ජීවිතේ පිරිච්ච තුන් හවුලේ කතා කියන්නේ මං ආසම කරන චිත්රපට කුලකයක්. Bangalore Days, Kai Po Che, Zindagi Na Milegi Dobara, Kho Gaye Hum Kahan කියන ඉන්දියානු කතාවල රසිකයෙක් නම් මේකත් අනිවා ඔබට සෙට් වේවි.
මං මේ කිව්ව චිත්රපට නාමාවලියෙ තියෙන හැම චිත්රපටයකම තියෙන්නේ ජිවිතේ විඳීම/ සෙවීම/ ඉගෙනීම යටි පෙළ අරුත කරගත්තු පුදුමාකාර රිද්මයක්. වැලි කෙළියේ ඉඳන්ම එකට බහ තෝරපු තුන් කට්ටුවක් ජීවිතේ හොයන විදිහ. Cemetery Junction කතාව වැයෙන්නේත් මේ රිද්මයටම තමයි, හැබැයි බටහිර තනුවකට.
මේකේ තියෙන ලස්සනම දේ තමයි කතාවට පසුබිම් වෙන්නෙ එංගලන්තේ 70 දශකය. සිනමා හෝ ටෙලි නිර්මාණයක් කාලයෙන් ආපස්සට ගන්නකොට නොස්ටැල්ජියාව ගෙන එන්න ඒ කාලේ ඇසුණු පැරණි ගීත ටිකක් එකතු කරන එක ගොඩක් නිර්මාපකයො කරන දෙයක්. ඉතින් ඔබට ඩෝව්න්ලගේ Tie a Yellow Ribbon Round, එල්විස්ගේ Crying in the Chapel, එල්ටන්ගේ Saturday Night's Alright for Fighting, ජිම් රීව්ස්ගේ Four Walls, ලෙඩ් සෙපලින්ලගේ The Rain Song වගේ 70 දශකයේ ජනප්රිය බටහිර ගීත දහයක් පහළොවක් විතර චිත්රපටේ බලන ගමන් ශ්රවනය කරන්න පුළුවන්.
"කනත්ත හන්දිය" කියන ඒකාකාරි පුංචි නගරබද ගම්මණ්ඩියෙ වාසය කරන තරුණ හාදයො තුන්දෙනෙක් වටා තමයි කතාව දිවෙන්නේ. පළමුවැන්නා බෲස්, නාහෙට අහන්නේ නැති ඒත් හොඳ හදවතක් තියෙන දඩබ්බරයෙක්. ඒ ගම්මණ්ඩියේ ඉන්න බොහොමයක් තරුණයන්ගේ ඉරණම වුණු කම්හල් රස්සාව තමයි ඔහුගෙත් උරුමය. ඉතින් ඔහු හැම වෙලේම කියන්නේ ගමෙන් යනවය කියලා. ඒත් යන පාටක් නැහැ. බෲස් දකින ඔබට "බැංගලොර් දවස්" වල අජූගේ චරිතය මතක් කරවාවි. දෙවැන්නා ෆ්රෙඩී, අනාගතේ ගැන සම්ප්රදායික අපේක්ෂාවන් තියං ඉන්න ඒත් ඉරණමේ වෙනසක් බලාපොරොත්තු වෙන දියුණුව දකින ඉලන්දාරියෙක්. කතාව පටන් ගන්නෙත් කතාව ගොඩනැගෙන්නෙත් එයාගේ අලුත් සුදු කරපටි රස්සාවෙන්. ෆ්රෙඩීව දැක්කම "කඩපු සරුංගලේ" ගෝවිගේ චරිතය සිහියට ඒවි. තෙවැන්නා ස්නෝක් හෙවත් පෝල්, හරිම අහිංසක චබියෙක්. ඇරපු අතක් නෑර එයා අපේ රංගන ශිල්පි දෙනුවන සේනාධීගේ සහෝදරයෙක් වගේ.
ඉතින් එයාලට එක තැන පල්වෙන ඒ පුංචි ගම්මණ්ඩියෙන් එළියට යා ගන්න පුළුවන් වේවිද? ලබා උපන් ඉරණමට කොටු වෙන්නට සිදු වේවිද? බලාපොරොත්තුවේ සිහිනයන් ඉටු කරගන්නට ඉඩක් කඩක් ලැබේවිද?
70 දශකයේ නගරබද දුප්පත් ගම්මණ්ඩි වල හැදී වැඩුණු තාරුණ්යයේ පැතිකඩක් හුවා දක්වන මේ සිනමා සිත්තම නිර්මාණය කරන්නේ ඔබ හොඳින් දන්න හඳුනන ප්රහසන නළුවෙක්. දැන් නම් Standup Comedian කෙනෙක්. ඒ තමයි Ricky Gervais. The Office නැමැති සිට්කොම් එක හදාපු Ricky Gervais සහ Stephen Merchant ඩබලම තමයි මේකත් ලියලා අධ්යක්ෂණය කරන්නේ. දැන් එහෙමයි කියලා කොමඩියක් නම් බලාපොරොත්තු වෙන්න එපා. කොමඩි/ ඩ්රාමා කියලා ලේබල් කරාට එහෙමට කොමඩියක් නම් නැහැ. Coming-of-age feel-good චිත්රපටයක්. Ralph Fiennes, Emily Watson, Felicity Jones, Matthew Goode, Christian Cooke, Tom Hughes වගේ නම් දරාපු සුපිරි සෙට් එකක් තමා cast එකේ ඉන්නේ.
මං මුලින් හිතා හිටියේ කනත්ත හන්දිය කියන්නේ මනංකල්පිත ගම්මණ්ඩියක් කියලා. බලනකොට ඇත්තටම එංගලන්තේ එහෙම තැනක් තියනවා. රිකී කියන විදිහට ඒ එයා පුංචි කාලේ දැන කියාගත්තු ප්රදේශයක්. කතාව පුරාම තියෙන්නේ රිකීගේ 70දශකයේ මතකය. යොදාගෙන තියෙන පෙරකී ගීත වලිනුත් කියන්නේ ඔහු ඒ අත්දුටු අතීත මිහිරියාව.
ඇත්තටම ජීවිතේ හොයන්න ගමෙන් එළියට යන්නම ඕනිද? ගමේ ඉඳන්ම ජීවිතේ විඳින්න බැරිද?
Be Young. Be Free. Be Somebody.
Language: British English

Comments
Post a Comment