මේ ලිපි ගොනු දිග හැරෙන්නේ බ්රිතාන්යයේ යෝක්ශර් රූපවාහිනි නිෂ්පාදනයක් විදිහට ඩොකියුමෙන්ටරි කතාමාලා තුනකින්.
- Arthur C. Clarke's Mysterious World [1980]
- Arthur C. Clarke's World of Strange Powers [1985]
- Arthur C. Clarke's Mysterious Universe [1994]
ඩිස්කවරි නාලිකාව ජාතික රූපවාහිනියේ විකාශය වීම හේතු කරගෙන මේ අවසන් කතා මාලාව අපිට ඒ කාලේ බලන්න ලැබුනයි කියලා මතකයක් තියනවා. ඒ වැඩසටහනේ පූර්ව ප්රචාරක පට යද්දී තමයි පුංචි මට ඉස්සෙල්ලාම ආතර් සී ක්ලාක් මහත්මයාගේ නම, එයා කවුද, ඇයි අපි එයා ගැන දැනගන්න ඕනි කියලා දැනගන්න ලැබෙන්නේ. ඔය ඇඩ් එක යන වෙලාවක ගෙදර වැඩිහිටියෙක්, ඔය ඉන්නේ චන්ද්රිකාව හදපු එක්කෙනාය කියලා කිව්වම 94/95 වගේ කාලෙක ඒ වාක්ය මගේ පුංචි කුරුළු මොළේට කොහොමටවත් ප්රොසෙස් කරගන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. ඒකට ප්රතිචාරයක් විදිහට ලංකාවේ ජනාධිපති රොබෝ කෙනෙක්ද කියලා අහලා හැමෝම හිනාවුණු විදිහට ඒ දැනුම කවදාවත් අමතක නොවෙන මතකයක්. කව්ද අනේ දන්නේ අහසෙත් චන්ද්රිකාලා කැරකෙනවා කියලා. (පළමු කතා මාලාවන් දෙක ලංකාවේ නාලිකාවක විකාශය වුණාද නැද්ද කියලා නම් දන්නේ නැහැ.)
මේ කතාමාලා තුනම ලාංකික අපිට සුවිශේෂයි. ඒ මොකද හැම කථාංගයකම ක්ලාක් මහත්මයා කෙටි හැඳින්වීමක යෙදෙන්නේ ඒ ඒ කොටසේ තේමාවට ගැලපෙන ලංකාවේ පසු තලයක ඉඳගෙන. සමහර පසුතල හරිම ලස්සනයි. ලාංකික අපට සංකේතාත්මකයි. සමහර පසුතල හරිම කාර්යබහුලයි. ඒ වගේ පසුතලයක රටපුරා සිටින ඔබේ ඥාති හිතමිත්රයෙක් වුණත් ඉන්න බැරි කමක් නැහැ. මේ හන්දා විද්යාව සහ ගුප්ත අභිරහස් සංසිද්ධි ගැන උනන්දුවක් දක්වන අයට වගේම 80 දශකයේ දේශීය නොස්ටැල්ජියාව රසවිඳින්න කැමති ඕනෑම කෙනෙකුට මෙම වැඩසටහන් තුනම රසවත් වේවි. බ්රිතාන්යයේ ITV නාලිකාවේ ප්රචාරය වෙන අසූව අනූව කාලේ ලංකාවේ සංචාරක කර්මාන්තෙටත් මේ වැඩසටහන් තල්ලුවක් දෙන්න ඇතිය කියලා හිතෙනවා.
මගේ කාලේදි ආතර් සී ක්ලාක් මහත්මයා බොහොම වයෝවෘද්ධ පුද්ගලයෙක්. ඔහු ලංකාවේ ජනාකීර්ණ වීදියක මේ විදිහට කඩිමුඩියේ ඇවිදන් ගියයි කියල දැන් දකින එක නම් ඇහැට හරිම නුහුරු දර්ශනයක්. කථාංග දෙකකටම වගේ ආතර් මහත්තයාගේ හිත මිත්රයා අපේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහත්මයත් සහභාගි වෙනවා ගුප්ත වැඩවල පුංචි පුංචි එළිදරව් කිරීම් ටිකක් කරන්න. මා දුටු සුවිශේෂ දෙයක් තමයි ආතර් සී. ක්ලාක් තමන්ගේ විද්යාත්මක ආකල්පය කොහොමද මනා සංයමයෙන් මෙහෙයවන්නේ කියන එක. ඔහු කිසිම අබිරහසක් එකපාරටම පිළිගන්නේ නැහැ. ඒ වෙනුවට "මේකට තවමත් පැහැදිලි කිරීමක් නැහැ, නමුත් එකක් තිබිය හැකියි. ඒත් ඒ නිසා ඒවා බොරු යැයි කියන්න බෑ" කියන ඉතාම සෞම්ය, තර්කානුකූල ප්රවේශයක් ගන්නවා.
පළමු කතා මාලාවේ තේමාව වෙන්නේ ලෝකයේ නන් දෙසින් ඇසෙන පැහැදිලි කරගන්න බැරි සංසිද්ධි. කොටස් 13ක් තිස්සේ, තාමත් තාර්කික පිළිතුරක් සොයාගන්නට අපහසු වුණු කාරණා වගේම, නිශ්චිත පැහැදිලි කිරීමක් නැතත් යම් තාර්කික පදනමක් ගොඩනගන්නට හෝඩුවාවන් සපයන කාරණා ගැනත්, අපේ මුතුන් මිත්තන්ට අභිරහසක් වුණු ඒත් අපිට දැන් හොඳින් තේරුම් ගන්නට හැකි සංසිද්ධීන් ගැනත් කතාබහ කෙරෙනවා.
දෙවන කතා මාලාවේ තේමාව වෙන්නේ අද්භූත බලැති අපට නොපෙනෙන ලෝකය. කොටස් 13කින් බොහොමයක්ම වෙන්වෙන්නේ psychic බලය, ටෙලිපති, පුනරුත්පත්ති කතා, දිවැස් කතා, හොල්මන් කතාවලට. ලංකාවේ ප්රචලිත වුණු හොල්මන් ගෙදරක් තමයි එක එපියක පසුතලය. සමහර සත්ය සිදුවීම්වලට අදාළ පුද්ගලයන් සමඟ කෙරෙන සම්මුඛ සාකච්ඡා නිසාත්, කතා ප්රස්තුතය නිසාත් ගුප්තබව බියකරු බව මෙම කතාමාලාවේ ටිකක් වැඩි. සංවේදී අය ටිකක් පරිස්සමින් නරඹනවනම් හොඳයි. විදේශීය ගවේෂණ බොහොමයක් අතරේ දේශීය ගවේෂණ කිහිපයකුත් දැකගන්න පුළුවන්.
තුන්වන කතා මාලාවේ තේමාව කොටස් 26ක් පුරා පැතිරෙන්නේ අභිරහස් විශ්වයම වෙනුවෙන්. සමහර අභිරහස් කඩලා බිඳලා දාන හැටි අති විශිෂ්ටයි. එම බොහොමයක් රැවටීම් සමාජ මාධ්ය ඔස්සේත් ඔබ රවටන්ට අභිරහසක් ලෙසින් තාමත් සංසරණය වනවා දකින්න පුළුවන්.
වැඩසටහන් තුනේ කොටස් සියල්ලගෙන්ම කෙරෙන්නේ ආකර්ෂණීය බුද්ධිමය ගවේෂණයක්. විද්යාවේ දැනුම් මායිම්වලට එහා ගිය ලෝකයක් ගැන කතා කරන්නේ ඉතාම සුවිශේෂී විදිහකට. වැඩසටහන කොතරම් පැරණි වුණත් බොහොමයක් අභිරහස් තවමත් විසඳිලා නොමැති නිසා ඒ මාතෘකා වල තවමත් නැවුම් බවක් තියෙනවා. අන්ධ විශ්වාසයකටත් සම්පූර්ණ ප්රතික්ෂේප කිරීමකටත් හිස නොනමා, “අප දන්නා දේට වඩා අප නොදන්නා දේ බොහෝය” යන මූලික සත්යයේ පණිවිඩය තමයි සැමවිටම කියන්නේ කියලයි මට හිතුණේ. ක්ලාක්ගේ සන්සුන් හඬ අප එක්ක දැන් නැතත්, ඔහු මෙම වැඩසටහන ඔස්සේ පිළිතුරු රහිතව නවතා තැබූ ප්රශ්න, රාත්රියේ තරු අතර තවමත් ගමන් කරනවා. මේ සියල්ල අපට මතක් කරවන්නේ, විශ්වය අපේ ග්රහණයෙන් ඔබ්බට විහිදෙනවා කියලයි. ඉතින් ඒ රහස් අතරින් ඇතැම් ඒවා සදහටම රහස් වේවි, ඉතිරිවා කවදා හෝ විසඳේවි.
![]() |
| Arthur C Clarke with Sri Lankan Film Director Lestor James Pieris when shooting the movie Baddegama- a novel written by Leornard Wolfe. Clarke acted as the Woolfe- the court judge. |


Comments
Post a Comment