AI Clones

AI වලින් හරක් හොරු ඇල්ලීම සහ හොක් ගාලා පරිගණක පද්ධති බිඳවැටීමේ සතිය අවසන් වීම නිමිත්තෙන් පළවන පෝස්ටුවකි.



මම මෑතක ඉඳන් ෆොලෝ කරන යූටියුබ් නාලිකාවක් තමයි India in Pixels by Ashris කියන්නේ. ඔව්! ඔව්! අශ්රිස් තමයි යොහානිගේ මැණිකේ පදයෙන් පදය කඩලා අරගෙන තාක්ෂණිකව, වාග් විද්යාත්මකව, ස්වර රචනය අනුව, කටහඬ අනුව, ඇයි මේක මෙච්චර මිනිස්සුන්ගේ කටේ මිමිණෙන්නේ කියලා විශ්ලේෂණය කළේ ඉන්දියනු සන්දර්භයක් ඇතුලේ. Why is Manike Mage Hithe so catchy? ලංකාවේ මනුස්සයෙක්වත් නොකරපු වැඩක්. ඊට අමතරව ගත්තොත් ඉන්දියානු සිනමාව සම්බන්ධයෙන් සංඛ්යා දත්ත පාදක කරගෙන එයා හදන Data Visualization Maps පවා මේ සමූහයේ හුවමාරු වෙලා තියනවා.
හරි! හරි! ඒක ගැන නෙමෙයි මේ කතාව. අශ්රිස්ගේ චැනල් එකේ තියන තවත් වීඩියෝවක් තමයි I Created My AI Clone and Talked with It! කියන්නේ.
AI Clone කිව්වහම බය වෙන්න එපා. ඒක අද කාලේ ඕනෙ කෙනෙක්ට හදාගන්න පුළුවන් වැඩක්. ඕනා කරන්නේ තාක්ෂණික දැනුමයි, කාලයයි, මුදලුයි, තව දේකුයි විතරයි. ඒක කරන විදිහ අශ්රිස් පියවරෙන් පියවර මේ වීඩියෝව ඇතුළේ කියලා දෙනවා.
ඩිජිටල් අවකාශය, අන්තර්ජාලය, විශේෂයෙන්ම සමාජ මාධ්ය කියන දේ මිනිසුන්ට සුලභ දෙයක්, දැරිය හැකි දෙයක් වුණාම පෞද්ගලික දිනපොත් කියන සංකල්පයේ පෞද්ගලිකත්වය කියන කාරණය බැහැර වෙනවා. ගෙදරිනුත් හංගගෙන ලියපු ඩයරි එළිපිට ලියන්න පෙළඹෙනවා. තමන්ගේ අදහස්, සිතුම් පැතුම්, කරපුවා, කියපුවා, ගියපුවා, කාපුවා, බලපුවා මේ හැම දෙයක්ම ඩිජිටල් අවකාශයේ සැරි සරන්න ගන්නවා. මේවා සියල්ල දත්ත. ලේසියෙන් නොමැකෙන ඩිජිටල් පා සටහන්. ඒ ලියන එව්වට නියාමනයක් දමාගන්නේ එහෙමත් අය තමයි. ජීවිතේට සැබෑ ජීවිතේ වලි නොදාපු කෙනෙක් ඩිජිටල් අවකාශයේ වලි දාගන්න පුළුවන්. සැබෑ ජීවිතේ නොදැකපු වෙනස් පුද්ගලයෙක් ඩිජිටල් අවකාශයේ මතු වෙන්න පුළුවන්. කොහොම වුණත් ඒ තමයි ඔහුගේ/ඇයගේ සවිඥානය. එතකොට මේ විදිහට ක්ලෝනයක් හදාගන්න අපිට ඕනා කරනවා ස්වයං වාරණයක් නොමැතිව ඩිජිටල් අවකාශයට තමංගේ ඉංග්රීසි අකුරු මුදා හැරපු පුද්ගලයෙක්. සිංහලෙන් ලියපු අයට මේ වැඩේ බෑ (තාම).
අශ්රිස් කියන්නේ මේ වගේ හාදයෙක්. ඔව්, මං හිතන විදිහට තොරතුරු තාක්ෂණ ක්ෂේත්රෙ ඉන්න තරුණ හාදයන්ගේ අතින් තමයි මේ විදිහට තමුන්ගේ සවිඥානය ඩිජිටල් අවකාශයට බහුලව මුදාහැරෙන්නේ. පරිණත වෙද්දි තමයි නියාමයනක් ඇතිවෙන්නේ. කොහොම හරි ඩිජිටල් අවකාශයට අයාලේ මුදා හැරපු මේ දත්ත ටික එකතු කරගත්තම ඒවා පාවිච්චි කරලා අපට පුද්ගලයෙකු මවන්න පුළුවන්. ඔව් එහෙම කරන්න පුළුවන්. මං සරලව කියන්නම්. උදාහරණෙක්ට ෆේස්බුකිය ගනිමු. ඔබ බුකිය තුල කරන හැම දෙයක්ම මාක් අයියා බලන් ඉන්න බව ඔබ දන්නවා නේද. ඔබ කැමති මොනාද, අකමැති මොනාද, කැමති වෙයි කියලා හිතන්නේ මොනාද, ඒ අනුව තමයි ඔබේ ෆීඩ් එක සැකසෙන්නේ. මාක් අයියා ඔයාටත් වඩා ඔයා ගැන දන්නවා. යූ ටියුබ් වලත් මේ කතාව එහෙමයි. Ebay වගේ දැවැන්ත ඔන්ලයින් කඩවලත් එහෙමයි. AI Clone එකක් කියන්නේ මේකෙම යම් කිසි දිගුවක්.
අශ්රිස් මෙතනදි පාවිච්චි කරන්නේ ෆේස්බුකියේ, මීඩියම් සයිට් එකේ, Quora සයිට් එකේ, තමුන්ගෙ වෙබ් පිටුවේ, මෙසෙන්ජර් එකේ දශකයක් තිස්සේ පිටකරපු තමුන්ගේ සවිඥානය. තමං අකුරු කරපුවා ඔක්කොම භාගත කිරිමේ පහසුකම ඒවායේ තියනවා. ඊට පස්සේ වැඩේ කරන විදිහ, AI මොඩල් එකක් හදාගෙන ට්රේන් කරන එක ඉතින් තාක්ෂණික කාරණාවක්. කැමති අයට වීඩියෝව බලලා ඉගෙන ගත හැකි. මේක පොදු සමූහයක් නිසා එච්චර ගැඹුරට නොයා ඉමු. මම කලින් මුදල් ඕනා කරනවා කිව්වේ ChatGPTලා හෙවත් OpenAIලාගෙන් අදාල සේවාවන් ගන්න ටිකක් විය පැහැදම් කරන්න වෙනවා.
ඔය විදිහට හොරාට AI ක්ලෝනයක් හදාගත්තු අශ්රිස් ප්රේක්ෂකයො එක්ක QnA session එකක් කරනවා. ප්රේක්ෂක ප්රශ්නේ ක්ලෝනයෙන් අහන ගමන් ඔහු තමන්ගේ උත්තරයත් වෙනම ලියනවා දෙන්නගේ උත්තර සන්සන්දනය කරන්න. සැබෑ විශ්මයක්! පිළිතුරු සියල්ලේ සමරූපතාව 88% ප්රතිශතයක්. ඒ කියන්නේ AI ක්ලෝනයට අශ්රිස් ගේ සවිඥානය බොහෝ දුරකට තියනවා කියන එක නෙවෙයිද? ඔහු මේ හදන AI ක්ලෝන චැට්බොට් එකට AI කරවපු ඔහුගේ කටහඬත් AI කරවපු සජීවිකරන රූපයත් ඇති බව කිව යුතුයි.
හරි! දැන් අශ්රිස්ගේ මේ වීඩියෝව කොහොමද සිනමාවට සම්බන්ධ වෙන්නේ. එයා වීඩියෝවේ අවසානයට මෙහෙම කතාවක් කියනවා.
"If I die and this chatbot stays online for anyone to answer, will I technically be immortal?"
දෙයියනේ! අකුණු පහරක් ආවා වගේ ඒක අහලා මට මතක් වුණේ ___________ චිත්රපටය. වැඩ්ඩො නම් කියමු බලන්න මේ හිස්තැනට ගැලපෙන වචනයක්. ChatGPT එක්ක මට මතක් වුණු චිත්රපටේ නම මතක් කරගන්න දරපු වෑයමේදි එයා මං නොදන්න ගොඩක් චිත්රපට නම් කීවා. ඒක නිසා පිළිතුරු ගොඩක් තියෙන්න පුළුවන්. මට මතක් වුණු එකට හින්ට් එකක් දෙන්නම්. "ජොනි ඩෙප්".
සිනමාකරුවන්ගේ හිතේ මැවෙන මායාවන් පස්සේ කාලෙක ඇත්තම ඇත්ත වෙන එක හරිම විශ්මයක් නේද මිත්රවරුනි. ඒ වගේම බිස්නස්කාරයන්ගේ හිතේ මැවෙන විකාරරූපී මායාවන් හොම්බෙන්AI වගේ නිර්මාණයන්ට පාදකවෙන සැටිත් හරිම අපූරුයි නේද මිත්රවරුනි.

Published in FB Group සිනමාවේදීන් - The Cinema People 2024 – July – 20

Comments