මං ඉස් ඉස්සල්ලාම බලාපු කොරියන් ෆිලුම තමයි The Letter. ඒකේ විශේෂත්වේ තමයි අපිට මේක පෙන්නෙව්වේ ඉස්කෝලෙන්, 2000 බර ගණන් වල. ඔය ෆුල් හවුස්ලා, චංගුමීලා, BTSලා වගේ කොරියන් උන්මාදයක් ලෝකෙට ලංකාවට එන්න සෑහෙන සෑහෙන කාලෙකට කලියෙන්.
මං දන්නෑ ඉක්කෝලේ ළමයි වන අපට ඕක පෙන්නන්න ඕනැයි කියන නිර්භීත තීරණය පිටුපස්සේ හිටියේ කවුද කියලා. මොකද මේක ළමා චිත්රපටයක් නෙවෙයි. අන්තිම රූප රාමු පෙළේ යාන්තමට ඇරෙන්න ළමයෙක් හිටියෙත් නැහැ. කොටින්ම මේක රොමැන්ටික් ඩ්රාමා කැටගරියේ චිත්රපටයක්. සැබෑම Korean Flavour එක තියන ලව් ස්ටෝරියක්. මතකේ හැටියට කොරියානු චිත්රපට උළෙලක තමයි පෙන්නුවේ. BMICH පැත්තේ හරි ඒ වගේ කොහෙ හරි බස් පිටින් යන්න වුණා. බැලුවත් හරි බාසාව තේරුනෙත් නෑ, ඉංග්රීස් සබ්ටයිටල් තේරුණෙත් නෑ, සුදුපාටට හීනියට තිබුණු ඒ අකුරු පෙණුනෙත් නෑ. ඉතින් රූපරාමු ඇසුරින් අංග චලන මූණේ ඉරියව් බලලා තමා ඒ අති සුන්දර කතාවේ අහුමුළු යන්තං යන්තං හරි ගැට ගහ ගත්තේ. 7 වසරේ ස්ටූඩියස් අපට මොන රොමැන්ටික්ද කියලා කතාව බලනවටත් වඩා, අනෙක් ඉස්කෝලවලින් ආපු කලිසංකාරයෝ දිහා බලනවටත් වඩා, අපි බලං හිටියේ අපිත් එක්ක අපිව බලාගන්න "මිහිකත නළවාගෙන" වගේ ආපු අපේ චූටි ට්රේනිං ටීචර්ලගේ ඉමෝෂන්ස් දිහා. නාඹර යෞවන වියේ පසුවෙච්ච මේ ගුරු ලිය කැළ, කතාව බල බල කඳුළු සලපු හැටි ඇස් කොණින් අපට හොඳ හැටි පෙණුනා. කඳුළු හලපු රතු වෙච්ච ඇස් හංගාගෙන සිනමා ශාලාවකින් එළියට එන්න ලැබෙන්න පිං කරලා තියෙන්ට ඕනි. ඉතින් ජීවිතේ එක පාරක් හරි ලොකු ශාලාවක කොරියං එකක් බලන්න හිතට ගන්න, ආයෙ කවදාවක හරි Korean Film Festival එකක් ආවොත්. හිත නළවන්න වගේම හිත හොලවන්න පුළුවන් කතා හදන්න කොරියානුවො හරි සමත්නෙ. ඉතින් ඩයල්-අප් කනෙක්ෂන් එකකින් ADSL වලට මාරු වුණ කාලේ ඉස් ඉස්සල්ලාම බාගත්තු ෆිලුම් අතර මේකත් රැඳී තිබුණේ ඉස්කෝලේ යන කාලේ දැකපු ඒ චූටි ටීචර්ලගෙ කඳුලු එක්ක බැඳිලා තිබුණු නොස්ටැල්ජියාව නිසා.The Letter (1997) [Korean: Pyeon ji]
මේකේ කතා තේමාව අද කාලේ නම් අලුත් දෙයක් නෙවෙයි. හැබැයි තේමාවේ අරම්භකයා වගේම වැඩ්ඩා මං හිතන්නේ The Letter වෙන්න ඕනා. ඒ හන්දම තමයි 1997දි ඒක කොරියාවේ වැඩිම අලෙවියක් ලැබුණු දේශිය චිත්රපටය වෙන්නේ. ඇමරිකාවේ The Lost World: Jurassic Park ආපු ඒ අවුරුද්දේ කොරියාවේ පෙන්නපු දෙස් විදෙස් සිනමා නිර්මාණ අතුරින් වැඩිම අලෙවියක් ලැබුණු චිත්රපට අතුරින් 4වෙනි ස්ථානය ලබාගන්නත් ඊට හැකි වෙනවා. කතාව කියලා ස්පොයිල් කරන්නේ මොටද චුට්ටකින් හරි. ඊට අවුරුදු දහයකට පස්සේ ආපු P.S. I Love You නරඹලා තියනවනම් අනිවාර්යයෙන්ම කැමති වේවි. තව තායි remake එකකුත් තියනවා.
ඉතින් ඔයාලට ඔයාලගේ ඉස්කෝලෙන් පෙන්නුවේ මොනාද කියමුද? හඳයද? Jurrasic Parkද? Some birds can't flyද? සරෝජාද? ඉරෙන් හඳෙන්ද? ඉස්කෝලේ කට් කරලා බලපුවා නොවේ හොඳද. වයස හොයන්න නෙවී අහන්නේ , මතකේ අවුස්සන්න.
Published in සිනමාවේදීන්
- The Cinema People 2022 – June – 27
Comments
Post a Comment