පසුගිය සතියට යෙදුණු ආර්. ඩී. බර්මන් ගේ 86 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙනි.
![]() |
R D Burman with a Harmonica |
බොලිවුඩය නවමු මානයකට ගෙන යන්නට උරුම ලද්දෝ
බොහොමයකගේ සම්භවය අක් මුල් බටහිර බෙංගාලයේ වේ. ආර්. ඩී. බර්මන්ද එම බෙංගාල උරුමයේ
ආලෝකයෙන් බබළන්නෙකි. එපමණක් නොව මව් පිය උරුමයෙන් ලද දායාදයක් ලෙසින් ඔහු හැදී
වැඩුණු බොලිවුඩ් සිනමා සංගීත පරිසරය ඔහුගේ මෙම සංගීත ගමනට ශක්තිමත් පදනමක් විය. බෙංගාල
බසින් පංචම් යනු 'පහ' ඉලක්කමය.
මෙම සුරතල් නාමයේ උප්පත්තිය සමඟ බැඳී ඇති කතා බොහෝ ය. බොහෝ දෙනෙකු විශ්වාස කරනුයේ
ඔහු කුඩා කල හඬන විට ස්වර සප්තකයේ පස්වන ස්වරය වූ 'ප...'
ස්වරයට හඬන්නට ඇති බවයි. ඔහුගේ බෙංගාලි උරුමය නිසා ඔබ අද අසන
ඔහුගේ ඇතැම් ජනප්‍රිය හින්දි තනු බොහොමයක් මුල් වරට යොදා තිබුණේ බෙංගාලි චිත්‍රපට
තුළය. උදාහරණයක් ලෙස ගත හොත් 1942: A Love Story (1994) චිත්‍රපටයෙහි
"රූතනා ජානා" ගීතය Shwet Pathorer Thala (1992)
නමැති බෙංගාල චිත්‍රපටයේ "Mon Theke Mone Ki-Kore Je Jabo" ලෙසින් නිකුත් වූ ගීතයකි.
ඔහු සංගීත නොවෝත්පාදකයෙකි. බටහිර හා භාරතීය
සංගීතයේ මිශ්‍ර කිරීම් ඔහුගේ අත්හදා බැලීම් වලට ලක් විය. ඔහු ජෑස්, රොක්, ලතින්, බොසා-නෝවා,
හා බෙංගාලි ජන සංගීතය වැනි විවිධ සංගීත මූලයන් එකට ගලපා ගත්තේ ය.
හරේ රාමා හරේ ක්‍රිෂ්ණා (1971) චිත්‍රපටයේ "දම් මාරෝ දම්" නම් හිපි
ගීතයේ රොක් ගිටාර් රිද්මය හා සින්තසයිසර් (transichord - a synthesiser
accordion) භාවිතය, එකල බොලිවුඩ්
සංගීතයට නවමු හැඩයක් එක් කළේ ය. පිය රජ දහනේ පුතුගේ සලකුණ සනිටුහන් කළ අවස්ථාවක්
ලෙස මෙම ගීතය සැලකිය හැක. කිශොර් කුමාර් පවා සිනහ මුසුව වරක් සඳහන් කොට ඇත්තේ එම
ගීතයට මැරුණු මිනිසුන් පවා නැගිට වන්නට හැකි බවකි. ඉතින් ඔබට පුළුවනි ද එම ගීතයේ
මෙම ට්‍රැන්සිකෝඩ් නාදය හඳුනන්නට?
බර්මන්ගේ විශේෂත්වය වූයේ ඔහුගේ සංගීත නාද රටා භාවිතයේ නව්‍යත්වයයි. ඔහු සාම්ප්‍රදායික භාරතීය වාද්‍ය භාණ්ඩ සමඟ බටහිර වාද්‍ය භාණ්ඩ මිශ්‍ර කළේ ය. තමන් තැනූ වාද්‍ය භාණ්ඩ ද ඊට එක් කළේ ය. එපමණකින් නො නැවතී වැලි කඩදාසි අතුල්ලා, බට පතුරු වද්දා, ඔඩොක්කුවට අත්පුඩි තලා වැනි ප්‍රාථමික ක්‍රම වලින් පවා ශබ්දය උපද්දා එය ගීතයට එකතු කළේ ය. උදාහරණයක් ලෙස, යාදෝන් කි බරාද් (1973) චිත්‍රපටයේ "චුරා ලියා හේ තුම්නේ" ගීතයේ ආරම්භයේ ඇසෙන වීදුරු නාදය ගත හැකිය. ශෝලේ (1975) චිත්‍රපටයේ "මෙහ්බූබා මෙහ්බූබා" ගීතයේ බියර් බෝතලයකට පිඹීමෙන් එකතු කළ ශබ්දය තවත් කදිම උදාහරණයකි. සමානේ කෝ දිකානා හේ (1981) චිත්‍රපටයේ "හෝගා තුම්සේ පෙයාරා කෞන්" ගීතයේ දුම්රිය ගමනක හැඟීම දැනවීම උදෙසා ඔහු වැලි කඩදාසි එකිනෙක ඇතිල්ලීමෙන් නැගි ශබ්දය උපයෝගී කොට ගෙන ඇත. සට්ටෙ පෙ සට්ටා (1982) චිත්‍රපටයේ අමිතාබ් බච්චන් සිරෙන් නිදහස් වී එන දර්ශනයක බිය ජනක බව හැඟවීම උදෙසා ඔහු පසුබිම් සංගීතය හා මුසු කළේ ගායිකාවක ගාගල් කරනා ශබ්දයකි. උගුරේ මද වේදනාවකින් පසු වූ ඇය එම චිත්‍රපටයට ගීතයක් ගැයීමට පෙර උගුර සෝදන ආකාරය ඇසී ඔහුට එම අදහස පහළ වූ බව පැවසේ. මහන් (1983) චිත්‍රපටයේ "යේ දින් තෝ ආතා හේ ඒක්දින් ජවානි මේන්" ගීතයේ, ඉන්දියානු පාසල් සීනුවක් ජල බඳුනක ගිල්වාගෙනම නාදය උත්පාදනය කරන්නට සිතුණේ කෙලෙසක දැයි අපට සිතන්නටත් අපහසු ය. පඩෝසන් (1968) චිත්‍රපටයේ "මෙරි සාම්නෙ වාලි කිඩිකි මේන්" ගීතයේ පනා දැති මත ඇතිල්ල වූ රළු මතුපිටක (Reso-Reso) සද්දය ඉතින් ඔබට අඳුනාගත හැකි ද?
ඔහු ඇතැම් සංගීත භාණ්ඩ සම්ප්‍රාදායික ක්‍රමයට නොව වෙනස් ආකාරයකට භාවිත කළේ ය. රිද්මය සහ ලය පුහුණු වීම් සඳහා භාවිතයට ගන්නා මෙට්‍රොනෝම් උපකරණයේ ටිකි නාදය ඔහු එළිදක්වන සංගීතය තුලම ඇසෙන්නට සැලැස්වීය. ඔබ සිතන්නේ තබ්ලාවට භාවිත කළ හැක්කේ අතැඟිලි පමණක් කියා ද? බර්මන් තබ්ලාවට ඩ්‍රම් කෝට්ටක් වැටෙන්නට සලස්වා ඉන් නාදය උපද්දා ගීත වලට එකතු කළේ ය. 1942: A Love Story (1994) චිත්‍රපටයේ "පෙයාර් හුවා චුප්කෙ සේ" ගීතයේ එම තබ්ලාවට කෝටු වැටෙන නාදය පුළුවනි ද ඔබට සොයා ගෙන එන්න?
ඔහු හවුල් වූ නව නිපැයුම් වාද්‍ය උපකරණ අතර "පෙඩල් මට්කා" සංගීත භාණ්ඩය ඉතා සුවිශේෂී වේ. මෙය මැටි ජල බඳුනක මුඛය සම් ආවරණයකින් වසා, පාදයකින් එය තද කළ හැකි ආකාරයේ සංගීත භාණ්ඩයකි. ජවානි දිවානි (1972) චිත්‍රපටයේ "සම්නේ යේ කෞන් ආයා" ගීතයේ මෙය භාවිතා වනු ඔබට ශ්‍රවනය කළ හැකියි.
Pedal Matka Instrument
බර්මන්ගේ සංගීතය ලෝකය විවිධ සංස්කෘතීන්ගෙන් ආභාෂය ලැබූවක් විය. ලෝකයේ පවතින විවිධාකාර සංගීත භාණ්ඩ තම නිර්මාණ සමඟ එකතු පහදු කිරීමට ඔහු තුළ වූයේ විශාල ඇල්මකි. ඔහු බොලිවුඩ් සංගීතයට ටුම්බා බෙරය හඳුන්වා දුන්නේ ඒ අනුවය. මනෝරජන් (1974) චිත්‍රපටයේ "ආයා හූන් මේන් තුජ්කෝ ලේ ජාඋන්ගා" ගීතය එම ටුම්බා රිද්මය උපයෝගී කරගත් හොඳම නිදර්ශකයයි. තම රසිකයන් වෙනුවෙන් වයිබ්‍රෆෝන්, වෝටර්ෆෝන්, කැස්ටනෙට්ස්, කුයිකා, වයිබ්‍රා-ස්ලැප්, බොංගෝ, සැක්සෆෝන්, හර්මෝනිකා, මරිම්බා, කැබසා වැනි සංගීත භාණ්ඩ තුළින් නැගෙන, දේශීය ජනයාට නිතර නො ඇසෙන නාදයන් තම සංගීතය හා මුසු කිරීමට ලොවේ අනෙක් කෙළවරට යෑමට වුවද ඔහු පසුබට වූයේ නැත.
බර්මන්ගේ සංගීතය දිවිය විවිධ සංස්කෘතීන්ගේ
රසයෙන් ගැවසුණු, එකිනෙකට ගලා එකතු වූ ගංගාවකි. ඔහුගේ
ඇතැම් ගීත බටහිර අනුකාරක ලෙසින් ඇතැමෙක් හඳුන්වයි. ඒවා හුදෙක් කොපිම ලෙස හැඳින්විය හැකි ද?
උදාහරණයක් ලෙසට ගත හොත් ශෝලේ (1975) චිත්‍රපටයේ "මෙහ්බූබා
මෙහ්බූබා" ගීතය ඩෙමිස් රූසොස්ගේ "Say you love me" (1974) ගීතයේ කොපියක් බව බොහෝ දෙනා කියති. ගීත දෙක අතර ඇත්තේ වසරක
පරතරයකි. නමුත් මෙම ගීත දෙකට ම පෙර එනම් 1973 වසරේ මෙම තනු දෙකට ම සමපාත වන Michalis
Violaris ගේ සයිප්‍රස්-ග්‍රීක් බසින් ගැයෙන Ta Rialia ගීතය එළිදකියි. මිහාලිස් මෙම ගීතය සඳහා ආභාෂය ලබනුයේ සයිප්‍රස් ජන
ගීයකිනි. මෙම සංස්කෘතික හුවමාරුවේ අගය කෙතරම් අලංකාර ද? මේ
අවස්ථාවේ මහා කවි තාගෝර්තුමන්ගේ අදහසක් ඔබ හමුවේ තැබීමට මා කැමති ය. "ප්‍රතිභාපූර්ණ
කලාකරුවෙකු තුල දැකිය හැකි සුවිශේෂ ලක්ෂණයක් නම් බැහැරින් ණයට ගැනීමට ඔහු තුල ඇති
අති විශාල හැකියාවයි- බොහෝ විට අවිඥානිකවම. සංස්කෘතිය නමැති ලෝක වෙළඳ පොළෙහි
අසීමිත ලෙස ණය ගැනීමේ හැකියාව ඔහුට ඇත. සාමාන්‍ය කලාකරුවා ණය ගැනීමට ලැජ්ජා වේ,
බය වේ. මන්ද යත් තම මුදලින් ම එම ණය පියවන්නේ කෙලෙසක දැයි ඔහු නො
දන්නා නිසා ය. (The Meaning of Art, R. Tagore, 1926)"
මට නම් හැඟෙනුයේ R D Burman එම සංස්කෘතික දායාදයේ ජීව
ගුණය රඳවා ගනිමින් නිර්මාණය ස්වීයකරණය කොට සංස්කෘතියට ණය පියවූ බවකි. බෙංගාලි ජන
ගීතවල මෘදු රසය ඊට එක්වීම මෙයට හේතුවක් විය හැකිය. රූසොස්ගෙන් නෑසෙන බෝතල් පිඹිල්ල
අපට බර්මන්ගෙන් මෙහ්බූබාහිදී ඇසෙන්නේ එබැවිනි. තම ස්වකීය අනන්‍යතාවය තහවුරු කරගත්
"චුරා ලියා හේ තුම්නේ" (1973) ගීතය ද "If It's Tuesday,
This Must Be Belgium" (1967) හි බටහිර අනුකාරකයකි.
How eeeri sound in Sholay was made
චිත්‍රපට අධ්‍යක්ෂකවරයාගේ ඉල්ලීමට ඇතැම් විට මෙවන් අනුකරණ ගී නිපැයීමට ඔහුට සිදුවී ඇති බව සඳහන් ය. ඉහත කී "මෙහ්බූබා මෙහ්බූබා" ගීතය එවැන්නකි. හම් කිසීසේ හම් නහින් (1977) චිත්‍රපටයට ඇබා සංගීත කණ්ඩායමේ "Mamma Mia" (1975) ගීතය අනුව "මිල් ගයා හම්කෝ" ගීතය නිර්මාණය කරන්නට ඔහුට සිදුව ඇත්තේ චිත්‍රපට අධ්‍යක්ෂක නසිර් හුසේන්ගේ ඉල්ලීමකට අනුවය.
බර්මන්ගේ සංගීතය බොලිවුඩ් සංගීතයේ රැඩිකල්
වෙනසක් ඇති කළේ ය. ඔහු ලතින් ඇමරිකානු බොසා නෝවා [Maar Dalega Dard-E-Jigar
| Pati Patni (1966)], ජෑස් [O
Haseena Zulfon wali | Teesri Manzil (1966)], හා රොක් ඇන් රෝල් [Aao Twist Karein | Bhoot Bangla (1965)] යනාදිය ඔහුගේ සිනමා සංගීත මාවත අලංකාර කරන්නට භාවිතා කළේ ය.
ඔහුගේ මෙම සංගීත නවෝත්පාදන සහ ලෝක සංස්කෘතිය හා මුසුවීම් (Fusion Music) ඔහුව බොලිවුඩ් සංගීත ලෝකයේ සදාතනික තරුවක් බවට පත් කොට ඇති බව අවසාන
වශයෙන් ප්‍රකාශ කරමි.
Cuica instrument in R.D.Burman's songs
සෑම වසරකම පාහේ ඔහු මියගිය දිනයේ හෝ උපන් දිනයේ පූනේ හි Pancham Magic ආයතනයත්, කල්කටා හි Euphony ආයතනයත්, පංචම්දාගේ වාද්‍ය වෘන්දයේ ඉතිරිව ජීවත් ව සිටින සාමාජිකයන් කැටුව බොලිවුඩ් සිනමා සංගීත ඉන්ද්‍රජාලිකයාගේ රිද්මය යළි ජීවමාන කරන්නට සංගීත සංදර්ශන පවත්වනු ලබති. එහි දී මූලිකත්වය ලබා දෙනුයේ ගායකයන් නොව වාදකයන් හටය. ඔවුන්ගේ මතකය වෙතය. පංචම් දා සංගීතය ඉපැද්දූ හැටි ආදර්ශනය කිරීම පිණිස ය. මෙම ලිපිය සඳහා බොහෝ කරුණු උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලයට නිකුත් කොට ඇති එම සංදර්ශන සහ Decoding R.D.Burman යුටියුබ් නාලිකාව තුළිනි.
© Vijayanthi Vandebona
2025-July- 3
Comments
Post a Comment