"මේජර් විලියම් මාටින්ගේ ජිවිතේ ඇත්තයි කියලා පෙන්නන්න නම් ආදර කතාවක් ගැන කියවෙන්න ඕනි. ඔහුගේ ආදරවන්තිය හද පතුලෙන්ම නැගෙන ආදරය ප්රකාශ කරපු ලියුමක් ඔහු ගාව තියෙන්න ඕනි. ඇගේ රූබර ඡායාරූපයක් ඔහුගේ උඩ පොකට්ටුවේ හදවත අසලින් රැඳෙන්න ඕනි."
"ඇය පෑම්. ඔහුට ඇය හමුවන්නේ මීට සති පහකට කලින්. එදා සෙනග පිරුණු බීමහලකට ගොඩවෙන ඔහුගේ නෙත් දහසක් දෙනා අභියස නාභිගත වෙන්නේ ඈ වෙතටම පමණයි. ඔහු මොහොතක් ගත වන්නටත් ප්රථමයෙන්, ඈ සිටි කුඩා මේසය ඉදිරියේ. මේ හමුවීම සති කිහිපයකට පසුව පොරොන්දු ගොන්නක් සමඟ දියමන්ති මුදුවක් ඇගේ අතැඟිලි අතර රඳවාගන්නා තරමට විකසිත වී ගොසින්."
මේ ආදර අන්දරයක් කියලා හිතුවද? නෑ, මේක මෙහෙයුමක්.
Deception යනු කලාවක් නම් දෙවන ලෝක යුද සමයේ බ්රිතාන්යයන් විසින් සැලසුම් කළ Mincemeat මෙහෙයුම එහි අගනා කලා කෘතියක්. එය ට්රෝජන් අශ්වයාගේ කතාවට දෙවෙනි වන්නේ නැහැ.
කතාවකට උවමනා චරිත ගොඩනැංවීම පහසු වුණාට ඒ චරිත ජීවමාන කරවීම එතරම් පහසු නැහැ. මේ සිනමා පටය පුරාවට දිව යන්නේ මේජර් විලියම් හෙවත් හුරතලයට අමතන බිල් සහ ඔහුගේ පෙම්වතිය පෑම් ජීවමාන කරවීමට දරන උත්සහය ගැන.
දෙවන ලෝක යුද්ධය තදින්ම පැවති කාලයක යම් දිනක ස්පාඤ්ඤ වෙරළ තීරයට බ්රිතාන්ය සෙබළ මළ සිරුරක් ගොඩ ගසාගෙන එනවා. යුද වාතාවර්ණයක මෙවන් දේවල් බොහොම සාමන්යයි. ඔව් ඒ මේජර් විලියම් මාටින්ගේ මළ සිරුර. නමුත් මේජර් මාටින් කියා ඇත්තටම කිසිවෙකුත් නැහැ. එය මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරකට ගොඩ නැගූ චරිතයක්. බ්රිතාන්යයන්ගේ උප්පරවැට්ටියක්.
මේ උප්පරවැට්ටිය යටි උගුල කුමකටද?
ඔව්, ඒ ජර්මන්කාරයන් රවටන්න.
මේජර් මාටින් කියාගත් මේ මළ සිරුර සතුව පෙර කී ආදර අන්දරයට අමතරව බොහොම වැදගත් රහස් ලියකියවිලි ටිකක් තිබුණා. ඒ ග්රීසිය අල්ලාගැනීමේ මිත්ර පාර්ශවයේ සැලසුම්. ඒත් ඇත්තටම එයාලට එවේලෙ ග්රීසියට ගහන්න උවමනාවක් තිබ්බේ නැහැ. ඒ ලියකියවිලි සියල්ල හිතලු පමණයි. ඇත්තටම එයාලට උවමනා වුණේ සිසිලියට ගහන්න. ඉතින් මෙහෙම බොරු ලියකියවිලි හදලා මළ සිරුරකට දාලා චරිතයක් මවලා මූදු වෙරළේ පා කරලා එවන්නේ ජර්මන්කාරයන් අන්දවන්න. ජර්මන්කාරයන්ගේ අවධානය, සියලු බල ඇණි, නොගසන රටකට යොමු කරවන්න. සිසිලියේ රැකවල් අඩුවෙනකොට බොහොම ලෙහෙසියෙන් සිසිලිය අල්ලගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේකින් ජර්මන්කාරයෝ ඇන්දෙයිද? ඊටත් වඩා ස්පාඤ්ඤය සතුවෙන ලියකියවිලි හිට්ලර් අතට පත්වෙයිද?
යුද්ධයක් කියන්නේ ආයුධ වලින් විතරක්ම කරන දෙයක් නෙමෙයි. මොළෙනුත් යුද්ධ කරන්න පුළුවන්. Deception හෙවත් ඇස්බැන්දුම් එහි ප්රධානයි. දෙවන ලෝක යුද සමයේ බ්රිතන්න්යයන්ට මේ වෙනුවෙන් Twenty Committee නමින් වෙනම කමිටුවක් තිබුණා . Operation Mincemeat සඳහා මූලික අඩිතාලම සැකසෙන්නේ මේ කමිටුවේ සාමාජිකත්වය දරන Charles Cholmondeleyගේ හිතේ ඇඳෙන අදහසකට අනුව. මේ අදහසට සහය දක්වන්නේ කමිටුවට ළඟකදී බඳවාගත් Ewen Montagu පමණයි. කමිටුවේ ප්රධානීත්වයක් ඉසිලු නාවික හමුදා ප්රධානි Admiral Godfrey මේ මෙහෙයුමේ සාර්ථකත්වය පිළිබඳ සැක පළ කළත් චාල්ස් සහ මොන්ටේගු හට මෙහෙයුම සැලසුම් කිරීමට භාර කරනවා. සිනමාපටයේ මෙම චරිත දෙක සඳහා තම අනගි රංගන දායකත්වය ලබා දෙන්නේ Mr Darcy යුගලය වූ Colin Firth සහ Matthew Macfadyen.
සිනමා පටය පුරාවට රහස් පරීක්ෂක කතා කියවීමත් ලිවීමත් සම්බන්ධයෙන් විවිධ රූපරාමු අන්තර්ගත වෙනවා. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි, පසු කලක ලෝක ප්රසිද්ධ ජේම්ස් බොන්ඩ් චරිතය නිර්මාණය කළ එම කෘතින් ලියන ලද Ian Fleming මෙම මෙහෙයුම සැලසුම් කිරීමේ කණ්ඩායම හා එක්වෙන හින්දා. ඔහු එවකට නාවික බුද්ධි අංශෙ නිලධාරියෙක්. ඉයන්ට අමතරව එහි සිටි බොහෝ දෙනෙකු පසු කලක රහස් පරීක්ෂක පොත් ලිවීමට පෙළඹෙනවා. ඒත් ජනප්රියත්වයට පත් වන්නේ ඉයන් පමණයි. මේ කතා තේමාවම මීට පෙර 1956දී The Man Who Never Was ලෙසින් සිනමාවට නැගී තිබෙනවා. එයට පාදක වී තියෙන්නේ මොන්ටේගු විසින්ම රචිත කෘතියක්.
සියල්ල අවසානයේ මේජර් විලියම් මාටින් නාමය ලද දේහය පූර්ණ හමුදා ගෞරව සහිතව ස්පාඤ්ඤයේදී භූමදානය වෙනවා. නමුත් සිරුරට සැබෑ හිමිකම හිමි පුද්ගලයා, කාත් කවුරුවත් නැති ඔහු, බ්රිතාන්යයන් කෙදිනකවත් අමතක කරන්නේ නැහැ. යුද්ධයෙන් බොහෝ කලකට පසු 1997දී, ජීවිතුන් අතර සිටියදී කිසිදා හමුදා සෙබළෙකු නොවූ, ඔහුගේ සැබෑ නම Glyndwr Michael ලෙස එම සොහොන්කොතේ සමරු පාඨයක් ලෙස කෙටවෙනවා.
Genre: War Drama - Based on True Story
Published in සිනමාවේදීන් - The Cinema People 2022 - May – 18

Comments
Post a Comment