"අඩෝ! ක්‍රිකට් ගහන්ඩ වරෝ!"
මා විසූ එම කුඩා මහල් නිවසෙහි ම වෙසෙන
කටකාර කුඩා කොලු ගැටයෙකුගේ කට හඬින් මම අවදි වුණෙමි. කොලු නඩය අද උදයෙන් ම වැඩ
අල්ලන්නට ලැහැස්ති වී තිබේ. අද නිවාඩු දිනයක් ද? විය නො හැක. ගුණවතීගේ පෙට්ටි කඩයට පසුගිය මසට ගණන් බේරුවේ ඊයේ ය. එය
බ්‍රහස්පතින්දාවක් බව කොයි යම් මොහොතක ඇගේ මුවින් පිටවූ බව මට මතකය. මා හට සඳුදාත්
සිකුරාදාත් අතර වෙනසක් නොමැත. උදය දහවල රාත්‍රිය අතරකද වෙනසක් නැත. එහෙත් ඊයේ බ්‍රහස්පතින්දා
නම් අද සති අන්තය විය නො හැක. අද පොහොය දවසක් ද? දීපාවලි? කොලු නඩයේ පාසල් නිවාඩුව කුමක් දැයි මම මොළය වෙහෙසුවෙමි.
එහෙත් එය නිරර්ථක ක්‍රියාවලියකි.
"අපි කොළොන්නාවේ දුම බලන්න යනවා. උඹලත්
වරෙං."
කොල්ලෙකුගෙන් පිළිතුරු ලැබෙනු ඇසුණි.
මට එහි අර්ථය නො වැටහේ. සයනයෙන් නැගිට දූවිලි බැඳුණු ජනේලයේ, කැඩුණු කුඩා හිඩැස අතරින් මම පහළ කොලු නඩය දෙස
බලන්නට උත්සහයක් දැරීමි. කොලු නඩයේ ගෝසාව සුළඟට මුසු වනු මට පෙනිණි.
දැඩි නිහඬ බවකි. මුව සෝදා මා උදය ආහාරය
ගත යුතු ය. අත පය සෝදන්නට සිත් නො දෙයි. කොහේ යැයි කියා මහලු මා පිළිවෙළ වී යන්ට ද?
බටර් ගෑ පාන් පෙත්තක් මුව තුල රඳවා ගතිමි. කොළ
පැහැ දික් කෙසෙල් ගෙඩියේ ලෙලි ඇර සීරුවට පෙති කැපුවෙමි. ගෑරුප්පුවෙන් පෙති එකින්
එක ඇන වරකට එක බැගින් සපා බැලුවෙමි. උදය වරුව මෙලෙසට නිමා කළ හැකි විය.
සති අන්තය සහ සතියේ දිනය අතර වෙනස මම
දනිමි. සති අන්තයේ මාගේ ප්‍රියතම වැඩසටහන ප්‍රචාරය නොවෙයි. අද සතියේ දිනයක් විය යුතු
ය. එසේ නම් එය ප්‍රචාරය වනු ඇත. මේ එයට කාලයයි. මම ගුවන් විදුලි යන්ත්‍රයේ ස්විචය
තද කළෙමි. "රණ බිමෙන් නිවහනට, නිවහනෙන්
රණ බිමට." ස්වදේශීය සේවයේ නිවේදිකාවගේ හඬ ඇසුණි. මම ගුවන් විදුලිය අසල හාන්සි
පුටුවේ අසුන් ගතිමි. සාමන්‍ය සෙබළ රත්නායකගේ මව සුවයෙන් පසු වන බව නිවේදිකාව ප්‍රකාශ
කරයි. මේ ප්‍රවෘත්තිය රත්නායකට අසන්නට ලැබෙයි ද? මා තැවුලට පත් විමි. ලාන්ස් කෝප්‍රල් ප්‍රනාන්දු ළඟදීම ගෙදර
එන බව කියයි. ඒ රණ බිමෙන් නිවහනට ලැබුණු පණිවිඩයකි. ප්‍රනාන්දුට නිවාඩු ලැබෙන්ට ඇති, මම සිතුවෙමි. එහෙත් ඔහුට ගෙදර යා හැකි වෙයි ද? ඔහු ගෙදර යන දිනය මම සිතෙහි මවා ගන්නට උත්සහයක්
ගතිමි. ලාන්ස් කෝප්‍රල් ප්‍රනාන්දු මල්ලක් අතැතිව ඉසුසු බසයට නගියි. බසයේ නාම
පුවරුව පැහැදිලි නැත. අංක 134, බොඳවූ අකුරු අතුරින් මතු වේ.....
"දඩාස්..!"
මහල් නිවාස කොරිඩෝවෙන් නැගුණු ශබ්දයෙන්
මාගේ දැහැන බිඳ වැටිණි. ලී බඩු ආදී දෑ ඇදගෙන යන මහ හඬකින් කෝප්‍රල් ජයශාන්තගේ
පණිවිඩය මැකී ගියේ ය. අඩි ශබ්ද කිහිපයකි. මම සීරුවට ඇවිද ගොස් දොරෙහි එබිකම්
සිදුරින් අඳුරු කොරිඩෝව දෙස බලන්නට උත්සහයක් ගතිමි. ඡායාවන් කිහිපයක් කොරිඩෝවේ
කලබලයෙන් එහා මෙහා දිවෙයි.
"ක්‍රෑස්!" යාබද නිවසෙහි දොර
හැරෙයි. "ක්‍රෑස්!" දොර වැසෙයි.
මසක විඳි නිහඬතාවෙහි නිදහස නිමා වෙන
වගට පෙරමං ලකුණු ය ඒ. ගුවන් විදුලිය නවතා යාබද නිවසෙන් ඇසෙන සද්ද බද්ද කෙරෙහි සවන්
යොමු කළෙමි. "දඩාස්... බඩාස්! බ්‍රෑස්..." කොපමණ වේලාවක් ඝෝෂාව පැවතුණේ
දැයි යන්න මට මතක නැත. මා පිබිදෙන විට කොලු නඩය ක්‍රිකට් තරඟය අහවර කොට හෙට දවසේ
සැලසුම ගැන කතා බහක යෙදී සිටිනු අසන්නට ලැබිණි.
යාබද නිවසින් දැන් සද්ද බද්ද නො ඇසෙයි. දහවල් අහර නොගත් බව පසක් විණි. ගුණවතීගේ කොලුවා බත් පාර්සලය දොරෙහි පිටත එල්ලා
යන්නට ඇත. බත් පාර්සලය විවෘත කළෙමි. පිළුණු ගඳක් වහනය වෙයි. මම බටර් ගෑ පාන්
පෙත්තට සීනි දමා කටෙහි ඔබා වතුර උගුරක් බීවෙමි. දැන් නිදන්නට කාලයයි. මම සයනයෙහි
වැතිරුණෙමි.
යාබද නිවසින් අපූරු සංගීතයක් සවනට
මුසුවේ. එක්වනම මා පිබිදිණි. මනස ක්ෂණයෙන් අතීතයට පළා ගොස් වර්තමානය කරා දිව ඇදිණි.
දිරා ගිය මහලු කොඳු ඇට කෙළින් වූයේ නිතැතිනි.
"♪ උදය ගිරින් සූර්යයා නගී... ඔය රම්‍ය මලෙන් පැණි උරා නිතී... මලින්
මලට පැණි උරා කතී... බමරා, වීර මලේ රොන් අරන් යතී... ♪"
සංගීතය තවමත් වැයේ.
"දේවාර්..." මටත් නො දැනීම මාගේ
මුව මුමුණනු ඇසිණි.
හනිකට නැගිට යාබද නිවස වෙන්වන බිත්තිය
වෙත සවන් පත් ළං කළෙමි. ඔව්, එය දේවාර් සූරියසේනගේ හඬයි. මැදියම් රෑ
දේවාර් සූරියසේනගේ මිහිර විඳින මේ මිහිරැති නව අසල්වැසියා කවුරු විය හැකි ද?
මට කුතුහලයක් ඇති විය. මා වැනිම නාකි හම්පඩ
මහල්ලෙකු විය යුතු ය. ගීත වාදනය නිම වෙන තෙක් ම මාගේ දෙසවන් බිත්තිය අසල ම විණි. ඉන්පසු
වූයේ දැඩි නිහඬ බවකි. කවුරු ද මේ අසල්වැසියා...?
"♪ ගුමු නාදේ දෙන බඹරගෙ දොසිනා කරදර විය බෝ සේ... ♪"
තවත් දේවාර් ගීතයක්. දෙයියනේ කවුරුද
මොහු? මම හාන්සි පුටුවේ අසුන් ගතිමි. දෑස්
වසා ගතිමි.
"♪ වත මාගේ, මල වාගේ, දැක භෘංගේ, මෙහි රිංගේ... ♪"
මේ නෙළුන් දේවිගේ කට හඬද? නැතිනම් නීලියාද? මට හරියටම මතක නැත.
එය වහා සොයා ගත යුතු ය. ධූලි දැවටුණු මාගේ තැටි එකතුව
වෙත නෙත් යොමු කළෙමි. අවසන් වරට ඒ දෙස බැලුවේ කවදාද? මට මතක නැත. දශක 2ක්, 3ක්, නැහැ 4ක් වත් ඇති. ඒත් එච්චර වෙන්ට බැහැ නේද? ඇයි පුළුවනි, එයයි මායි.....
ඒ මතකය ඇවිස්සිය යුතු නැත.
පළමු ප්‍රශ්නය, මේ නෙළුන් දේවිද? නැතිනම් නීලියාද? මා මතක් කළ යුත්තේ එයයි. එය නො දැන
නැවත සයනයට යන්නට සිත් නො දේ.
"හචුස්!!" දුහුවිල්ලෙන් නාසය වෙලා
ගති. සංගීත තැටි එකින් එක පීරමින් එක් තැටියක් අතට ගතිමි.
"හචුස්!!.. හචුස්!!"
දේවාර් සූරියසේන/ නීලියා ජයරත්න සංගීත
තැටියේ සඳහන් කොට තිබිණි. මම සයනයෙහි දිග ඇදුණෙමි.
"♪ Bright are the stars that
shine... Dark is the sky... ♪"
පෝල් මැකාර්ට්නිගේ මිහිරිමය හඬින් මම
උදෑසන අවදි වුණෙමි. බීටල්ස්... දෙවියනේ මූ මේවාත් අහනවා. අද අසල්වැසියාගේ ඡායාවක්
හෝ දැක ගත යුතු ය. ඔව්, මේ අපූරු සත්වයා දැක ගත යුතුමය. මම
හාන්සි පුටුව දොර අබියසට මහත් වෙර යොදා ඇද ගතිමි. "ක්‍රෑස්" ශබ්දය නැගෙන
තුරු නො නැගිටිමි යන තිර අධිෂ්ඨානයෙන් එහි හිඳ ඔත්තු බැලුවෙමි.
"♪ Love me tender, love me
true... ♪" එල්විස් ප්‍රෙස්ලිගේ ශෘංගාරාත්මක කට හඬ
ඇසේ. මෙය තවත් මා හට ඉවසිය හැකි නොවේ. පපුව සූරා ගෙන යන වේදනාවක් හදවතට දැනේ.
දශක ගණනක් තිස්සේ මාගේ ශ්‍රවනයෙන්
ගිලිහී ගිය මිහිරි මතක රැගෙන ආ අසල්වැසියා.. මා ඔබ දකින්නට රිසියි... කවුරු ද
ඔබ...
ඔහුගේ නිවසේ දොරට තට්ටු කරන්නට
සිතුවෙමි. බැහැ, බැහැ... එය කරන්නට බැහැ. අලුතින්
මිනිසුන් හැඳින ගන්නට මට බැහැ. මගේ ජීවිතයේ වෙනසක් කරන්නට මට උවමනා නැහැ. මේ විදිහ
මට හොඳයි. දුරින් හිඳ අපි බලමු මේ අලුත් හාදයා කවුරු ද කියා. දැන ඇඳින ගන්නට අවශ්‍ය
නැහැ.
සංගීතය නැවතිණි. විරාමයකි.
"ක්‍රෑස්!" යාබද නිවසෙහි දොර
හැරෙයි. "ක්‍රෑස්!" දොර වැසෙයි.
දනි පනි ගා හාන්සි පුටුවෙන් නැගිට ගත්
මම දොරෙහි එබිකම් සිදුරෙන් කොරිඩෝව වෙත නෙත් යොමු කළෙමි. කළු හැඳි පුද්ගල ඡායාවක්
ගමන් කරනු දුටිමි. දුටුවේ ඡායාවේ පිටුපස පමණී. කාන්තාවක්ද, පිරිමියෙක්ද, මහල්ලෙක්ද, තරුණයෙක්ද කියාවත් හැඳිනිය නො හැක. මගේ
බලාපොරොත්තු සුන් විය.
මේ ජංජාලය මැද උදෑසන ආහාරය අතපසු විණි.
බත්ම කමු. ගුණවතීගේ කොලුවා බත් පාර්සලය රැගෙන එනතුරු මම බලා සිටියෙමි.
දූවිලි බැඳුණු ජනේලයේ, කැඩුණු කුඩා හිඩැස අතරින් සැඳෑ හිරුගේ රෝස පැහැ
එළියක් මාගේ සයනය මත පතිත වී ඇත. අද අපූරු හවසක්. ඒ දැක මට සිතිණි. එවැනි
චමත්කාරයක් මින් පෙර කිසිඳු දිනයක එම කාමරයේ තිබී නැත. ඇත්තටම නැද්ද? නැතිනම් මා නෙතට හසු වූයේ නැතිද? මම මටම ප්‍රශ්නය දිගු කළෙමි.
දශක ගණනාවකට පසු ප්‍රථම වරට එදින මම
කාමරය දෙස නෙත් සිසාරා බැලුවෙමි. එක් පසෙක දුහුවිලි බැඳුණු ලට්ට ලොට්ට අතර වූ පොත්
රාක්කයකි. වසර ගණනක් තිස්සේ එකතු කළ බිල්බෝඩ්, මෙලොඩි මේකර්, රසවාහිනි, සරසවිය, ශ්‍රී, ෆිල්ම් ෆෙයාර් යනාදී එකී මෙකී නොකී සඟරා අවසන් වරට අත පත ගෑ අයුරින් කහ පැහැ ගැහී පොත්
අතරේ අපිළිවලට එහි ඇසිරී තිබේ. කාවුන් වේයන් එහි සැරිසරන්නේදැයි මා දන්නේ නැත.
පැරණි මැහෝගනී මේසය මත තිබූ මියුසික් පෙට්ටියෙන් නාදයක් වාදනය වේදැයි මා දන්නේ නැත. විවෘත
කරන්නෙක් පැමිණෙන තුරු එය හුදකලාව ධූලි මැද බලා සිටියි. එක් සැණෙන් නෙතු ස්ථාන ගත
වූයේ මුල්ලෙහි දමා තිබූ මකුළු දැල් බැඳි බොක්ස් ගිටාරය වෙතය. මම සැණෙන් ඉන් නෙතු ඉවතට
මුදා ගත්තෙමි. "ක්‍රෑස්" ශබ්දය යළි ඇසෙනතුරු මා බලා සිටිය යුතුයි.
"ක්‍රෑස්!" දොර හැරෙයි. "ක්‍රෑස්!"
දොර වැසෙයි.
ඔහු යළි ඇවිත්.
"ඔහු" කියා දැන්ම තීරණය කරන්නේ
කොහොමද? මේ "ඇය" වන්නටත් හැකියි නේද?
ගැහැණියෙක් ද පිරිමියෙක් ද කියා තවම දන්නෙත්
නැහැ නෙව. මම සිනාසී ගතිමි.
සංගීත රාවය ඇසෙන තුරු මම බලා සිටියෙමි.
යළි බටහිර ගී දෙයි ද? නැතිනම් ඊයේ මෙන් සිංහල ගී? ඉන්දියානුත් දන්නවද දන්නේ නැහැ. නමුදු එදින යළි
කිසිවක් නාද නොවිණි. රාත්‍රී අහර අමතක විය. නිදි දෙව්දුව මා ඉක්මනින් වැළඳ ගති.
මැදියම් රැය එළඹ ඇත. මිහිරිම ස්වරයක්
මා වෙලා ගෙන ඇත. පිබිදුණෙමි. යහනේ එකතපස්ව වාඩි වී හුන්නෙමි. නෑ, එය කටහඬක්. ලයාන්විත ගැහැණු ගායනයක්. සංගීතයක්
වැයෙන්නේ නැත. ඔහෝ... මගේ අසල්වැසියා එසේ නම් තරුණ ලඳක්. ඒත් මේ කටහඬ බොහොම හුරු
පුරුදුයි නොවැ. කාගෙද මේ කට හඬ?
"♪ මිහිරි නාද දී ඉගිලී යන අහස් කුසේ... ♪"
ඇය ගයයි. චිත්‍රා සෝමපාලගේ තැටියක් වන්නට බැහැනේ. කවුද මේ...
බොහොම පුරුදු කට හඬක්. මේ කටහඬට සංගීතය මුසු වූවා නම් කෙතරම් අපූරු ද. මම සිතමි.
"♪ සුවඳ දසත වීදී යන දිළෙන අතු අගේ... ♪"
නෙතු කොණින් මකුළු දැල් අතරින් එසවුණු
ගිටාරය පෙනේ. මේ කටහඬ, කොහෙදිද මින් පෙර අසා ඇත්තේ. ඇයි මට මතක නැත්තෙ
දෙවියනේ.
යළි ගිටාරය පෙනේ. ගිටාරය මට අත වනන සැටියකි.
මගේ අත මටද නොදැනුව ඒ වෙත දිවෙයි.
මකුළු දැල් කැඩිණි. කවරය හැරිණි. තත්
සුසර විණි.
"♪ පියඹ සමග මී අඹ පැණි උරන තුරු මතේ... ♪" ඇය ගයයි.
"♪ කොවුල්හාමියේ මිහිරි පෙම් ගී ගයනා... ♪" අපි දෙදෙනම ගැයුවෙමු.
"♪ කොවුල්හාමියේ අනේ කොයිද මගෙ දයා... කියන්නකො අනේ කොයිද මගෙ දයා... ♪" මා ගැයුවෙමි.
සුවබර උදයක් කරා මා නෙත පියවිය. පැරණි
ගී මනරම් ලෙස ගයන අසන තරුණ දැරිය හෙට කෙලෙසක හෝ දැක ගත යුතු බව තිරයේ අදිටන් කර
ගතිමි.
මුව සෝදා ගත්තෙමි. අවසානයට ස්නානය කළේ
කවදාද? නො ඇල්ලූ සබන් කැටයෙහි සුවඳ තවම එහි
වැතිරී තිබේ. මම හැකි අයුරින් පිරිසිදු වුණෙමි. එළියට බසින සුදු පැහැ කමිසය හොඳයිද?
නෑ, අද
අලුත් ලා පාටක් අඳිමු. තද පැහැ කොටු හැඩ අත් දිග ටෙරලිං කමිසයක් තිබුණා නම් ඉස්සර වගේ උඩ
බොත්තම් නො පියවා ඉන්නට තිබුණා. මුවගට සිනහවක් පහළ විණි. දිලිප් කුමාර් කොණ්ඩය වියැකී
ගොස් තිබේ. ඉතිරි වී ඇති සුදු කෙස් රොද අතින් මිටි කර ගතිමි. ලාච්චුව තුළ සැඟව සිට සොයා ගත් සෙයිකො ඔර්ලෝසුවේ කටු වැඩ නොකරයි. කම් නැත. රැලි ගැසුණු සම ඉන් වැසුණාදෙන්.
හාන්සි පුටුවේ ඈඳි ගෙන සංගීත රාවය සවනත
වැකෙන තුරු බලා සිටියෙමි. සැලසුම අනුව සංගීතය වාදනය වන විට මා ඇගේ දොරට තට්ටු කළ
යුතු වේ.
කාලය ගත විය. නොදැනීම හිරු මුදුන් විය.
ඇගෙන් අද කිසි ශබ්දයක් නොනැගෙන්නේ මන්ද?
අප වෙන් කළ දුර්වර්ණිත රළු බිත්තිය වෙත ඇදී
ගියෙමි. කණ තැබුවෙමි. සද්දයක් නැත. අඩු තරමේ පුටුවක් අදින සද්දයක් වත්. මම නො
සන්සුන් වුණිමි.
සෙවණැලි දිගුවන කාලය එළැඹිණි. ඇගේ
නිවසින් කිසිදු සද්දයක් නො ඇසේ. "ක්‍රෑස්" හඬද නොනැගි බව මතකය. ඈට මක්
වීද?
තරු දිලෙන හෝරාව එළඹිනි. ඊයේ රාත්‍රියේ
මෙන් අදත් ඈ හා ගයන්නට තිබුණා නම් මාගේ හැකියාව තව පෙන්නන්නට තිබුණා. හාන්සි පුටුව
එදින මාගේ සයනය විය.
නිදිගැට හැර උදෑසන පිබිදුණෙමි. අසුනින්
නැගිටින්නට කම්මැළිය. අදත් ඇගේ නිවසින් සද්දයක් නොඇසෙයිද? අනේ ඈට මක් වීද? අසා දැනගන්නට කවුරුත් ඇත්නම්. මගේ දෑස් යළි පියවී යනු දැනිණි.
කොරිඩෝව දෙසින් ආ අඩි සද්දයෙන් යළි
පිබිදෙන විට හිරු මෘදු වී ඇති වග හැඟුණි.
ඈ ඇවිත් ද? ඈ බලන්නට කවුරුන් හෝ ඇවිත් ද?
කුතුහලය මා අසුනින් නැගිටුවන්නට
පෙළඹවීය. හනිකට ගොස් දොරෙහි එබිකම් සිදුරෙන් කොරිඩෝව වෙත නෙත් යොමු කළෙමි. කාකි
පැහැ නිල ඇඳුම් හැඳි පුද්ගලයන් දෙදෙනෙකු සමඟ, මා ඇසට හුරු පුරුදු හැඩයක් ඇති සුදු සරම ඇඳි මහත මිනිසෙකු මාගේ දොර
වෙතට පියමන් ඔසවන සැටි දුටිමි. සුදු හැඳි මිනිසා කවුරුන්ද? මම ඔහු මතකයට නගා ගන්නට තැත් කළෙමි.
ඔවුන් මාගේ දොර දෙස බලමින් එය පසු කොට ඉදිරියට
ම පියමන් කරන්නට විණි. මේ අය අතරේ වැරහැලි බැනියමක් ඇඳි කොල්ලෙකු ද වූ වග දැකගන්නට ලැබුණේ මේ
මොහොතේදිය. ඌ
කාගේ කවුරුන් විය හැකි ද? මේ කල්ලිය කෙලින්ම ඇදී ගියේ ඇගේ දොර
වෙතටයි. ඇගේ නිවසට පොලිසියෙන් ඇවිත්...
දෙවියනේ ඈට මක් වීද...? මා හාන්සි පුටුව මත වැතිර ගතිමි.
පිළුණු ගඳ වහනය වූ පාර්සලයක් රැඳි දොර කඩා ඇතුළු වූ පොලිස් නිලධාරීන් දෙදෙනා හට
දූවිලි තැවරුණු අතකින් සංගීත තැටියක් හදවතට තුරුළු කරගත් මහලු පිරිමි මළ සිරුරක්
සයනයක නිදනු දැක ගන්නට හැකි විය. "Devar Surya Sena and Ensemble - දොයි දොයි දොයි" ලෙස තැටියේ සඳහන් වී
තිබිණි.
Vijayanthi Vandebona
2024-July-05
Published on FB Group අඩයාලම Adayalama
Comments
Post a Comment