Short Story - ආයෙත් ආ පෝරිසාදයා

 ("මාමාගේ විසේ" නම් පෙර ලිපිය හා බැඳේ. මාමා සහ ටීචර් සෙට් කොට කපුකම් කරන්නට තැත් දැරූ දහසක් ජනී ජනයා හට මෙම දෙවන කොටස ආදරයෙන් පිදේ.)



පියාණන් වෙතින් උඩපැනගෙන මා කළ ඉල්ලීමේ ප්රතිඵලය මෙය වේ යැයි මා කිසි ලෙසකින්වත් බලාපොරොත්තු වූයේ නැත. කුමක් කරන්නදැයි මට සිතාගත නොහැකිය. දෛවයේ සරදමකට මෙන් ඒ පෝරිසාදයා යළිත් මා අබියෙස හිඳගෙන සිටියි.
වරෙක ඔහු නිසා මගේ රැකියාවද ඔන්න මෙන්න කියා නැතිවන්නට ගියේය. වාසනාවකට ඒ මව්පියන් හට, හෙවත් ඔහුගේ සොහොයුරිය හට, කාරණය දුරදිග නොයවා ගොඩින් බේරාගන්නට අවශ්ය විය. මමද මාගේ අතිජාත ගුරු මිතුරියගේ දෙසවනින් එහාට ඒ සිදුවීම් පෙළ කණ වැකීම වළක්වාගන්නට වගබලා ගතිමි. මේ නිසා මාගේ ගුරු රස්සාව යන්තම් බේරිණි.
මා උගන්වන ප්රාථමික පාසලෙහි, 'හොඳ සෞඛ්ය පුරුදු' මැයෙන් දේශනයක් කරන්නට හැකිදැයි ජ්යෙෂ්ඨ වෛද්යවරයෙකු වන මාගේ පියාණන්ගෙන් මා ඉල්ලා සිටියේ මා හට භාරගන්නට පංතියක් ලබාදෙන බව සවන් වැකුණු මුල් දිනවලය. නවක ගුරුවරියක් වූ මා හට පංතියක් භාරගන්නට තරම් අත්දැකීමක් නොවූ බව කිව යුතුය. කෙසේ වුවද එලෙසින් මා හට ලබා දුන් දෙවන වසර සිසුන් කණ්ඩායමේ, පංති භාර ගුරුවරිය ලෙසින් කටයුතු කළ මුල් දවස් දෙක තුනට ලද අත්දැකීම් අනුව එවන් වැඩසටහනක වටිනාකම මම හොඳින්ම පසක් කරගෙන සිටියෙමි.
මාගේ පියා ළමුන් සමඟ හැසිරීමට බොහෝ දක්ෂය. ඔහු කුඩා දරුවන් කතාබහට ඇදගැනීමට සහජ දක්ෂතාවයක් තිබූ ළමා රෝග විශේෂඥ දොස්තර කෙනෙකි. මාගේ ඉල්ලීමට මූලික හේතු කාරණාව වූයේද ඔහුගේ මේ සුදුසුකම්ය. එමෙන්ම මාගේ කීමට පාසලේ ඇතැම් ගුරුවර ගුරුවරියනට රෝගාබාධ ගැටළු වලදි වෛද්ය උපදෙස් උපකාර ලබා දීමෙන් ඒ වන විට ඔහු පාසල් කාර්යමණ්ඩලයේ බොහෝ දෙනෙකු දන්නා හඳුනන චරිතයක් වී තිබුණි. පාසල් වැඩකට ඔහු සම්බන්ධ කරගැනීමේ යම් අදහසක් මාගේ ඔළුවට දැමුවේද ඇත්තෙන්ම ඔහුගෙන් උපකාර ගත් එක් ගුරුවරයෙකි. එනිසා පාසල් බලධරයන්ගෙන්ද මේ සඳහා අවසර ගැනීමට මට ලොකු බාධාවක් නොවනු ඇතැයි මම සිතුවෙමි.
නමුත් බලාගිරි දෝෂය මෙන් ඔහුට දිනයක් වෙන් කරගත නොහැකිව දිනෙන් දින කටයුත්ත කල් යන්නට වූයේ ඔහුගේ අධික කාර්යබහුලත්වය නිසාය. මෙලෙසින් පාසල් පළමු වාරයද, දෙවන වාරයද නිමවී තෙවන වාරයද කෙමෙන් කෙමෙන් අවසන් වනු දුටු මම මාගේ ඉල්ලීමේ තීව්රතාව වැඩි කළෙමි. අවසානයේ මාගේ කරදරයෙන් බේරීම සඳහාදෝ දිනක් මා උදයේ ලහි ලහියේ පාසල් යාමට සූදානම් වෙද්දී පසු දිනයට පසු දිනයේ වේලාවක් ඔහු හදිස්සියේ මා හට ලබා දුන්නේය.
නමුත් එම දිනයේ එම වේලාවට මුළු පාසලටම සහභාගි වියහැකි ආකාරයේ ශ්රවණාගාර වැඩසටහනක් සඳහා කටයුතු සංවිධානය කරගැනීමට මට කල් වේලා මදි විය. පියාණන්ගෙන්ද වෙනත් දිනයක් ලබා ගැනීමට නොහැකි වේ යැයි සිතා අවසානයේදි දෙවන ශ්රේණියට පමණක් වැඩසටහන කරන්නට විදුහල්පතිතුමියගෙන් අවසර ලබා ගතිමි. පියා හට දීමට සමරු තිළිණ අත්වැඩක් හෙට වනතුරු නොසිට පංතියේ සිසුන් ලවා එදිනම නිර්මාණය කෙරෙව්වේ මාගේ උද්යෝගය වැඩි කමටය. පාසල ඇරී ගෙදර යන විට සම්මාදම් මුදල් එකතුවෙන් කමිසයක්ද මිලදී ගත්තේ වැඩසටහන අවසන ඔහු වෙත පිරිනමා තුති පිදීම සඳහාය.
නමුදු එදින ගෙදර ආවිට මාගේ සියලු සැලසුම් සුන් කරමින් පියා පැවසූයේ යොදා ගත් දිනයේ ඔහුට පැමිණිය නොහැකි බවකි. මා තුළ තරම් වූ උද්යෝගයක් ඔහුට ඒ කෙරෙහි නැති බවත් මාගේ වූ බලවත් උනන්දුව ඔහුට වැටහී නොමැති බවත් මට වැටහිණි. මාගේ මුහුණ බිත්තරයක් මෙන් තැම්බෙනු දුටු ඔහු මා සනසමින් ඔහු වෙනුවට ඔහුගේ ගෝලයෙකු කියූ වේලාවට එවන්නට මා හට පොරොන්දු විය. මාද ඊට එකඟත්වය පළ කළේ සිත තුළ පැසවුණද ඔහුගේ මුහුණට 'ඕනෙ නැහ්!' කියා දමා ගැසිය නොහැකි නිසාය. එමෙන්ම එය එක් ශ්රේණියකට පමණක් සීමා වූ කටයුත්තක් නිසා ද, ළමයින් ඊට ලැහැස්ති කොට තැබූ නිසාද, පියාගේ වැඩසටහනක බලාපොරොත්තු අත්හැරගෙන සිටි නිසාද, සැලසුම් කල දෙය අවලංගු නොකොට හෝ කල් නොයවා ලැහැස්ති වූ ආකාරයටම කරන්නට මම ඉටාගත්තෙමි.
පියා පසුදා මා හට යමෙකුගේ නමක් සහ දුරකථන අංකයක් ලබාදුන්නේ වැඩසටහන කරන්නට තෝරාගත් ගෝලයා ඔහු බව කියාය. ඔහු වැඩසටහන හොඳට කරනු ඇති වගට පියා සපථ වූවේය. නමුදු එය අඩමානෙට කළ ප්රකාශයක් වග ඔහුගේ මුහුණේ ඉරියව් ප්රකාශ කළේය. මේ ගෝලයා කෙලෙස තෝරා ගත්දැයි එනිසා මම ඇසීමි. බොහෝ දෙනෙකු එන්නට කැමැත්ත පළ කළ වගත් ඒ අතුරින් හොඳම කෙනා බොහෝ අමාරුවෙන් තෝරාගත් බවත් ඔහු ඇඟට පතට නොදැනී ප්රකාශ කළේ ඊට පිළිතුරක් වශයෙනි.
දිනය සහ වේලාව එළඹිණි. මා හමුවන්නට මහත්මයෙකු පැමිණ ඇති බවට කාර්යාලයෙන් මට පණිවිඩයක් ලැබිණි. මා එනතුරු ඔහු ගුරුකාමරයේ හිටවන ලෙස කීවේ එළිමහනේ මාර ගස සෙවණෙහි වූ සිමෙන්ති වේදිකාව මත පුටු අසුරා දේශනය සඳහා ළමයින් වාඩි කිරීමේ කටයුත්ත තවම නිම වී නොතිබු නිසාය. ඔහු ගෝල මට්ටමක වූ බැවින් දොස්තර කෙනෙකුට තරම් ආ සැණින් දුවගොස් පිළිගන්නට තරම් සැලකිල්ලක් දක්වන්නට මට සිත් නොදුනි. කටයුත්ත නිමවෙද්දී අනෙක් ගුරුවරියන් දෙදෙන ළමයින් සියලු දෙන මට පවරා එතැනින් නික්ම යන්නට යෙදුණේ ළමයින්ගේ ඉදිරි පාඩම් කටයුතු උදෙසා පිළියෙල කලයුතු අටෝරාසියක් දේවල් තිබූ නිසාය. එතරම් විශාල ශිෂ්ය සංඛ්යාවක් නොවූ හෙයින් මා එය සතුටින් පවරාගත්තේ ඔවුන්ද පාසලේදි ඇතැම් විට මගේ හිස නිදහස් කරගන්නට මෙලෙසින් උදව් දී ඇති නිසාය.
ළමයින් නිහඬ කොට සූදානම් කරවා, අමුත්තා පිළිගෙන කැඳවා ඒමට මම ගුරු කාමරයට ගියෙමි. දෛවයේ සරදමකට මෙන් 'ඔහු' මා අබියෙස හිඳගෙන උන්නේය. පියා එලෙසින් පොරොන්දු වූ ගෝලයා 'ඔහුය.' ලෝකයේ වෛද්ය සිසුන් දස දහස් ගණනක් සිටියදී ඔහුම පියාගේ ගෝලයෙකු වූයේ කෙසේද? ගෝලයන් මෙපමණ සිටිද්දී පියා ඔහුම තෝරා ගැනූයේ මන්ද? ඊටත් වඩා ඔහු වැනි කෙනෙකු දොස්තර වෘත්තියකට වැද ගත්තේ කවුද? කුමක් කරන්නදැයි මට සිතා ගත නොහැකි විය. ඔහුද මා දැක වාඩි වී හුන් අසුනින් නැගිට මා වෙත පැමිණියේය. කලකට පෙර මා හට ඔහු දකින්නට ලැබුණු කාලයේ ඔහු තුළ වූ රස්තියාදුකාර පෙනුම නොව පාසලට ඔබින නියම මහත්මා පෙනුමක් එදින ඔහු කෙරෙන් දිස්විය. රැවුලද කපා ඔප දමා තිබුණි. අත නැවූ සුදු අත්දිග කමිසයද, කලු කලිසමද, බඳ පටියද, කැඩපතක් සේ දිලෙන කලු සපත්තු යුගලයද, කඩවසම්කමට පැහැයක් එකතු කළේය. නොගැළපීමකට වූයේ ඔහු අතෙහි වූ පිටෙහි එල්ලාගෙන යන පොත් බෑගය පමණී. අපි දෙදෙන නිහඬව මුහුණට මුහුණ බලා සිටියෙමු. මා විශ්මයට පත් වුණු මුහුණකින් සැරසුණු මුත් ඔහුගේ මුහුණේ වූයේ අවිහිංසක මද සිනහවකි.
"කරුණාකරලා ආපහු යන්න." නිශ්ශබ්දතාවය බිඳිය යුතු බැවින් උපරිම විනීත භාවයෙන් එසේ පවසා ගුරු කාමරයෙන් පිටතට යන්නට මම ගස්සා හැරුණෙමි.
"මිස්... මිස්..." ඔහු මා පසු පස දිව ආවේය.
"මිස්, අයි ඈම් එක්ස්ට්රීම්ලි සොරි මිස්." මම නැවතුණෙමි. ඔහු ඉංග්රීසියෙන් සමාව අයැද්දේ මොනවා සිතාගෙනදැයි මම නොදත්තෙමි. මම ඊට උත්තර බඳින්නට උත්සහයක් නොදැරුවෙමි.
"සොරි මිස්, මම ලොකු වැරද්දක් කළ වග මම පිළිගන්නවා. ඒත් ආයේ එහෙම වෙන්නේ නැහැ මිස්." එවිට ඔහු මාගේ පංතියේ කුඩා එකෙකු සේ සමාව යැද්දේය.
"මොනවා වුණත් ළමයාට වැරැද්දක් වුණේ නෑනේ මිස්. මිස් කිව්ව විදිහටම එයාව ස්පෝර්ට්ස් වලටයි, ඩ්රාමා වලටයි උනන්දු කෙරෙව්වේ මං තමයි." ඔහු නිදහසට කරුණු කියන්නට විය.
"මේ වැඩේ කෙරෙන්නේ නැහැ. කරුණාකරලා ආපහු යන්න. මට අවදානමක් ගන්න බැහැ." මම මාගේ මතයේ තරයේම වීමි. කඩප්පුළි වැඩක් කිරීම සඳහා ඔහු මේ අවස්ථාවෙන් මෙවර කිනම් ප්රයෝජනයක් ගනීදැයි මා තුළ සැකයක් විය.
"ප්ලීස් මිස්, එක අවස්ථාවක් දෙන්න මගේ වැරද්ද හරි ගස්සගන්න. මේ වැඩේ නොකර යන්න බැහැ මිස්, මගේ ලොක්කා බනීවි." ඔහු මා ඉදිරියේ බැගෑපත් විය.
'අන්න නියම වැඩේ. තාත්තා ලව්වා බන්නවන්න තියෙන්නේ මිනිහට එදා කරපු දේට හිලව් වෙන්න,' මගේ යටි සිත එසේ සතුටු විය. එම ළමයාගේ මවගේ හෙවත් මොහුගේ සහෝදරියගේ දුරකථන ඇමතුමින් පසු මා කෙතරම් බිය වූවාදැයි දන්නේ දෙවියන් පමණී. ඒ කෙසේ වෙතත් ඔහුගේ 'ලොක්කාගේ' දියණිය මා බව ඔහු නොදැන සිටි හැඩකි. නැතිනම් මා ඉදිරියේ මාගේ පියා හට ග්රාම්ය ලෙස 'ලොක්කා' යයි අමතන්නේ නැත. මට කේන්තිය ඩබල් විය.
"මිස්ටර්, මේ අහන්න. මේ ඉස්කෝලයක්. තමුන් එදා කළ වැඩෙන් කී දෙනෙක් කොච්චර කරදර වුණාද කියලා දන්නවද? තමුන්ට විහිළුවක් වුණාට අපි මෙතන වැඩ කරන්නේ වගකීමක් දරාගෙන. ළමයි එක්ක රිස්ක් එකක් ගන්න අපට බැහැ. කරුණාකරලා ආපහු යන්න." මම තෙවන වරටත් ඔහු ප්රතික්ෂේප කළෙමි.
"අනේ මිස් මං දන්නවා ඒක. මිස්ලා කොච්චර ළමයි වෙනුවෙන් මහන්සි වෙනවද කියලා මාත් ඇස් දෙකෙන්ම දැක්කානේ. ඇත්තටම සොරි මිස්. මං ලොකුවට ඒ ගැන හිතුවේ නැහැ එදා. මට එකම එක අවස්ථාවක් දෙන්න මිස්. මේ වැඩේ කරන්න මං කොච්චර මහන්සි වුණාද කියලා මිස් දන්නේ නැහැ. මං පොරොන්දු වෙනවා, මං මේක කෝලමකට ගන්නේ නැහැ. මිස් වගේම ළමයින්ට හොඳ දෙයක් කරන්නයි මටත් ඕනා. ප්ලීස් මිස්, වන් චාන්ස්." මාගලක් මෙන් තම අඬෝවැඩියාව එලෙස ඉදිරිපත් විය. ඔහුගෙන් ගැලවීමක් නැත.
එවෙලෙහි ගුරු කාමරයෙහි වූයේ එක් වැඩිමහලු ජ්යේෂ්ඨ ගුරුවරියක පමණී. ඈ ඇස් කොනින් විපරමින් අප දෙස සැකමුසුව බලනු මාගේ නෙත ගැටිණි. කිසිවෙකුත් අප ගැන අනවශ්ය ලෙස සිතනු මට දකින්නට උවමනා වූයේ නැත. ඔහුද වැඩේ අත් හරින පාටක් නැත. ළමයින්ද සූදානම් කොට තබා තිබේ. මම පසුබැස්සෙමි. කෙසේ වුවද පියා තෝරා එවූ 'හොඳම කෙනා' ඔහුය.
"හ්ම්... හොඳයි, මට අයි.ඩී එක දෙන්න." මම අනන්යතාව තහවුරු කරගැන්මට යමක් ඉල්ලා සිටියෙමි. ඔහු ගැන අවදානමක් ගැනුමට මට නොහැක. ඉල්ලූ ක්ෂණයෙහි ඔහු පොකට්ටුව දිග හැර මට එය ලබා දුන්නේය.
"කැම්පස් අයි.ඩී එක, ඒකත් දෙන්න." ඔහු ඇත්තටම පියා එවූ ගෝලයාමදැයි තහවුරු කරගැන්මට මට අවශ්ය වූයේ තවත් කුපාඩි වැඩකට ඔහුට ඉඩක් නොතබන්නටය. පියා දුන් නමත් හැඳුනුම්පත්හි නමුත් සමාන විය. සහතික පත්රද වූයේ නම් එයද ඉල්ලා ගැනුමට මම පසුබට නොවෙමි. 'සිද්ධියෙන්' පාඩමක් උගෙනගත් දා පටන් අනන්යතාව තහවුරු කරගැනීම සම්බන්ධයෙන් මහත් සැලකිල්ලක් දක්වන්නට මම පුරුදු වී සිටියෙමි.
"යනකොට දෙන්නම්, එන්න." ඒවා එලෙස මා වෙත තබා ගැනීමට නීතිමය හැකියාවක් ඇතිදැයි මම නොදනිමි. එහෙත් ඔහු අනවශ්ය යමක් කරන්නට තැත් කළොත් දැන් මා වෙත ආරක්ෂණයක් ඇත. මම ඔහු කැඳවාගෙන මාර ගස යට වේදිකාවට ගියෙමි. ඔහුද කිසිඳු විරෝධයක් නොදක්වා බෑගය කරටගෙන මා පසු පස ආවේය. ළමයින් නිහඬව තබා තැබිය හැකි කාල සීමාව ඉක්මවා මා ඔහු වෙනුවෙන් කාලය මිඩංගු කොට තිබිණි.
'ඔහෝ... මෙතනද කරන්නේ?"
පුටු පෙරළාගෙන කෑ කෝ ගසමින් හුන් ළමා කැල දකිත්ම ඔහු ප්රකාශ කළේය. ඔහුට සියලු සැප පහසුකම් ඇති ශාලාවක් අවශ්ය වී ඇති හැඩකි.
"ඒක හොඳයි එළිමහනේ හුළං වැදි වැදි," ඔහු වාක්ය සම්පූර්ණ කළේය. මා සිතුවා වැරදිය. නමුත් මම ඊට ප්රතිචාරයක් නොදක්වා මාගේ සීරියස් මුහුණ ආරුඪ කරගෙන සිටියෙමි. මට ඔහු සමඟ වැඩි කතාවක් අවශ්ය නොවිණි. මගේ සිසුවෙකු වූ ඔහුගේ කුඩා බෑණනුවන් ආඩම්බර ලීලාවෙන් තම සගයන් අතර වැජඹෙනු වේදිකාවට පිවිසෙන විටම මගේ ඇසට හසු විය. සද්දයක් දමා සියල්ලන් නිශ්ශබ්ද කොට පියාගේ ගෝලයා ළමා නඩයට හඳුන්වා දුනිමි.
ඔහු තම බෑගය එහි වූ මාගේ ගුරු මේසය මතින් තබා එම කුඩා වේදිකාවේ ළමයින් අතරින් රවුමක් ඇවිද ළමයින් සමඟ තම කතා බහ ඇරඹීය. ඔහුගේ මාතෘකාව 'දත්' ගැන විය. මාද වේදිකාවේ කොණක වූ ගුරු පුටුවක අසුන් ගෙන ඔහු කියනා අකුරක් අකුරක් ගානේ කන් යොමාගෙන සිටියෙමි. වැරදි යමක් ඔහුගේ කටින් පිට වුවහොත් කණින් ඇද එළියට දමන්නට මම සැදී පැහැදී සිටියෙමි.
නමුත් ඇත්තටම එවැන්නක අවශ්යතාවයක් නොවිණි. ඔහු පොරොන්දු වූ පරිදිම අවස්ථාව කෝලමකට ගත්තේ නැත. ඇත්තෙන්ම ඔහු කුඩා දරුවන් සමඟ පෑහෙන්නේ කෙලෙසකදැයි දැන සිටියේය. එය හුදු කියවිලි දේශනයක් නොව මා බලාපොරොත්තු වූ ආකාරයේම ළමුන් සමඟ සන්නිවේදනයේ යෙදෙමින් කෙරුණු වැදගත් හුරුබුහුටි කතාබහකි. ඔහුද ළමයෙකු බවට පත්ව සිටියේය. දොස්තර භාෂාවේ බරපතල නොතේරන වචන ඔහුගෙන් පිට නොවිණි. මා ගුරු පුටුවක් ඔහු වෙනුවෙන් පිළියල කර තිබුණද ඔහු වාඩි ගත්තේ අප විසින් වැඩිපුර ගෙනවිත් තිබූ හිස් ළමා පුටුවක ළමයින් අතරේය. ළමුන් සමඟ කෙරෙන කතාබහකදි ඒ සමව වාඩි වීමේ වැදගත්කම ඔහු දැන සිටියේය. මෙලෙසින් පැය බාගයක්ම ගතවනු අපට දැනුණේ නැත. ඔහුගේ කුඩා බෑණනුවන්ගේ සගයන්ගෙන් විශාල සහයෝගයක් ඔහුට ලැබිණි.
"හොඳයි දැන් කියන්න බලන්න අද ගෙදර ගිහිල්ලා කොයි වෙලේටද ඔයාලා දත් මදින්නේ?"
"රෑට." ළමයින් එකෙකුගේ දෙන්නෙකුගේ මුවින් පිටවිය.
ප්රශ්නාර්ථ මුහුණකින් නෑසුණු බව අඟවන්නට ඔහු නාට්යානුසාරව කණ පිටුපසින් අත තැබුවේය.
"රෑට....."" සියල්ලන්ගේම ප්රතිචාරය පැනයට ලැබිණි.
"රෑට දත් මදින හොඳ ළමයි එහෙනම් මේවා කෑවට කමක් නෑ." ඔහු තම බෑගය දිගහැර චොකලට් ටොපි මල්ලක් ඉවතට ගත්තේය. ළමෝ වෙතින් 'සූ...' හඬක් නැගිනි. ළමයි අතරේ එය බෙදා දෙන්නට සැරසී යමක් මතක් වූවා සේ ඔහු මා දෙසට හැරුණි.
"හ්ම්... ඔයාලගේ ටීචර් කැමති වෙයිද දන්නේ නැහැ ඔයාලට මෙව්වා මම දෙනවට." ඔහු ළමයින් දෙස කලුකරගත් මුහුණින් බලා සිටියේය.
"අනේ ටීචර්...." එක් කටකාර කොලුවෙකු ඊට උල්පන්දන් දුනි. අනෙක් ළමෝද ඉන්පසු ඔහුට හවුල් වූහ.
"අපි ටීචර්ටත් එකක් දෙමු. ටීචරුත් රෑට දත් මදිනවා ඇති," යැයි ඔහු පැවසුවේ මා හට දුන් පොරොන්දුව අමතක කරමිනි. ළමයින්ගේ සිනා සාගරය මැද ඔහු මටද චොකලට් ටොපියක් ලබා දුන්නේය. මාද සිනාවට හවුල් වෙමින් එය භාරගත්තේ ඔහු තම කර්තව්ය බලාපොරොත්තු වූ පරිදි මැනවින් ඉටුකළ නිසාය. මාගේ කෝපය ඒ වන විට නිවී ගොස් තිබිණි. ඔහු ළමයින් අතරේ චොකලට් ටොපි බෙදා දෙන්නට විය.
"හරි ළමායි... දැන් කියන්න ඔයාලට මං කිව්ව දේවල් ගැන ප්රශ්න මොනාහරි තියනවද?" ඔහු තම වැඩසටහන අවසන් කරන්නට මත්තෙන් විමසීය.
"ඔයා ඇත්තටම උවිඳුගේ පොඩි මාමද?" මේ සා වැදගත් කතාවක් අවසානයේ සියල්ලන්ටම වූ ගැටලුව එය විය.
"කවුද උවිඳු කියන්නේ?" ඔහුද කවටකමට පෙරළා ප්රශ්න කළේය. සියල්ලන්ගේම ඇඟිලි ඔහුගේ කුඩා බෑණනුවන් වෙතට දිගු විය.
"කෝ බලන්න..." යැයි කියමින් ඔහු උවිඳු දෙසට පිය නැගීය.
"කෝ කට ඇරලා දත් ටික පෙන්නන්න." ඒ අහිංසක දරුවාගේ එතෙක් වෙලා පැවති ආඩම්බර මුහුණ දියාරු වී ගියේය.
"අපෝ හරියට දත් මැදලා නෑනේ. මං කොහොමද මෙයාගේ මාමායි කියන්නේ කටක් ඇරලා. ඔයාලා දන්නවද, දත් මැද්දේ නැති වුණාම කට ගඳ ගහනවා. මේ බලන්න" ඔහු එම දරුවා ඔහුගේ සගයන් මැද්දේ එලෙස ලැජ්ජාවට පත් කළේය. බෑණනුවන් වෙත ඇසක් ගසා පිටට තට්ටුවක් දී මා වෙත පැමිණි ඔහු ප්රකාශ කළේ තම කටයුත්ත හමාර බවකි. පැමිණියාට ඔහුට තම ස්තූතිය පළ කරන්න යැයි මම ළමයින් හට කියා සිටියෙමි. පියාට අසන්නට ළමයෙකු ලවා සූදානම් කළ ස්තූති කතාව දොස්තර ගෝලයා වෙනුවෙන් වෙනස් කොට පුරුදු කරන්නට මට උදය වරුවේදි හැකි විය. එමෙන්ම ඔවුන් විසින් සැකසු සමරු තිළිණයද ඔවුන් අතින්ම ඔහු වෙත තිළිණ කළෙමි. අවසාන වශයෙන් දිය යුතුව තිබුණේ කමිසයයි. පියාණන් වෙනුවෙන් මිලදී ගත් කමිසය මොහු වෙත දෙම්දෝ නොදෙම්දෝ යන දෙගිඩියාවක් මා සිත තුළ විය. ඔහු විසින් කලකට පෙර සිදු කරන්නට යෙදුණු හදියත්, අද දින සිදු කළ මහඟු සේවයත් අතරේ මම දෝලනය වෙමින් සිටියෙමි. කමිසයට මා අතින් කිසිඳු මුදලක් වැය නොවූ බව සත්යයකි. එය ළමයින් විසින් පිරිනැමෙන්නකි. කමිසයේ ප්රමාණයද ඔහුට ගැලපේ. නමුත් අවසානයේ, කමිසයට ගිය මුදල මාගේ අතින් යළි සම්මාදමට දමන චේතනාවෙන් කමිසය ඔහුට නොදී සිටින්නට මා මනසේ තීරණය වූයේ කුමන හේතුවක් නිසාදැයි මම නොදනිමි. ඔහු වෙනුවට වෙනත් ගෝලයෙකු පැමිණියානම් අනිවාර්යයෙන් මම එය එම පුද්ගලයා වෙත දෙන්නෙමි.
දහවලට ආසන්නව පැවති බැවින් පාසල් ආපනශාලාවෙන් ඔහු වෙත කෙටි ආහාර වේලක් පිළියෙල කොට තිබුණේ මගේ පූර්ව සැලසුමට අනුවය. මේ බව පවසා ඔහුව ආපනශාලාව වෙත මම කැඳවාගෙන ගියෙමි. 'කෑමයි කමිසෙයි දෙකම මේ හාදයාට නිකන් දෙන්නේ මොකටද?' මාගේ තීරණය මා සිතින් සාධරණීකරණය කළේ එලෙසය. ඔහුට කෑම වේල පිළිගන්වා අපේ හමුව එයින් අවසන් කරන්නට මම ලැහැස්ති වුණෙමි.
"අනේ මිස්, මා එක්ක අමනාප වෙන්න එපා එදා වෙච්ච දේට. අමතක කරලා දාන්න."
මා ඊට කිසිත් පිළිතුරක් නොදී මද පමණට සිනහවකින් සැරසී ඔහු වෙතින් නික්ම ගියේ ඔහු තවත් දොඩන්නට වෙනු ඇතැයි සිතාය.
එදින එසේ යහතින් සියල්ල නිමවූ නමුත් මා පියාණන් වෙතින් කළ ඉල්ලීමේ 'නියම' අවසන් ප්රතිඵලය ඇත්තෙන්ම මා හට අත් විඳින්නට ලැබුණේ පසුදාය. ඒ මා හට පැමිණ ඇය හමුවන්නට යැයි විදුහල්පතිනිය පාසල අවසානයේ පණිවිඩයක් එවූ මොහොතේය.

Comments