මාර්ටින් වික්‍රමසිංහයන් තම පෑන් තුඩින් මැවූ අරවින්දගේ ලෝකය තිස්ස අබේසේකරයන් තම කැමරා ඇසින් අල්වා ලොවක් ඉදිරියේ සිනමා තිරයක දිග හරිද්දී මා ඉපිද සිටියේ නැත.
![]() |
හදවිල මත පිපි අරවින්දය |
බාල වියේ පුංචි තිරයේ එය ප්‍රදර්ශනය වූ විටද විකාශය වූයේ මැදියම් රැයේ වූ බැවින් ද, ළමා විය ආකර්ශනය දිනා ගත් දිගු කඩවසම් රුව එහි ගස් වටා දුව නටා කෙළි කවටකම් නො කළ බැවින් ද, පළමු නැරඹීම විනාඩි කිහිපයකට වඩා ගෝචර නොවිණි. දිවියේ තවත් යුගයකදි වූ දෙවන නැරඹීමද විනාඩි දහ පහළොවකට සීමා වූයේ විරාගයක් රස විඳීමට තරම් රසවින්දන පරිචයක් ද, "_වුඩ්" සිනමාවෙන් වශීකෘත වූ සිතකට සිංහල සිනමාවේ වැඩි ඉඩක් ද, නො තිබූ නිසා ය. දිවියේ ඊළඟ යුගයේදි තෙවැනි වර එය නැරඹෙන්නේ සනත් ගුණතිලකයන්ගේ හද විලෙහි පිපුණු අරවින්දයට අකුරු ගොනු වූ කොරෝනා සමයේදීම වීම අහම්බයකි. සටන අත් නො හැර විරාගයක් රස විඳීමට බොහෝ හේතු වූයේ මෙම සමූහය බැව් ද කිව යුතු ය. එකල විරාග පෝස්ටු ලියූ සැමට ඊට නොවක් තුති පුදමි. තෙවන නැරඹීම කෙතරම් සම්පූර්ණ වීද, සාර්ථක වීද, හද විල කැළඹීද යත් විරාගය කෘතියද සොයා කියවා යළිදු වරක් විරාගය නැරඹුවෙමි. එපමණකින් ද නො නැවතී අරවින්දට පණ පෙවූ සනත්ගේ කතාවද කියවා නැවත වරක් නරඹා හදවිල පුරවා ගත්තෙමි.
දේශීය සිනමා සාහිත්‍යයේ, චිත්‍රපට චරිතයක් පමණක් ගෙන විවරණය වන පළමු අවස්ථාව සනත් ගුණතිලකයන්ගේ මෙම කෘතිය විය හැකිය. මෙය විරාගය පිළිබඳ කෘතියක් නොවේ. අරවින්දගේ ලෝකය පිළිබඳ කෘතියකි. අරවින්ද නමැති චරිතය විනිවිද දිග හැර බැලූ කෘතියකි. සනත්ගේ කතාව කීවාට එහි සනත්ගේ කතා ඇත්තේ 10%කටත් අඩු ප්‍රමාණයකිනි. වැඩිමනක්ම ඇත්තේ සනත් කියන කතාවකි. ඒ අරවින්ද නැමැත්තා ඔහුට පෙණුනු සැටිය. කටගැස්මට ඊට අදාළ සනත්ගේ කතාව අතරින් පතර කියා තිබේ.
අරවින්ද චරිතය වෙනුවෙන් ගුණතිලකයන් තම ශරීර සෞඛ්‍යය කැප කළ බව අප සැම දන්නා කාරණයකි. එය අළලා ඔහු මෙම කෘතියේ දිග හැරි මෙම මතකය මා සිත් ගත් බැවින් මෙසේ උපුටා දක්වමි.
"විවාහ උත්සවය සඳහා පැමිණි වාහනය තුළ මම සිටියෙමි. ගාල්ලේ සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය අසල දර්ශන ගත කෙරුණු මේ අවස්ථාවේ එම විදුහලේ බාලිකාවන් පාරට පැමිණීම වැළැක්වීමට කිසිවෙක් සමත් වූයේ නැත. ඔවුහු සබීතා, ක්ලීටස්, සහ දයා අල්විස් වට කරගත්හ. මා කාරය තුළ සිටී යයි දැනගත් ඔවුහු කාරය වැසෙන පරිදි වටේට පිරුණහ. නමුත් ඔවුන් බලාපොරොත්තු වූ සනත් ගුණතිලක නැමැති නලු ස්වරූපය එතැන නොවීය. "චිකේ...! කවුද මේ නාකි මිනිහා!" එක් බාලිකාවක් ශබ්ද නගා පැවසුවාය. මට ඇති වූයේ තද බල ප්‍රීතියකි. ඒ සිටියේ මා යැයි ඔවුහු කිසිසේත් විශ්වාස නොකළහ. ඒ නිසාම ඔවුහු වාහනය වෙතින් ඉවත් වූහ. නමුත් ඒ කෙටි කාලය තුළ වාතාශ්‍රය නොලැබීම නිසා මට පොඩි ක්ලාන්ත ගතියක් ඇති විය. ඒ අවස්ථාව වන විට මා පාවිච්චි කලේ දොඩම් යුෂ වුවත් මේ තැනට ඒවා ගෙනවිත් නොතිබිණි. මා ක්ලීටස් කැඳවා......"
තෙවැනි නැරඹුම් වාරයේ දී වැඩිමනක්ම මා සිත් පැහැර ගත්තේ විරාගයෙහි සංගීතයයි. සමස්ත චිත්‍රපටයෙන්ම සංකේතීයවම ප්‍රචලිත දර්ශනය පහත අලවා ඇති රූප රාමු බවට ඔබ සැම එකඟ වනවා ඇත. එම වාක්‍ය කථනයත්, අවට සීතල කඳුකර පරිසරය කෙරෙහි කැමරා කාචය නාභි ගත වූ ආකාරයත්, ඒ දෙපළ හා එක්ව බට දඬු රාවය සමඟ යෙදෙන සංගීතය හදවිල සුවඳ නො කරන්නේ කාගේද? විරාගය ශෝකාන්තයකි. නමුත් කිසිදු අවස්ථාවක එහි සංගීතයේ ශෝකාලාපයක් මට නො ඇසේ. දුකේදිත් සැපේදිත් වැයෙන, නිමල් මෙන්ඩිස්ගේ හැඩහුරුකම ඇතිව විකසනය වන සරත් ප්‍රනාන්දුගේ සංගීතයේ ඇත්තේ අරවින්දසේම නිවුණු ශාන්තිවාදි ස්වරයකි. පිරුණු මිනිසුන්ගේ බරැති පිය සටහන් රඳවා නොගෙනම රහසේ ම නික්ම යන්නට ඉඩ හැරීම ඛේදවාචකයකි. සරත් ප්‍රනාන්දුගේ සංගීත දිවිය පිළිබඳ කතා කෙරෙන එකම එක් සම්මුඛ සාකච්ඡාවක් යන්තම් අන්තර්ජාලයෙන් සොයා ගත හැකිය. ඒ සඳහා Saman4You යූ-ටියුබ් නාලිකාවට අපගේ ස්තුතිය.
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විරාගයෙහි සැමී, අරවින්ද හඳුනන බව දක්වා ඇතත්, අරවින්දගේ ආත්ම කථනයෙහි අරවින්ද සැමීව දන්නා බවක් ලියන්නට ඉඩක් වෙන් කොට නොමැත. නමුත් තිස්ස අබේසේකරයන්ගේ විරාගයේ ඊට ඉඩක් ලැබී තිබී ඇති බව සනත් ගුණතිලකයන්ගේ කෘතිය කියවීමේදි සවිස්තරාත්මක ව පෙනේ. එහෙත් පැය තුනකටත් වැඩි ධාවන කාලය, පැය 2.45කට කෙටි කරන්නට යාමේ දී එය සංස්කරණය වී ඇත.
තිස්ස අබේසේකරයන් ලියූ මැවූ බොහෝ නිර්මාණ ඇසුරේ දී ඔහු දුටු නො දුටු මතක අතීතයන්ගේ සැරිසරන්නට මහත් ලොල්වූවෙකු බව අපට හොඳාකාරව වැටහෙන කාරණයකි. බතීව බන්දා දී කච්චේරියේ වැඩ කටයුතු අහවර කොට කුලසූරිය සමඟ ඇවිදින ගමනේ දී ඊලියන් ද සොයිසා(?) ඉතා මිහිරට ගයන මහත්මා ගාන්ධි කවි කොළය ඊට කදිම නිදසුනකි.
පරම පූජනීය වූ ගාන්ධි මහත්මා... භාරතේ පියා...
දුකක් සදා දෙමින් හැමට... මෙලොව හැර ගියා...
ගාන්ධි මහත්මා... භාරතේ පියා...
කුලුණු ගුණේ පා... සත වෙත සැමදා...
ලෝක අම්බරේ... කීර්ති නැංවුවේ... //
මහත්මා ගාන්ධි මිය යනුයේ 1948 වසරේදීය. මෙම කවි කොළයෙන් මා දුටුවේ ඉන් අරවින්දගේ ලෝකය ඉදි වූ කාලය පිළිබඳ අරුතක් ලබා දෙන බවකි. සනත් ගුණතිලකයන්ගේ කෘතිය කියවීමේදි එය එසේමත් ම නොවන බව වැටහී යන කාරණයකි. පෙර කී සංස්කරණයෙන් ඉවත් වූ සැමී හා අරවින්ද සම්මුඛ වන දර්ශනයක් මීටම සමපාත වූ වකි. එය සිදුවනුයේ සරාගේ විවාහයත්, ඇඟිල්ල පුපුරවා ගැනීමත් අතර කාල වකවානුවේදීය. එදින මෙම යාචකයා ගයනුයේ ආදරය වෙනුවෙන් සිහසුන හැර ගිය එංගලන්තයේ අටවන එඩ්වඩ් රජු සහ වොලිස් සිම්ප්සන් ආර්යාව අතර වූ පෙම් පුවතේ කවි කොළයයි. මෙම සිදුවීම සිදුවනුයේ 1936 වසරේදීය. ඒ අනුව මෙම දර්ශන පෙළ දෙක අරවින්දගේ ජීවිත පෙරළියේ කාල රේඛාව පිළිබඳ ප්‍රේක්ෂකයාට යම් අවබෝධයක් ලබා දීමට ගත් උත්සහයක් ලෙස සැලකිය හැකිය. නමුදු සංස්කරණයෙන් දැන් එඩ්වඩ්+සිම්ප්සන් කවි කොළය ඉවත්ව ඇති නිසා යාචකයාගේ ගායනය හුදෙක් තිස්ස අබේසේකරයන්ගේ අතීතකාමි සිත එළිදක්වන සාක්ෂියක් පමණක් වී තිබේ.
මාර්ටින් වික්‍රමසිංහයන් නො දුටු අරවින්දගේ මරණය තිස්ස අබේසේකරයන් දකියි. එහි දී තිස්ස අබේසේකරයන් අරවින්දගේ ඥාතී-මිත්‍රාදීන් නඩුවක චූදිතයන් ලෙසින් සොහොන් පිටියක එක පෙළට සිටුවයි. බතී සහ ජිනදාස වෙනම අන්තයක ස්ථාන ගත කරයි. සනත්ගේ කණට ඇසී ඇති, තිස්ස අබේසේකරයන් මෙම එක එක් චරිතයට එහිදී ලබා දී ඇති උපදෙස් ඉතා අගනේය. එම එක් උවදෙසකින් ලිපිය හමාර කරමි.
"ජිනදාස ඔහේට එන කඳුළු ඇස් වල රඳවා ගන්න. ඒවා ගෑනියෙක්ගේ වගේ කම්මුල් දිගේ ගලන්න බෑ. සාමාන්‍යයෙන් පොතේ විස්තර වෙන්නේ හැඩි දැඩි සිරුරක් ඇති මස් වැද්දෙක්ගේ ස්වරූපය. මේ උසස්, කුලවත්, ධනවත් යැයි කියන පරම්පරාවට වඩා ජිනදාසගේ පපුවේ මනුෂ්‍යකම තියෙන බව මට පෙන්වන්න ඕනි."
විරාගය තිර රචනයෙන් පොත් රාක්කය කෙදිනක හෝ පිරුණු දිනක සය වන වරටද විරාගය නරඹා හදවිල කලතාගන්නට උදක් බලාපොරොත්තුවෙන් සිටිමි.
© Vijayanthi Vandebona
2025-Oct-05
Published in FB Group සිනමාවේදීන් - The
Cinema People.
Words: 869
Comments
Post a Comment