වෙඩි නො වැදෙන යුද සිනමාව: The Burmese Harp (1956)

Kon Ichikawa විසින් අධ්‍යක්ෂණය කරන ලද "The Burmese Harp" යනු 1956 වසරේ ඇකඩමි සම්මානය සඳහා හොඳම විදේශ භාෂා චිත්‍රපටය ලෙසින් නිර්දේශ වූ ජපාන සිනමාවේ සුවිශේෂී නිර්මාණයකි. 

වැඩිහිටි පාඨක ප්‍රජාව අතර ද ජනප්‍රිය වූ, Michio Takeyama ගේ යොවුන් නවකතාවක් ඇසුරින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය, දෙවන ලෝක යුද සමයේ බුරුම යුද පිටියේ එක්තරා සිදුවීමක් ජපාන සොල්දාදුවකුගේ දෘෂ්ටිකෝණයෙන් ඉදිරිපත් කරයි. එම සිදුවීම නිතැතින් ම ඔබට Mel Gibson අධ්‍යක්ෂණය කළ චරිතාපදාන යුද චිත්‍රපටයක් වූ Hacksaw Ridge (2016) මතකයට නංවනු ඇත. එහි කතානායකයා වූ ඩෙස්මන්ඩ් යුද පිටියට යෑමට තුවක්කුව අතට ගන්නේ නැත. ආගම දහම මඟින් ඔහු හික්මවනු ලබන්නේ එලෙස ය. නමුදු තුවක්කුවක් අතින් නො අල්ලන මේ ඩෙස්මන්ඩ් තම බළඇණියේ නො සිටී නම් යුද බිමට යාමට අකමැති වන තරමට ඔහු සෙබළුන්ගේ චිත්ත ධෛර්ය ඇති කෙරවීමට ප්‍රබල සාධකයක් බවට පත් වේ. අපගේ කතානායකයා වන කෝප්‍රල් මිසුෂිමාගේ ද යුද බිමෙහි ආයුධය වන්නේ තුවක්කුව නොවේ. එය බුරුම වීණාවකි. 

"ඒයි මිසුෂිමා, අප වෙනුවෙන් වීණාව වයාපන්"

 කපිතාන් ඉල්ලයි. ඔහුගේ වාදනය, භටයන්ගේ සිත් සංකා නැති කරයි. 

"ඒයි මිසුෂිමා, උඹ බුරුමයේ නැවතියන්. උන් උඹට කැමති වේවි!"

බුරුම ඇඳුමින් සැරසී බුරුම වීණාවත් කරට ගෙන ඔත්තු බැලීම පිණිස පිටවී යන මිසුෂිමා දැක සෙබළු කියති. ඔහුගේ වාදනය යුද භීෂණයෙන් තම භට කණ්ඩායම ආරක්ෂා කරයි.

බුරුම දේශයට (වර්තමාන මියන්මාරය) අනුයුක්ත කළ ජපාන භට පිරිසක් වටා කථාව ගෙතෙන්නේ 1945 වර්ෂයේ දෙවන ලෝක යුද්ධයේ අවසාන කාලය මූලික කර‌ගෙනය. දිනක බුරුම ගම්මානයක් කරා පියනගන ඔවුහු මදක් එහි ලැගුම් ගනී. ගම් වැසියන්ගේ අනගි සංග්‍රහයක් භුක්ති විඳින අතරේ ශෝකාකූල මන්ද ස්වර ගායනයක් ඇසේ.  මිචියෝ තකෙයමාගේ කෘතිය "බුරුම වීණාව" නමින් පරිවර්තනය කළ වින්සන්ට් පෙරියප්පෙරුම මහතා එම ගීතය සිංහලට නගා ඇත්තේ මෙලෙසිනි.

 "ඈත ඈත වලා පෙළේ

හිමව් කුළේ හිම සුදිලේ

නාමුය අපි ගඟුලැල්ලක

මිලීන වූ හිමෙන් සැදුණ

ඈත ඈත ඉතා ඈත

සැඟවී ඇත ඔබ හදවත

දැවී තැවෙන මගේ හදට

හිම ගඟුලේ නා හැකි නම්!"

ඒ අසා සෙබළෙක්, "ඔහේලට ඉතින් හිමාලේ මෙහාට පේනවැයි?" කියා ගම් දෙටුවාගෙන් විමසයි.

"මෙහාට පේන්නේ නෑ මහත්තයෝ. බෞද්ධ සූත්‍රයි ජනප්‍රවාදයි තමයි අපට හිමාලේ ගැන කියන්නේ. හිමාල කඳුලැස්ස තමයි අපේ ආත්ම සෙවණ. මැරෙන්න කලින් එකම එක පාරක් හරි හිමාලේ වන්දනා කරන එක තමයි අපේ බලාපොරොත්තුව." ගම් දෙටුවා පිළිතුරු දෙයි.



චිත්‍රපටයේ ආරම්භක අවදියේ ම ජපාන භට පිරිස බ්‍රිතාන්‍ය හමුදාවට හසුවේ. ඔවුන් ගායනා කරන "Hanyū no Yado" ගීතයට බ්‍රිතාන්‍ය හමුදාව එම තනුවට ම ගයන Home, Sweet Home ගීතය  එක්වීමත් සමඟ, ප්‍රතිවාදි දෙපිරිස අතර මානවීය බැඳීමක් ඇති වේ. මෙම ජවනිකාව, චිත්‍රපටයේ මූලික තේමාව වන මානුෂීයත්වය සහ සංහිඳියාව පිළිබඳ ප්‍රබල පණිවිඩයක් ඉදිරිපත් කරයි. යුද්ධය ඉන් තෙදිනකට පෙර අවසන් වී ඇති වග මිසුෂිමාලාහට දැනගන්නට හැකි වන්නේ එහිදීය.

බ්‍රිතාන්‍ය හමුදාවේ සිරකරුවන් වී සිටින අතරවාරයේ මිසුෂිමා හට කපිතාන්වරයා බ්‍රිතාන්‍යයන්ගේද අවසරය ඇතිව සිර කඳවුරෙන් එපිට විශේෂ මෙහෙයුමක් පවරයි. එනම් ජපනුන් පරාජයට පත්වී යුද්ධය නිමවී ඇති වග නොදන්නා නුදුරු කඳුගැටයක සිටින ජපාන සෙබළ බල ඇණියකට යටත් වීමට ඒත්තු ගැන්වීමේ මෙහෙයුමකි. කලාකාමි හදවතක් සපිරි කපිතාන්වරයා හට එකඳු නිරර්ථක ජීවිත හානියක් සිදු වනු දකින්නට අවැසි නැත. මෙම මෙහෙයුම මිසුෂිමාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වේ. කථාව ගොඩ නැගෙන්නේ මෙම මෙහෙයුමේදි ලද අත්දැකීම් මිසුෂිමාගේ ආධ්‍යාත්මය කෙරෙහි බලපෑ ආකාරයයි.

"කඳු ගැට නැග යද්දී ද, ගංගා තරණය කරද්දී ද, දියබරිතව හෝ වන පඳුරින් වැසී ගත් මළ සිරුරු මිහිදන් කරද්දී ද, වේදනාකාරී ප්‍රශ්නයන්ගෙන් මගේ හදවත මහත් පීඩා වින්දේ ය. අනන්ත අප්‍රමාණ දුක්ඛ දෝමනස්සයන් හා අක්මුල් නැති පීඩාවන් ලොව පවතිනුයේ කිම?" ඔහු තම සෙබළ මිතුරන් වෙත එවූ ලිපියක වූවකි.

"එහෙත් අවසානයේ, මිනිස් නුවණින් මේ ගැට‍ළු විසඳිය නො හැකි බව මම වටහා ගත්තෙමි. දුකින් වෙළුණු මේ ලොව්සත වෙත කුදු සහනයක් හෝ ලබා දීමට අප වැඩ කළ යුතු ය." නාඳුනන දේශයක වැතිරුණු ජපාන සොල්දාදුවන්ගේ සිරුරු තනි නො කරන්නට ඔහු ගත් අසීරු තීරණය, යුද්ධයේ භීෂණයට එරෙහිව ඔහුගේ ආධ්‍යාත්මික ජයග්‍රහණය පිළිබිඹු කරයි.

මෙම චිත්‍රපටය යුද සංග්‍රාමයක විනාශකාරීත්වය පෙන්නුම් කරනා මිනිස් දහමේ ගැඹුරු ගවේෂණයක් ලෙස සැලකිය හැකිය. චිත්‍රපටයේ මූලික තේමාව වන්නේ යුද්ධයේ විනාශකාරී බලපෑම සහ එයට එරෙහිව මානවත්වයේ ජයග්‍රහණයයි. එය යුද්ධයේ අර්ථශූන්‍යතාව සහ බුදු දහමේ මාර්ගය හරහා සාමය සෙවීම පිළිබඳ ගැඹුරු ආලෝචනයකි.

බුදු දහම චිත්‍රපටයේ ප්‍රධාන තේමාවකි. වනයේ අසරණ වන මිසුෂිමා හට බුරුම භික්ෂුවක් මෙසේ පවසයි. "ඔබලා කුමක් කළත් එය ඵල නැති බව ඔබලා හට පෙනෙන්නේ නැති ද? බ්‍රිතාන්‍ය හමුදාවටයි ජපන් හමුදාවටයි ඇවිත් ඕනෑ තරම් සිත් සේ සටන් කරන්ට පුළුවන්. ඒත් බුරුමය තවමත් බුරුමයමයි. බුරුමය බුදුන්ගේ රටක්." මෙම දැක්වීම යුද්ධයේ තාවකාලික බව සහ බුදු දහමේ සදාකාලික සත්‍යය ඉස්මතු කරයි.

Kon Ichikawa ගේ අධ්‍යක්ෂණය, Minoru Yokoyama ගේ කැමරාකරණය, සහ Akira Ifukube ගේ සංගීතය එක්ව මෙම චිත්‍රපටයට අසමසම ගුණාත්මක බවක් ලබා දෙයි. කළු-සුදු රූප රචනය; යුද්ධයේ ඛේදනීය බවත්, බුරුමයේ ස්වාභාවික සුන්දරත්වයත්, බුරුම සංස්කෘතියේ අලංකාරයත් එකවර ඉස්මතු කරයි. සංගීත රචනය, චිත්‍රපටයේ චිත්තවේගී ය බලපෑම වැඩි කරයි. සංගීත රචකයා ඒ සඳහා Godzilla (1954) චිත්‍රපටයේ භාවිතා කළ තනුවලින් ආභාසය ලබා ඇති වග පැවසෙන අතර මෙම සංගීතය, යුද්ධයේ බිහිසුණු බවත්, මිසුෂිමාගේ ආධ්‍යාත්මික ගමනේ සාමකාමී බවත් එකවර ග්‍රහණය කර ගනී. වීණා සංගීතය සමඟ මුසු වන භටයන්ගේ ගායනා, ඔවුන්ගේ එකමුතුකම සහ ශක්තිය පිළිබිඹු කරන අතර තනිව වැයෙන වීණා නාදය සිතට ශාන්තියක් ගෙන දේ.

යු වීරත්වයට අතහැර යු පරාජය පිළිබඳ වූ ශාන්තිවාදි හැඟීමකින් කතා කළ ජපන් සිනමාවේ පළමු චිත්‍රපට අතරින් එකක් ලෙස මෙම චිත්‍රපටය ගත හැක. නවකතාවේ ඇති ෆැන්ටසිමය ලක්ෂණ ඉවත දැමීම පැසසිය යුතුය. එනමුදු නවකතාකරු පාඨකයා වෙත රඳවා තැබූ කුතුහලය චිත්‍රපටයේ ඇති නොවේ. එම අධ්‍යක්ෂකවරයා විසින් ම නැවත මෙම චිත්‍රපටය 1985 වසරේ වර්ණ චිත්‍රපටයක් ලෙසින් ප්‍රතිනිර්මාණය කොට ඇත.

අසල්වැසි දේශයන් දෙකක් අතර යුද ගිනි ඇවිළී ඇති මේ සමයේ සිත් නිවා ලන්නට යූටියුබය හෝ ආකයිව්.ඔර්ග් ඔස්සේ නොමිලේම නරඹන්නට මේ වෙසක් සතියේ ඔබට ආරාධනා කරමි.

 "ඒයි මිසුෂිමා! අපි එකටම ජපානයට යමු"

 


Comments