දවස් ගාණක් තිස්සේ නෙට්ෆ්ලික්ස් ෆීඩ් අස්සේ කෝටා ෆැක්ටරි සජෙස්ට් වුණත් බලන්න සෙට් නොවුණේ කළු සුදු රූප රාමු හන්දා. ඒ මදිවට ට්රේලර් එකත් ඩිස්ක්රිප්ශන් එකත් හරිම ඩිප්රෙසින්. එතකොට ජිතේන්ද්ර කුමාරයෙක් ගැන දැනන් හිටියෙත් නැහැ. එයා අයුශ්මාන් එක්ක හිටපු කතාව සෙට් වෙලා තිබුණෙත් නැහැ. ඉතින් දවස් ගාණක් තියා දවස් කෝටියක් තිස්සේ සජෙස්ට් වුණත් නොබලා ඉන්න ගැම්මෙන් හිටියේ. පරණ කාලේ කළු සුද්දට ආසා කළාට මෑත කාලේ එව්වට කළු සුදු එබුවම එතැන මොකද්දෝ අමුතු කෘතිම බවක් එනවා කියලයි මට හිතෙන්නේ. අනික ඉන්දියාව වගේ වර්ණවත් රටක කළු සුදු වලින් මොකට කරනවද?
කොහොමෙන් කොහොම හරි ඔය අල්ල පනල්ලේ තමයි Panchayat 2න්ඩ් සීසන් එක කියලා දෙයක් නෙත ගැටෙන්නේ. ඒකට වහ වැටිලා එකයි දෙකයි දෙකම ගුඩු ගුඩු ගාලා බලාලා සිනමාවේදීන් වන ඔයාලා මොනාද මේ ගැන කියලා තියෙන්නේ කියලා පීරලා බලාලා ඔන්න ඉතින් ඒ ගැන ලිපියක් දෙකක් හම්බවෙනවා. කාලෙකට ඉහත පන්චායත් 1ස්ට් සීසන් එක ගැන ලියපු ලිපියක කොමෙන්ට් කෑලි අස්සේ අහු මුළු වල කෝටා ෆැක්ටරිය ගැනත් ජීතු බයියෙක් ගැනත් පොඩි පොඩි වර්ණනා ලියවිලා තියන හැටි දැකලා තමයි, ඔන්න ඔහේ ඔය ෆැක්ටරියත් බලමු කියලා මේක බලන්න පටන් ගන්නේ. ඇත්තමයි ඒ කොමෙන්ට් කෑලි ලියපු ඇත්තන්ට පින්. ආයෙත් අති සුන්දර ඒ විභාග ලියපු කාලෙට ගියා වගේ දැනෙනවා.
ඉතින් මේක බැලුවම ගොඩක් අයට වෙන දෙයක් තමයි Kota කියලා දෙයක් ඇත්තටම ඉන්දියාවේ තියනවද එහෙ මෙහෙමද කියලා හොයලා බලන්න හිතෙන එක. ඇත්තටම ඔවි, කෝටා කියන්නේ ඉන්දියාවේ රාජාස්ථාන්වල නගරයක්. ඒක හරියට ලංකාවේ නුගේගොඩ/ හයිලෙවල් පාර වගෙයි මට දැනෙන්නේ. ඇයි එහෙම කියන්නේ? කෝටා කියන්නේ ටියුෂන් කඩ වලට අති ප්රසිද්ධ පුරවරයක්. අපි මෙහෙ ටියුෂන් කිව්වට එයාලා එව්වට ටිකක් පොෂ් නමක් පාවිච්චි කරන්නේ. ඒ තමයි Coaching. ඒ හන්දා අපිත් කෝචින් කියලම කියමු. ඉන්දියාවේ ඉහළටම ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ළමයි, 10 වසර පහු වෙද්දිම වගේ කෝටා වලට සංක්රමණය වෙන්නේ මේ වගේ Coaching Institute එකකට බැඳෙන්න. අම්මා තාත්තා සෙවණේ ඉඳලා තනිකඩ බෝඩිං ජීවිතේකට පුරුදු වෙන්න එයාලා පටන් ගන්නේ ඔතන ඉඳං. ඉතින් කෝටා වල ටියුෂන් කඩ කාරයන්ට වගේම ඉඩම් හිමි ගෙවල් අයිතිකාරයන්ටත් හරි වාසියි. ඉගෙන ගන්න කොල්ලන්ට කෙල්ලන්ට බෝඩිං පහසුකම් සපයලා ආදායම් උපයගන්න පුළුවන්නේ. ඕං ඕක තමයි කෝටා ගමේ සංස්කෘතිය.
ඉන්දියාවේ අධ්යාපන පද්ධතිය අපේ එකත් එක්ක බැලුවම සෑහෙන සංකීර්ණයි. පොඩ්ඩක් ඉන්දියාවෙන් මෙහා වෙලා ලංකාවේ ඉපදිලා ඉගෙනගන්න ලැබිච්ච එක විභාග වලට, තරඟකාරීත්වයට අකමැති ගොඩක් දෙනෙක්ට සතුටු වෙන්න පුළුවන් කාරණයක්. ඉන්දියාවේ තියන ප්රාන්ත අටෝරාසියත්, සමහර එව්වයේ ප්රධාන වන වෙනස් වෙනස් භාෂාවත් සංස්කෘතියත් එක්ක, එකම තලේ තියලා අධ්යාපන ක්රමයක් ගේන්න එයාලට අමාරුයි. ඉතින් පාසල් පද්ධතිය ගත්තොත් ජාතික මට්ටමේ, ප්රාන්ත මට්ටමේ, පෞද්ගලික මට්ටමේ විදිහට බෙදිලා තියනවා. ඉතින් මේ එක එක අයගේ; අපේ භාෂාවෙන් කියන O/L & A/L විභාග එක එක විදිහයි. එයාලා ඒකට කියන්නේ Board Exams කියලා. මොකද ඒ අර කලින් කිව්ව බෝඩ් ජාති තුන හන්දා. ඉතින් මෙහෙම කොහොමද වාසිටි යද්දි මෙයාලව එක එක බෝඩ් වලින් කරන A/L විභාග වලින් තෝරගන්නේ. ඉතින් එයාලට ඒකට තව විභාගෙකට මුහුණ දෙන්න සිද්ධවෙනවා. ඉස්කෝලේ ගමන හමාර කරන්න Board Exam එකටත් අදාළ සරසවියේ වරම් ගන්න තව විභාගයකටත් පෙනී ඉන්න ඕනි.
ඉන්ජිනියරිං යන්න බලාපොරොත්තු වෙන සෑම ඉන්දියානු සිසුවෙක්ගෙම සිහින සරසවිය තමයි IIT. ඉන්දියාවේ IIT 23ක්ම තිබ්බත් ඉන්දියානු ශිෂ්ය ජනගහණයත් එක්ක බැලුවම ඒවට යන්න පුළුවන් අවස්ථා බොහොම සීමිතයි. ඉතින් තරඟකාරීත්වය ගැන අමුතුවෙන් කතා කරන්න ඕනි නැහැනේ. ඉතින් ඔය 23න් එකකට යන්න වරම් ගන්න තියන Entrance Exam එක තමයි JEE කියන්නේ. Board exam එකට එහෙමත් නැතිනම් අපේ විදිහට A/L වලට ලියපු Physics, Chemistry, Maths දැනුම ආයෙත් වතාවක් උරගා බැලීමක් තමයි මේකෙන් කරන්නේ. (කතාවේ ඉන්ජිනියරිං ෆෝකස් වුණාට බයෝ කරපු අයටත් මෙඩිකල් කොලේජ් යන්න ආයේ විභාග ලියලා මේ විදිහටම කට්ටක් කන්න තියනවා හොඳේ.)
හරි අපි ආපහු කෝටා පැත්තට හැරෙමු. ඉතින් අර කියාපු ටියුෂන් කඩ තියෙන්නේ ඉස්කෝලේ ගමන හමාර කරන්න A/L විභාගෙට පෙනී සිටින්න සූදානම් කරවන්න කියලා ඔයාලා හිතනවද. අපෝ නෑ. එව්වා තියෙන්නේ කෙලින්ම වාසිටි Entrance Exam වලට ලියන්න පුහුණු කරවන්න. Coaching කියලා කියන්නේ ඒ හන්දා වෙන්න ඕනි. විෂයන් තුනට එව්වට තියෙන්නේ ඉස්කෝලේ එව්වයෙන් වෙනස් වෙච්ච වෙනම සිලබස්. ඉතින් මෙච්චර කාලයක් ඉගෙන ගතපු ඉස්කෝලෙනුත් අයින් වෙලා, ගම රටත් අතහැරලා, උදේ ඉඳන් දවල් වෙනකන් ඉස්කෝලේ යනවා වගේ කෝටා වල coaching කඩේකට මේ ළමයින්ට යන්න සිද්ධ වෙනවා. මේ තාම ඉස්කෝලේ යන වයසේ ළමයි හොඳේ.
ඉතින් ඊළඟට එන ප්රශ්නේ තමයි එතකොට එයාල ඉස්කෝලේ යන්නේ නැද්ද කියන එක. නෑ එයාලා යන්ට ඕනි. ප්රැක්ටිකල්ස් කරන්න 80% ඇටෙන්ඩන්ස් පෙන්නන්න යන්ඩ ඕනි. එන්ට්රන්ස් විභාගෙ ලියන්න ලෑස්ති වුණාට මුන්දෙලා ඉස්කෝලෙක A/L ලියන්නත් එපැයි. එතකොට කෝ ඉස්කෝලයක්? කෝටා සංස්කෘතියේ ඒකටත් පිළියමක් තියනවා. ඒ තමයි dummy schools. ඉතින් ඔයාලට පේනවද අධ්යාපනය වෙළඳ භාණ්ඩයක් වේගෙන යන හැටි. ඔක්කොම සල්ලි තමයි. හැබැයි ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා නිවාඩු පාඩුවේ ගෙවල් පැත්තේ ටියුෂන් අරගෙන හෝ Online Learning Platform එකක් පිහිටෙන් JEE ලියලා IIT ගියපු යම් ප්රතිශතයකුත් ඉන්නවා. ඒත් Toppers කියන ඛාණ්ඩේ බහුතරයක් එන්නේ මේ වගේ coaching institute එකකින් තමයි.
ඉතින් Kota Factoryයෙන් කතා වෙන්නේ IITවරම ලබා ගන්න JEE ලියන්න කෝටාවට ඇවිත් ටියුෂන් ගන්න සිසු කැළක් ගැන. එයාලා කෝටාවේ ජීවිතේට මුහුණ දෙන හැටි ගැන. ඔය අස්සේ කෝටාවේ විවිධාකාරේ ටියුෂන් කඩ ගැනත් එව්වායේ විවිධ ගුරුවරු ගැනත් එළි දැක්වෙනවා. කෝටාවේ ඇත්තටම තියන ප්රධාන ටියුෂන් කඩ ටාගට් කරලම තමයි හදලා තියෙන්නේ බ්රැන්ඩ් නේම් වෙනස් කරලා. ඒ වගේම e-learning කඩේකට පොඩි මාකටින් පාරකුත් ඔය අස්සේ සිද්ධ වෙනවා. ලංකාවේ ඉන්දියාවේ ටියුෂන් කඩවලට අනාගතේ එන ප්රධාන අභියෝගේ තමයි ඊ-ඉගැනුම් කඩ. ඒ ගැන පොඩි ඉඟියක් තමයි ඔතනින් කියවෙන්නේ. මේක තම තමන්ට අනන්ය වූ විභාග නොස්ටැල්ජියාවත් එක්ක රසවිඳින්න පුළුවන් කතාවක් හන්දා ඉතිරිය ගැන මුකුත්ම කියන්නේ නෑ.
ඉතින් මෙහෙම ඇකඩමික් කතාවක් සූත්ර සමීකරණ තියරි පෙන්න පෙන්න කරන්න නම් නිර්මාපකයොත් අනිවාර්යයෙන්ම ඇකඩමික්සලා වෙන්න ඕනි. පොඩ්ඩක් හරි වැරදුණොත් ජාමේ ඉවරයිනේ. ඉතින් ඔය නිර්මාණ කණ්ඩායමේ බොහෝ දෙනෙක් එක්කෝ IITian කෙනෙක් නැතිනම් කෝටාවල ඉඳලා ඔය අත්දැකීම ලබා ගතිපු කෙනෙක්. (අපට ඉතින් හැමදාම ලව් ඉලව් එක්ක දෙවනි ඉණිම බල බල තමා ඉන්න වෙන්නේ)
ඊළඟට කතාවේ ප්රධාන ගුරා වගේම agony aunt ජිතූ බයියා කොහොමද මෙච්චර හොඳට ඒ චරිතෙට බැස්සේ කියන එක කාටත් ඇතිවෙන සැකයක්. ජිතූ බයියා හෙවත් නළු Jitendra Kumar, එයත් කාලයක් භෞතික විද්යාව ළමයින්ට ටියුෂන් දීපු IITian කෙනෙක්ම තමා.
ඉතින් කියන්න එපා ඔතන බයෝ කරන එකම ගෑණු ළමයා ශිවන්ගිට ඔයාලගේ ඇහැ ගියෙ නෑ කියලා. ඔව් ඒ තමයි කබි අල්විදා නා කෙහෙනා එකේ ශාරුක්ගෙයි ප්රිටි සින්තගෙයි හිච්චි කොලු ගැටයා.
Genre: TV Drama - 2 Seasons



Comments
Post a Comment