගුල් කෙරෙහි විරෝධතාව දැක්වූ විරෝධතාකරුවන් මුහුණට මුහුණ නිර්භීතව හමුවී එය ඔහු ලබා දුන් පොරොන්දුවකි. සිනමාකෘතියේ අවසානයද සනිටුහන් වන්නේ මේ පොරොන්දුවේ ගමනාන්තය සමඟය.
මේ විලම්බීත දේශපාලනයේ ඔබත් මමත් නියෝජනය වනුයේ, කැස්ටිලෝගේ ඡන්ද ව්යාපාරයට බැඳී කටයුතු කරන "එඩී" නම් තරුණ ස්වේච්ඡා සේවකයාගේ චරිතයෙනි. අවසානයේ ඔහු සහ ජේන් අතර සිදුවන දෙබස, දේශපාලනය හමුවේ සුන් වන මහජන බලාපොරොත්තු පිළිබඳ සමස්තය හුවා දක්වයි.
Genre: Political Comedy Drama
Published in සිනමාවේදීන් - The Cinema People 2022 - May - 13


Comments
Post a Comment