විනීත කතුන් වෙනුවෙන්ම තැනූ වාහනයක කතාව

රාජකීය කිරුල හිමි ඈන් කුමරිය, යුරෝපීය සංචාරයක් අතරතුර රෝමයේ දී හදිසි නිවාඩුවක් ගන්නට සිතා තානාපති නිවසින් පැන ගොස් ඇමරිකානු වාර්තාකරු ජෝ බ්රැඩ්ලි සමඟ බැරි බැරි ගානේ ස්කූටරයක නැගී රෝමය වටා පියඹා ගිය සැටි Roman Holiday නැරඹූ ඔබ සැමට අමරණීය දර්ශනයක්. 



Gregory Peck සහ Audrey Hepburn රසිකයන් කෝටි ගණනක ගේ මතකයේ රැව්දෙන මෙම දර්ශනයේ, ස්කූටරයක්ම භාවිතා වුණේ ඇයි? එය වෙස්පා ස්කූටරයක්ම වුණේ ඇයි? මෙවැනි පිස්සු ගමනක් යොදන්නට කතාකරුවන්ට අදහසක් පහළ වුණේ කොහොමැයි? මේ ප්රශ්න වලට පිළිතුරු ඉතාලි භාෂා චරිතාපදාන චිත්රපටයක් වන "Enrico Piaggio: An Italian Dream" [2019] තුලින් සොයාගන්නට පුළුවන්.

දෙවන ලෝක යුද්ධය අවසන් වෙන කොට ඉතාලි ආර්ථිකය තිබුණේ යහපත් තැනක නෙමෙයි. යුද්ධෙට ගුවන් යානා නිෂ්පාදනය කර කර හිටපු පියාජියෝගේ කම්හලත් බෝම්බයකින් සුන්බුන් වෙලා. යුද්ධෙට බඩු හද හද වැඩ කර කර හිටපු සේවක දහස් ගණනක් රැකියා විරහිත වෙලා. මේ වගේ කාලෙක පියාජියෝ තීරණය කරනවා යුද්ධෙත් නැති හන්දා බටු ප්ලේන් හද හද ඉන්නේ නැතිව මිනිස්සුන්ට ලාභෙට, ලස්සනට, පොළව දිගේ ගමන් කරන්න යමක් හදන්න. ඒ විදිහට තමයි වෙස්පා ස්කූටරය ඉපදෙන්නේ. හැබැයි කොල්ලන්ට නෙවී, කෙල්ලන්ට. ලස්සනට විනීතව කකුල් තියා ගෙන යන්න කැමති ගෑණු ළමයින්ට. යුද්ධෙන් හෙම්බත් වුණු ආර්ථිකය ගොඩනගන්න මහන්සි වෙන විනීත කතුන්ට රස්සාවට යන්න එන්න ලේසි වෙන්න.
ඒත් විනීත ගෑනු ළමයි කැමති වේද කොල්ලෝ බයික් පදිනවා වගේ ස්කූටරයක්වත් පදින්න? පියාජියෝගේ වෙස්පා ටික විකිණෙන්නේ නැහැ. ඉතින් එයාලා මේක මාකට් කරගන්න එක එක විදි හොයනවා. (මේ වගේ තත්වෙක ඉන්න වෙළඳ ව්යාපාර කරන ඇත්තන්ට පියාජියෝගේ කතාව මොළේ පාදලා දෙන වග සහතිකයි.) මේ විදිහට විකිණෙන්නේ නැති ස්කූටරයක් ඉතාලි මධ්යම පාන්තිකයන්ගේ සිහිනය බවට පත් වෙන්නේ කොහොමද? ඒකට සම්පූර්ණ වරදකාරයා William Wylerගේ "Roman Holiday" චිත්රපටය. චිත්රපටය ලෝකය පුරා තිරගත වෙනකොට වෙස්පා ස්කූටරේ රෝමයේ ආදරයේ වාහනය ලෙසට සංකේතයක් වෙලා. මේක ලියන්නේ ෆැක්ට් චෙක් කරලා නෙවෙයි. හැබැයි මම හිතනවා පියාජියෝ රෝමන් හොලිඩෙට සම්බන්ධ වෙන කොටසනම් ටිකක් විතර ඩ්රැමටයිස් කරලා ඇති කියලා.


Audrey Hepburn ගේ සිනහව, Gregory Peck ගේ කඩවසම් ආකර්ෂණය, Vespa එකට ජීවය දුන්නා. පසුව ලෝකයේ ම තරුණියන් Vespa Scooter පදවන්න ගත්තා. වෙස්පා ස්කූටරේ ඉතාලි ආර්ථික පුනර්ජීවනයේ හදගැස්ම වුණා. "Enrico Piaggio: Un Sogno Italiano" චිත්රපටය මේ ඓතිහාසික පසුබිම ඉතා හැඟිම්බර ලෙස ගෙන එනවා. පියාජියෝගේ කතාව ඒ කාලයේ ඉතාලි මිනිසුන්ගේ කඳුළු හා සිනහව ඔක්කොම එකතු කරපු ලස්සන සිනමා අත්දැකීමක්. යුද්ධයෙන් කඩා වැටුණු හදවත් නැවත ගොඩනඟපු එක් මිනිසෙකුගේ සිහිනයක්. Enrico Piaggioගේ ඒ සිහිනය තමයි අදත් ලෝකයේ මිලියන 19කට වැඩි Vespa හිමිකරුවන්ගේ හදවත්වල ගැහෙන්නේ. වෙස්පා කියන්නේ ස්කූටරයක්ම නෙවෙයි, ඒක හැමදාමත් ඉතාලියානු හදවතේ ආදරණීය සිහිවටයනක්.
ඔබත් වෙස්පා රථයක ආදරණීය හිමිකාරයෙක් නම් අනිවාර්යයෙන්ම බලන්න එන්රිකෝ පියාජියෝගේ කතාව.

Language: Italian

Published in FB Group සිනමාවේදීන් - The Cinema People 2025 – Nov– 17


Comments