My Life with Manikda (2005) [Documentary]

මහා සිනමාකරු සත්‍යජිත් රායිගේ ඥාති හිතමිත්‍රාදීන් රායි මහත්තයව අමතන්නේ මණික්-දා යන කුලුපග ඇමතුමින්. මුළු බටහිර බෙංගාලයට ම මිණි කැටයක් වුණු ඔහුට මැණික් මහත්තයා කීවාට කමක් නැහැනේ. 

මැණික් මහත්තයා ගැන අපට මේ කතාව කියන්නේ සත්‍යජිත් රායිගේ නිල ඡායාරූප ශිල්පියා වුණු Nemai Ghosh.  දශක දෙකක් තිස්සේ, එනම් Goopy Gyne Bagha Byne (1969) ඉඳන් රායිගේ අවසාන නිර්මාණය වන ආගන්තුක් - The Stranger (1991) දක්වාම ඔහුගේ නිශ්චල ඡායාරූප ශිල්පියා විදිහට කටයුතු කරන්නේ නිමයි ගෝෂ්. ඊටත් වඩා ඔහු ප්‍රචලිත රායිගේ රූපමය චරිතාපදානය ලියපු මනුස්සයා විදිහට.

Satyajit Ray (L) with Nemai Ghosh. (R)


නිමයි ගෝෂ් කියන මේ කතාව වාර්තා කරගෙන ඩොකියුමෙන්ට්‍රියක් හදන්න පටන් ගන්නේ බෙල්ජියානු ජාතිකයෙක් වුණු Bo van der Werf. ඒ 1997දී. ඇත්තටම එයාලට ඕනා වුණේ රායි මහත්තයා ගැන වාර්තා වැඩසටහනක් හදන්න. ඒත් නිමයි ගෝෂ් කියන මේ කතාවේ සුවිශේෂත්වය හන්දම ගෝෂ් මහත්තය වෙනුවෙන් මේ විදිහට වෙනම වාර්තා චිත්‍රපටයක් එයාලා හදනවා.

නිමයි ගෝෂ් ඡායාරූප ශිල්පියෙක් වෙන හැටිත්, රායිගේ ඡායාරූප ශිල්පියා වෙන්නට ආරාධනාව ලැබෙන හැටිත් හරිම අපූරු සිදුවීම්. රායිගේ සෙවණැල්ල වගේ පසු පස ගිහින් ඒ දැවැන්ත කලා පෞරුෂය තමුන්ගේ කැමරා කාචයෙන් වාර්තාකරගන්න නිමයි ගෝෂ්ට ඉඩ ලැබුණු එක ගොෂ් මහත්තයාගේ වාසනාව වුණත්, කලක් ප්‍රචාරක ආයතනයක සේවය කරපු හාදයෙකු විදිහට තමුන්ගේ පබ්ලිසිටිය ගැන සත්‍යජිත් හොඳට හිතන්න ඇතිය කියලා මේ ඩොකියුමන්ට්‍රිය බැලුවම හිතෙනවා. ඉන්ටනැෂනල් වුණාම ඒක මේන්ටේන් කරගන්න එකත් කලාවක් තමයි.

මේ ඩොකියුමෙන්ට්‍රිය බලද්දී මගේ හිත කීරි ගැසුණු අවස්ථා දෙකක් තියනවා. ජල්සාගර් - The Music Room (1958) චිත්‍රපටයේ පසුතලය විදිහට භාවිතයට ගත්තු Nimtita Rajbari මන්දිරය බලන්න යන අවස්ථාව ඉන් පළමු වැන්න. ෆිලුම් ලෝකේෂන් එකක් වුණා නැතා මේ විදිහට ඇස් පනා පිට මහා මන්දිරයක් නටඹුන් වෙනකොට කාටද බලන් ඉන්න ඇහැකි. දෙදහස් විසි ගණන් වෙද්දි තත්වය ඔය පෙන්නනවාටත් වඩා බරපතලයි කියලා අන්තර්ජාලයේ පෙන්නනවා. යුගයක අවසානය. ජල්සාගර් කතාවෙත් ඉතින් කියන්න හැදුවේ ඕකමනේ කියලා හිත හදාගන්න තමයි තියෙන්නේ. දේවි - Goddess (1960) සහ සමාප්ති - The Conclusion (1961) චිත්‍රපට වලත් පසුතලය විදිහට සත්‍යජිත් රායි භාවිතයට අරන් තියෙන්නේ මේ මන්දිරයම තමයි.

අනෙක් දෙවන අවස්ථාව වෙන්නේ නිමයි ගෝෂ් කියන කතාවක්. මේ ඩොකියුමෙන්ට්‍රිය රූපගත කරන කාලෙදි නිමයි ගෝෂ් කියන්නේ බොහෝ දෙනෙක්ට අමතක වුණු චරිතයක්. ඒ ගැන ඔහුට ලොකු කලකිරීමක් තියනවා. 1992දි සත්‍යජිත් රායි මිය යනවනේ. ජීවිතේ හොඳම කාලේදි, වයස අවුරුදු 35 ඉඳන් 58 වෙනකන් එකම මනුස්සයෙකුට කැඹුරුවහම ඒ වගේ තත්ව ඇති වෙන්න පුළුවන්. ඔහුගේ ඡායාරූප එකතුවෙන් රායි මහත්මයා වෙනුවෙන් ගැලරියක් හදන එක ඔහුට තියෙන එක සිහිනයක්. ඒත් කවුරු වත් ඒකට අනුග්‍රහයක් ලබා දීලා නැහැ. මේ හන්දා ඔහු ඉන්නේ ලොකු දුකකින්. ඒ දුක කෝපයකට හරවගෙන ඔහු මේ ඩොකියුමන්ට්‍රිය ඇතුලේ කියනවා එයාගේ මරණයෙන් පස්සේ මේවා විනාශ වෙයි කියන සිතුවිල්ල එයාට දරාගන්න බැරි වෙන හන්දා, උදව්වක් නොලැබුණොතින් ෆොටෝ ටික ඔක්කොම එයා ගංගා ගඟට දාන්න හිතං ඉන්නවය කියලා. දෙයියනේ ෆොටෝ 90,000ක් ගඟට දාන්න! එවෙලේම වීඩියෝව නවත්තලා බැලුවේ නිමයි ගෝෂ් දැන් මැරිලද නැද්ද කියලා. අනේ එයා 2020දි මිය ගිහින්. එතකොට ෆොටෝ ටික? නෑ අනේ ෆොටෝ ටික ගඟට දාලා නැහැ. බෝ වැන්ඩර් වර්ෆ් ගේ වාර්තා චිත්‍රපටයෙන් පස්සේ නිමයි ගෝෂ්ට හොඳ කාලයක් උදා වෙලා. කෞතුකාගර ගැලරියක් විතරක් නෙවෙයි ෆොටෝ වලින් ප්‍රදර්ශන කිහිපයක්ම පවත්වලත් තියනවා. නමක් ගමක් නැතිව අන්තර්ජාලයේ සමාජ මාධ්‍යයේ සැරි සරන සත්‍යජිත් රායිගේ ඡායාරූප වල නියම උරුමක්කාරයා නිමයි ගෝෂ් කියලා දැන් මට සියයට දෙසීයක් විශ්වාසයි.

එයාලා අපූවයි දුර්ගවයි එක් කරගෙන පාතර් පංචලියේ හරී හරගේ ගෙදරත් බලන්න යනවා. සත්‍යජිත් රායිගේ පසු කාලීන නිත්‍ය සිනමා ඡායාරූපකරණ ශිල්පි Soumendu Roy එක්කත් පොඩි ලස්සන වාදයක් කෙරෙනවා. ආගන්තුක් චිත්‍රපටයේ මාමා ගහ යට ඉඳගෙන පොඩි එවුන්ට කතා කියන දර්ශනය ඔබට මතක ඇති. ලෙඩ ගොඩක් තියන් රායි කරපු අවසන් චිත්‍රපටය. ඒ පිට්ටනියට ආයෙත් යන ගමන නිමයි ගෝෂ් සංවේදී කරවන ගමනක්. සත්‍යජිත් රායි ගේ කාමරේ- ඒකත් අපූරු තැනක් තමයි. ඒත් ෆොටෝ තිබුණාට රායි දැන් එතැන නැහැනේ.

සත්‍යජිත් රායිගේ සිනමා නාමාවලිය හඹාගිය හෝ හඹා යන්නට බලාපොරොත්තුවෙන් නම් ඔබ සිටින්නේ, පැයක කාලයක් වෙන් කරගෙන නිමයි ගෝෂ් කියන මේ කතාව යූටියුබයෙන් අහන්න කියන එක තමා මගේ නිර්දේශය.



© Vijayanthi Vandebona

3-August-2024

Published in FB Group සිනමාවේදීන් - The Cinema People.

Comments