Beaufort (2007)

කිසිම වෙඩි උණ්ඩයක් පාවිච්චි නොකර සොල්දාදු කතාවක් ද්වන්ධ යුද්දයක් සිනමාවට නගන්නේ කොහොමද? "බුෆොර්" මේ ප්රශ්නයට කදිම උත්තරයක් සපයනවා. ෆයිට් නැති, ඇක්ශන් නැති, හතුරන්ගේ දුෂ්ඨයන්ගේ රූප රාමු නැති, කොටින්ම කිව්වොත් යුධවාදි සිනමාවට කොහෙත්ම කැමති නැති කෙනෙකුට වුණත් බය නැතිව නිර්දේෂ කරත හැකි අති සුන්දර සත්ය කතාවක්.



මං බලාපු සොල්දාදු යුධ කතා අතලෝස්ස අතරින් බුෆොර් මට ගෙන දුන්නේ වෙනස්ම අත්දැකීමක්. බොලිවුඩ් සිනමාවේවත් හොලිවුඩ් සිනමාවේවත් සොල්දාදු කතාවල මට ඒ අත්දැකීම අහුවෙලා නැහැ. එහෙම වුණේ ඇත්තටම පරාජයක පළායෑමක කතා සාරයක් එහි එක්තැන් වුණු නිසා වෙන්න පුළුවන්. විදේශයක, හුදෙකලා වූ මනෝරම්ය කඳුකර බිමක, මුරපොළක් ආරක්ෂා කරමින් සිටින සෙබළ බල ඇණියක මනෝභාවය, ඔවුන්ගේ දෛනික ජීවිතය සහ සිතෙහි පහළවන බිය සැක සංකා සියල්ල අපූරුවට කැටිකරගත් සංවේදී චිත්රපටයක් "බුෆොර්".

වරින් වර "සූ...." කියා කඩා වැටෙන මෝටාර් ප්රහාර හැරෙන්නට කිසිඳු දැවන්ත සටන් ජවනිකාවක් එහි අන්තර්ගත වන්නේ නැහැ. සියලු හරඹ සිදුවන්නේ දෙබසින් සහ චිත්ත භාව ප්රකාශනයෙන්. එමෙන්ම සතුරා කවුරුන්දැයි කියා කිසිඳු රූපමය හෝඩුවාවක් සපයන්නේත් නැහැ. මේ නිසා කතාවට පසුබිම් වන විදෙස් විත්ති දැනගෙන චිත්රපටය නරඹනවා නම් එය ඊට ඓතිහාසික රසයක් එක් කරාවි. අරම්භයේ ලබා දෙන කෙටි වගන්ති කීපය පමණක් ඊට සෑහෙන්නේ නැහැ. ඒත් එහෙම නොදැනගත්තා කියලත් රසවින්දනයට බාධාවක් නැහැ.

ඊශ්රායලය, දකුණු ලෙබනනය, බුෆොර් බලකොටුව, හිස්බුල්ලා සටන්කාමින් සහ 2000 වර්ෂය පසුබිම් වන මේ කතාව බලන්න ඔබ තාමත් පෙළඹුණේ නැතිනම් ට්රේලරේ බලන්න; දෙබස් වල රහ දැනේවි. හොඳම විදේශ භාෂා චිත්රපටය සඳහා වන ඇකඩමි සම්මානය සඳහා නිර්දේශ වීමත්, ඒ වගේම අධ්යක්ෂණය වෙනුවෙන් බර්ලින් ජාත්යන්තර සිනමා උළෙලේ Silver Bear සම්මානය Joseph Cedar දිනා ගැනීමත්, 2000 දශකයේ අති සාර්ථක වූ ඊශ්රායල චිත්රපට අතුරින් එකක් වීමත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනි.

Language: Israel- Hebrew

Published in FB Group සිනමාවේදීන් - The Cinema People 2024 – June – 8

Comments