ෆොටෝග්රැෆර්ලා සඳහා සුවිශේෂයි!!
මීට දශක කිහිපයකට කලින් "ඡායාරූපයක්" කියන්නේ අවුරුදු සිය ගාණක් පුරා දිවෙන මතකයක්. ඒක බලන්න ඕනා කරන්නේ තමන්ගේ ඇස් දෙක විතරයි. ඒත් අද කාලේ බොහෝ දුරට ඡායාරූපයක් කියන්නේ ඩේටා ගොඩක් විතරයි. අදාළ මෙවලම් උපාංග තාක්ෂණය අභාවයට ගියොතින් ඒ මතකය එතනින්ම ඉවරයි. බොහොම ලේසියට දස දහස් ගණනක් පොටෝ ගත්තට කීයෙන් කී දෙනාද තමන් ගියපු ට්රිප් එකක පොටෝ එකක් ප්රින්ට් කරලා තියාගන්නේ. බොහොමයක් විට අදකාලේ ඉන්න බොහෝ දෙනෙක් කරලා තියෙන එකම දේ වෙඩිමක් ගත්තු එක විතරයි කියලා අනාගතේ උන් හිතන්න පුළුවන්. මෙන්න මේ වගේ සිතුවිලි කැටි කරගෙන හැදෙන කතාවක් තමයි Kodachrome කියන්නේ. ඒ වගේම Road Trip රසයකුත් අඩංගු වෙනවා.
කතාවේ ප්රධාන චරිතය ලෝක ප්රසිද්ධ ඡායාරූප ශිල්පියෙක්. නමුත් දැන් විශ්රාමිකයි. බොහොම වියපත්. ඒ වගේම මරණය ඉදිරියේ දිවි ගෙවන පිළිකා රෝගියෙක්. මේ චරිතය නිරූපණය කරන Ed Harrisගේ අබල දුබල ශරීරය දුටුවොත් ඔබට අනේ අපොයි කියා සිතේවි. Ed Harris සැබෑවටමත් පිළිකා රොගියෙක්.
ඔහු ඩිජිටල් යුගයේ පොටෝග්රැෆර් කෙනෙක් නෙවී. ඔහුගේ කැමරාව පරණතාලේ නෙගටිව් පට යොදන කැමරාවක්. ඔබටත් සමහරවිට මේවා භාවිත කල කාලයක මතකයක් ඇති. අද වගේ හැම අතටම කරකවමින් එකම දේ ගැන මේවායෙන් පොටෝ සිය ගණනක් ගහන්නට බැහැ සාමාන්ය පුද්ගලයෙකුට. ශොට් ගණන සීමා සහිතයි, එනිසා හොඳම ශොට් එකට ක්ලික් කල යුතුයි... ඒ වගේම අද වගේ එසැණින් හැඩ බලන්නට බැහැ. ප්රොසෙස් කරන්නට යැවූ පසුවයි දස්කම් බැලිය හැකි වන්නේ. එනිසා සත්යයම ඒ මොහොතම සැබෑවටම එළි දකිනවා...
මරණයට පෙර ඔහුට අවශ්ය වෙනවා තමන් සතු පරණ කොඩැක් රෝල් ප්රොසෙස් කරගන්නට. හැබැයි ඇමරිකාවේ එසේ කොඩැක් රෝල් ඩිවෙලොප් කරන දැනට ඉතිරි වී ඇති එකම ස්ථානය තිබෙන්නේ කන්සස් ප්රාන්තයේ. ඩිජිටල් යුගයේ මෙවැන්නකට අනාගතයක් නැහැ. ඒ ස්ථානයත් වසා දමන්නට තීරණය කරලා.
[Dwayne's Photo නම් වූ මේ ආයතනය ඇත්තටම සත්යයක්. මේ සිනමා පටයට පාදක වන්නේ ඇත්තෙන්ම මේ ස්ථානය ගැන නිව්යෝක් ටයිම්ස් පුවත් පතේ පළවූ "Road ends at photo lab in kansas" නම් ලිපියයි.]
ඉතින් ඔහුට අවශ්ය වෙනවා අසනීප තත්වය පසෙක ලා කඩේ වසන්නට පෙර කන්සස් බලා දීර්ඝ ගමනක යන්නට. මේ ගමනට ඔහු තමන්ගේ තරුණ සාත්තු සේවිකාවත්, අවුරුදු දහයකින් නොදුටු තම තරුණ පුත්රයාවත් එකතු කරගන්නවා. ඉතින් ඔවුන්ට පුළුවන් වේවිද කඩේ වහන්න පෙර එහි යන්නට?
ඩිජිටල් යුගයේ විරසක පුතා, ඇනලොග් යුගයේ දඩබ්බර තාත්තා සමඟ ගොඩ නගාගන්නා අපූරු ස්නේහය මනරම් ලෙස විදහා දක්වන මෙම කතාව Netflix ඔස්සේ නැරඹිය හැකියි.
Published in සිනමාවේදීන් - The Cinema People 2022 - April - 19

Comments
Post a Comment