Bhalo Theko (2003)

විද්යා බාලන්ගේ පළවෙනි චිත්රපටය පරිනීතා කියලද හිතාගෙන හිටියේ. නෑ... එයාගේ පළවෙනි එක බෙංගාලි නිර්මාණයක්. නියම ක්ලැසික් බෙංගාලියක්. 


මේ රසය හඳුන්වන්න තරම් මගේ වාග් කෝෂය ශක්තිමත් නැහැ. දන්න වචන වලින් කිව්වොත් බොහොම හෙමින් ගලාගෙන යන, හැඟීම් එක්ක ගණුදෙණු කරන, සාහිත්යාත්මක ගුණයක් කැටි කරගත් කතාවක්. තව විදිහකට කිව්වොත් "රායි" ලෙවල් එකේ කතාවක්. ඉතින් ඒ රසඥතාව ප්රගුණ කරලා නැති නම් ඒ අයට බෝරිං වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේ නිර්මාණයට ඉන්දියාවේ ජාතික චිත්රපට සම්මාන උළලේ කප් තුනක්ම ගහන්න පුළුවන් වුණා.

ගොඩක් අය ඉන්දියානු සිනමාව මනින්නේ Filmfare වලින්. ඒත් Indian National Film Awards දිහා බලනවනම් සමස්ථ ඉන්දියානු සිනමාවෙම; හින්දි, දමිළ, මලයාලම්, තෙළිඟු, බෙංගාලි.... ආදි එකි නොකි මෙකි සියල්ලකගෙන්ම හොඳම මැණික් ටික හොයාගන්න පුළුවන්.

Bhalo Theko (2003) [Bengali]

හරි අපි කතාව දිහාට හැරෙමු.


ඇගේ නම ආනන්දි... Giver of Joy... "සතුට බෙදන පොලියානා..." නමේ විදිහටම ඇය දිවි ගෙවන්නේ ආනන්දය පතුරවමින්.
ඒත්...
වරෙක ඇගේ ජීවිතයේ වූ ප්රියතමයන්, දැන් ඇගේ දිවියෙන් දුරස් වෙලා. ප්රිය විප්රයෝගය දුකක් කිව්වට තරුණ ඇගේ තනිකඩ ජීවිතය ඒ සියල්ල මැඩලගෙන තනිව හුදකලාව දිවි ගෙවනවා. සමාජය ඉදිරියට ගියත්, මිනිස්සු වෙනස් වුණත්, ඇගේ ලෝකය තාමත් එතැනමයි. හුදෙකලාවට ඇබ්බැහි වුණාම එතැන ඇත්තේ සතුටක්, දුකක් නෙවෙයි. ආනන්දිටත් එහෙමයි. විශාල වලව්වක ලෙන්ගතු ප්රවේණිදාසයන් අතරේ, සිතගත නිවන සොබා සෞන්දර්ය අතරේ අවිවේකි වුණාම, දුරස් වුණු අය ගැන, වෙනස් වෙන ලෝකය ගැන, දුක් වෙන්න කොයින්ද වෙලාවක්...
කවුරුහරි ගම්පෙරළියේ/කලියුගයේ අනුලාට කතාවක් ලියනවනම් හදනවනම් ඒක ආනන්දිගේ කතාව වගේ ගලා යාවි. ඇගේ නැගණිය; නන්දා, පියල් එක්ක විවාහපත් වෙලා වෙනස්වෙන ලෝකයත් එක්ක ඉස්සරහට යනකොට ලෙඩින් වැටී මහගෙදර තනිවෙන අනුලාට මොනවා හිතුණද කියලා ඔබ කිසි දවසක හිතලා තියනවද? එහෙනම් ආනන්දි කියාවි ඒ කතාව. කුඩා කළ මහත් ආදරයෙන් පෝෂණය කළ, රන් ආභරණ පවා උගස් කරන්නට දී ඉගැන්වූ තම එකම සහෝදරයා තිස්ස, අපිස් දිවියකට හුරු වනවිට අනුලා එය පිළිගත්තේ කෙළසකදැයි ඔබ වරෙක හෝ හිතුවාද? ආනන්දි එයත් ඔබට කියාවි. කලියුගයේ ඇලන් හුරතල් කරමින් රැක බලාගනිමින් සිටියදි අනුලාගේ සිත තුළ නලියන්නට ඇත්තේ මොනවාදැයි කියා ආනන්දිගෙන්ම ඔබට අසා දැනගත හැකි වේවි. අනුලා එහෙම තනිවුණේ ඇයිද මන්ද කියලා වික්රමසිංහවත් ලෙස්ටර්වත් ලොකුවට නොකිව්වට ආනන්දිගේ කතාව අහලා ඒ ගැන දෙයක් හිතේ මවා ගන්න බැරිකමක් නැහැ.
ඉතින් මේ සිතින් ගතින් නිවිච්ච ආනන්දිට පණ පොවන Vidya Balanගේ අද දකින රංගන පෞරුෂය ඇගේ පළමු චිත්රපටයෙත් ඒ ආකාරයෙන්ම ඒ විදිහටම දැකගන්න පුළුවන්. හැබැයි මුහුණේ හැඟීම් ප්රකාශනය රස භාවයන් ඒ විදිහටම දැක්කට ඇගේ කටහඬේ තියන ලාලිත්ය මට කොතනකින්වත් හොයාගන්න බැරි වුණා. මතකයිනේ Tumhari Sulu (2017) එකේ Helloව👌 . Dubbed කියලා හිතෙන තරමටම ඒ රිද්මය ආනන්දි ගාව තිබුණේ නැහැ. බලන්න කැමති අයට bengali movies with english subtitles නම් යූටියුබ් චැනලයෙන් බලන්න පුළුවන්.



ඇගේ පළමු නිර්මාණය බෙංගාලි වීමත්, ඇගේ බොහෝ සාර්ථක නිර්මාණ කල්කටාව ආශ්රිත වීමත් නිසා බොහෝ දෙනෙක් තමන් බෙංගාලි කියා සිතන බව ඈ වරක් ප්රකාශ කොට තිබුණා. ඇගේ පළමු නිර්මාණයේදිම බෙංගාලි සිනමාවේ දැවැන්තයෙක් වුණු Soumitra Chatterjee සමඟ රඟපාන්නට ලැබෙනවා. අලවලා තියන ඡායාරූපයේ ඉන්නේ එකල නවකයෙක් වුණු Parambrata Chatterjee. බාලෝ තේකෝ කියන්නේ එයාගේ දෙවනි චිත්රපටය. ඔව් අවුරුදු 9කට පස්සේ ඒ දෙන්නා; ආනන්දි සහ දීප්, ආයේ Kahaani (2012) එකේදි කල්කටාවෙදි මුණ ගැහෙනවා, විද්යා බගචි සහ ඉන්ස්පෙක්ටර් රානා ලෙසින්. එහිදී බාලෝ තේකෝ හි "දීප්" ගැන තිබූ මතකය අඩුවක් නොකොට විද්යා සතු වූ බව පරම්බ්රතෝ පවසා තිබෙනවා.

Comments