Daisy (2006)

මල් කතා

නටුවෙන් ගිලිහුණ පින්න මල්වලට, හිත හොරා ගත්තු ඩැෆඩිල් මල්වලට, ලස්සන වසන්ත කාලෙට පිපෙන ඇපල් මල්වලට ගී පබැඳුම් රහ කරන්න පුළුවන් වුණාට මල් වලට පුළුවනිද සිනමා සිත්තමක් රහ කරන්න. කතාවෙම එන චරිතයක් වෙන්න.

මතකෙ හැටියට මම එහෙම කතා දැනට දෙකක් බලලා තියනවා. එකක් තමයි ශුජිත් සර්කාර්ගේ ඔක්තෝබරයෙන් කියන සේපාලිකා මලේ කතාව. වරුන් ධවාන්ගේ චිත්‍රපට වලට සාමාන්‍යයෙන් අකමැති වුණත් October(2018) ට්‍රේලර් එකේදි හරිත වර්ණ පසුබිමක සේපාලිකා මලක් කැමරා කාචයට හසු කරගෙන තිබිච්ච විදිහට වහ වැටිලා තමයි ඒක බැලුවේ. මේ කියන්න හදන්නේ දෙවැනි කතාව. කොරියානුවො ඩේසි මලකින් තමන්ගේ සිනමා සිත්තම වර්ණ කරගත්තේ මෙන්න මේ විදිහට.

Daisy (2006) Movie Poster



Daisy (2006) [Korean]
මේක කොරියන් උන්මාදය බෝවුණු මුල් කාලේ බලපු කතා අතරින් එකක්. ඔබටත් ඒ උන්මාදය හැදෙන්න 2000 මුල් දශකයේ ආපු Il Mare, My Sassy Girl, Windstruck කියන චිත්රපට අතරින් එකක් හරි බලපාන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේකේ ඉන්නෙත් ඒ දැරිවිම තමයි. Moment to Remember එකේ ඉන්න හාදයාත් ඉන්න නිසා ගොඩ දෙනෙක් මේකත් බලලා ඇතියි කියලා හිතනවා. ළඟදි තමා දැනගත්තේ මේකට Asian cut සහ International cut කියලා දෙකක් තියන වග. ඉතින් ආයේ බලනවා නම් පැය දෙකක ධාවන කාලයක් තියන International cut එක බලන්න. ට්විස්ට් එක හොඳටම දැනෙන්නේ ඒකෙන්. (කැමති අයට යුටියුබයේ මේ දෙකම තියේ.)
කොරියන් කිව්වට සම්පූර්ණයෙන්ම රූගත කිරීම් කරලා තියෙන්නේ නෙදර්ලන්තයේ, Amsterdam සහ Haarlem නගර වලත් Epen කියන සුන්දර ගම්මානයේත්. ඒ දැරිවි ඒදණ්ඩේ යන්න බැරිව ජබොඃ ගාලා ඇළට වැටෙන්නේ "එපන්" කියන ඒ අති සුන්දර ගම්මානයේදි.
Romantic Melodrama ශානරයට අයත් කිව්වට හීනියට පොඩි ත්රිලර් ගතියකුත් ට්විස්ට් එකකුත් තියේ. මං කැමතියි ඒක කලාත්මක සිනමා සිතුවමක් විදිහටත් නම් කරන්න. සිත්තරාවියක් ඉන්න හන්දාත් මල් හන්දාත් එහෙම කිව්වා නෙවි. ඒකේ මන බඳින රූප රාමුවලත් කන් පිනවන ආත්ම කථනයේත් මට කලාත්මක බවක් දැණුනා. එකම දෙයක් ගැන තුන් දෙනෙක් තම තමන්ගේ දෘෂ්ටිකෝණවලින් කියන කතාවක් විදිහට තමයි චිත්රපටය ගෙතිලා තියෙන්නේ.
ඉතින් වෘත්තිය ඝාතයෙකුත්, ඉන්ටර්පෝල් රහස් පරීක්ෂකයෙකුත්, සිත්තරාවියකුත් එක්ක ඩේසි මලක කතාව මොකක් වෙන්න පුළුවන්ද?

Comments