අපූර් පංචලි සහ මතකයෙන් ගිලිහෙන ළමා නළුවන්
Apur Panchali 2013 |
මේ ළඟඳි දවසක Toranaලා, සුසිරන් ද සිල්වාගේ "පිළිමවහන්සේ" ඒකාංගික ටෙලි නාට්යය, යූටියුබ් නාලිකාවට උඩුගත කොට තිබුණා. 94/95 කාලේ ඒක ලොකු හිට් එකක් වුණු ටෙලියක්. දෙබස් පවා කටපාඩම් වෙන තරමට අපි පොඩිකාලේ ඒක ජාතික රූපවාහිනියේ සෑහෙන්න විකාශය වුණා. තමන්ගේ අතින් බිම වැටිලා කුඩු පට්ටම් වෙන වටිනා බුදු පිළිමය ගැන ලොකු හාමුදුරුවන්ට කියන්න තතනන පොඩි හාමුදුරුවන්ගේ තැතැනිල්ල ගැන කාටත් මතක ඇති. ඒ රංගන හැකියාවට 95 පළමු සුමති ටෙලි සම්මාන උළලේ සම්මානයකුත් හිමිවුණා මතකයි. ගජමන් නෝනාගේ පුතෙකුට හිටියට පස්සේ ඒ ළමා නළුවව පුංචි තිරේ දකින්න ලැබුණේ නැහැ. ඒ ගැන හිතනකොට තමයි ඒ වීඩියෝවේ comment අස්සේ දැක්කේ ඔහු දැන් ඇත්තටම මහණ වී ඇති වග.
මේ කතාවත් එක්කම මට එක පාරටම මතක් වුණේ නිරානන්දයේ පොඩි එකා උක්කුං. නිරානන්දයත් ප්රචාරය වුණේ ඒ සමකාලිනව. "කොණ්ඩ පීතරේ කාපි ලෑතරේ" කියාගෙන දුවන ඒ පොඩි කොල්ලාගේ රඟපෑමත් ජීවිතය තුරාවට මතක හිටින රංගනයක්. ඒත් ඒ නළු කමෙත් දීර්ඝ ගමනක් අපිට දැකගන්න ලැබුණේ නැහැ. ඒකට හේතුව ගැන ලස්සන සටහනක් උක්කුංගේ චරිතයට පණ පෙවූ හිරන්ත මහතන්තිල මාස කීපෙකට කලින් තමන්ගේ ෆේස්බුක් ගිණුමට එක් කොට තිබුණා.
මේ විදිහට ගත්තොත් මතකයෙන් ගිලිහුණ පොඩි එවුන්ගේ සෑහෙන දිග නම් ලයිස්තුවක් කියත හැකි. හැබැයි මේ ලිපියේ අරමුණ නම් ලයිස්තුගත කිරීම නෙවෙයි. අපි ඒක commentවල කරමු. ඒත් මේ මතකයෙන් ගිලිහීම ලස්සන දෘෂ්ය කාව්යයකට තේමා වුණොත් කොහොමට හිටීවිද? අපූර් පංචලි අන්න ඒ වගේ කතාවක්.
Apur Panchali (2013) [Bengali]
ඉතින් මේ සිනමා සිත්තමට හේතු පාඨවන මතකයෙන් ගිලිහුණ ළමා ශිල්පියා කවුද? ෆිලුමේ නමින්ම ඔබට පොඩි හෝඩුවාවක් ලැබේවි. ඔව් ඔබ හරි, සත්යජිත් රායිගේ පාතර් පංචාලියෙන් කරළියට ආ අපූ ගැන තමයි මේ කතාව. හරියටම කිව්වොත් අපූට පණ දුන් ළමා රංගන ශිල්පියා සුබීර් බැනර්ජිගේ කතාව.
පාතර් පංචලි චිත්රපටයේ පූර්ව නිෂ්පාදනය අතරතුර, සත්යජිත් රායි අපූගේ චරිතය සඳහා වයස අවුරුදු පහේ සිට හත දක්වා පිරිමි ළමයින් සොයමින් පුවත්පත්වල දැන්වීම් පළ කරනවා. කොණ්ඩය කොටට කපාගත් ගැහැණු ළමයෙක්ද ඇතුළුව පිරිමි ළමයින් සිය ගණනක් කුසලතා පරීක්ෂණය සඳහා පැමිණියත් ඔවුන්ගෙන් කිසිවෙකු අධ්යක්ෂකවරයා අපේක්ෂා කළ පරිදි අපූට පෑහෙන්නේ නැහැ. දිනෙක රායිගේ බිරිඳ වූ බිජෝයා හට ඔවුන්ගේ මහල් නිවාසයේ අසල්වැසි ගොඩනැගිල්ලක වහලය මත සෙල්ලම් කල අපූරු පිරිමි ළමයෙකු ඇස ගැටෙනවා. එදින ආගන්තුකයෙකු දකුණු කල්කටාවේ ලේක් ඇවනියු හි වාසය කළ මේ පස් වියැති දරුවාගේ නිවස කරා ඇදෙන්නේ ඔහුගේ චිත්රපටයකට දරුවා අවශ්ය බව පැවසීමට. නමුත් පියා ඊට කැමති වන්නේ නැහැ. "අද ඔයාගෙ පුතාවත් මාවවත් කවුරුත් දන්නෙ නෑ. නමුත් මම කරන්නේ බෙංගාලි සිනමාව වෙනස් කරන චිත්රපටයක්. එතකොට, මුළු බෙංගාලයම අපි දෙන්න ගැන දැන ගනීවි." මේ ආගන්තුකයා පියාට පවසනවා. අවසානයේ පියා ඊට කැමැත්ත ලබා දෙන්නේ සත්යජිත් රායිගේ මේ වචනවල තිබූ අවංකකම ගැන පැහැදීම නිසා.
මෙම පිරිමි ළමයා, Subir Banerjee, අවසානයේ අපූගේ චරිතය සඳහා තෝරා ගැණුනා.
1952 ඔක්තෝබර් 27 දින රූගත කිරීම් ආරම්භ වෙනවා. මුලින්ම රූගත කරන්නේ සුදු කැෂි තෘණ යායක් හරහා දුර්ගා පසුපස ඈ සොයමින් යන අපූගේ දර්ශනය. එම දර්ශන පෙළ නිශ්පාදකයෙකු ආකර්ශනය කරගන්නට සමත් වෙතැයි අධ්යක්ෂක රායි සිතනවා. නමුත් එය සිනමා කාචයට හසු කර ගැනීම ඔහු සිතූ තරම් පහසු වන්නේ නැහැ. ඊට එක හේතුවක් වන්නේ කිසිඳු රංගන අත්දැකීමක් නැති කුඩා සුබීර්ව අධ්යක්ෂණය කරන්නට සිදුවීම. "පහරදෙන අශ්වාරෝහක බලඇණියක් රූගතකරනවාට වඩා එවැනි දර්ශනයක් දෝෂ රහිතව රූගත කිරීම දෙගුණයක් දුෂ්කර බව මම එදා දැන සිටියේ නැහැ." සත්යජිත් රායි පවසා තිබෙනවා. තෘණ යාය හරහා අපූ යා යුතු වූයේ දුර්ගා සොයන අන්දමින් විරාම සහිතවයි. නමුත් කුඩා සුබීර් හට එය නිසි ආකාරව කරන්නට නොහැකි වෙනවා. අවසානයේ ඊට රායිගේ පිළියම වන්නේ අපූ ගමන් කළ යුතු මාර්ගයේ විරාම දැක්විය යුතු බව මතක් වන්නට තැනින් තැන කුඩා බාධක තැබීමයි. අවට බැලිය යුතු අවස්ථාවන්හි තෘණ යායේ දෙපස සැඟවගත් සහයකයන් විසින් ඔහුගේ නම අමතනු ලැබුවා.
මුදල් නොමැතිකම හේතුවෙන් රූගත කිරීම් වසර කිහිපයක් පුරා ඇදෙනවා. වැඩෙන දරුවෙකු වූ සුබීර්ගේ කටහඬ ඒ අතරේ වෙනස් වේ යැයි සත්යජිත් රායි බියෙන් පසු වූවත් වාසනාවකට එවැන්නක් සිදුවුණේ නැහැ.
මැනිලා අන්තර්ජාතික සිනමා උළලේදී හොඳම ළමා නළුවාට හිමි සම්මානය ඔහු දිනාගන්නා නමුත් ඔහුට මැනිලා නුවර යන්නට නොහැකි වන්නේ තයිපොයිඩ් උණ රෝගය නිසා.
ඔහු රඟපෑ පළමු සහ එකම චිත්රපටය වන්නේ පාතර් පංචලි පමණයි. එහි සාර්ථකත්වයෙන් පසු ඔහු මාධ්යයෙන් වසන් වෙනවා. 1980දී පාතර් පංචලි 25ස් වන සමැරුම සනිටුහන් කිරීමට India Today පුවත් පත සුබීර් බැනර්ජි සොයා නොගත්තේ නම් සදහටම ඔහු අමතක වී යෑමට ඉඩ තිබුණා. එවකට ඔහු කල්කටාවේ තදාසන්න ප්රදේශයක කර්මාන්ත ශාලාවක සේවය කළ 33වියැති තරුණයෙක්. ඔහු අපූ හැර ගියත්, අපූ ඔහු හැර යන්නේ නැහැ.
හරි දැන් අපි සුබීර් බැනර්ජිගේ පැටිකිරිය නවතා අපූර් පංචාලි දෙසට හැරෙමු.
චිත්රපටය ආරම්භ වන්නේ "A tribute to all celebrated child actors, lost now in lives unknown" යන පාඨයත් සමඟින්. චිත්රපටය පුරාම වරින් වර නැගෙන පාතර් පංචලියේ රවි ශංකර්ගේ මන බඳින සංගීත ඛණ්ඩය නොස්ටැල්ජියාවට අත දිගු කරනවා. අපූ ත්රිත්වයේ දර්ශන, සුබීර්ගේ තරුණකල සමඟ සමපාත කරන්නට යෑම චිත්රපට නැරඹීමට හිරිහැරයක් වුවත් චිත්රපටය රසවින්දනයට බාධාවක් වන්නේ නැහැ. අපූ ත්රිත්වය ඇති පදම් නරඹා ඇති අයවලුන්ට සුබීර්ගේ සහ අපූගේ ඉරණමෙහි ඇති සමානකම තේරුම් ගැනීමට අපූ ත්රිත්වයෙහි දර්ශන උපුටා දැක්වීම අවශ්ය වන්නේ නැහැ. විශේෂයෙන්ම සුබීර් (Parambrata Chattopadhyay) සහ ඔහුගේ බිරිඳ අශිමා (Parno Mittra) දකින විට නිතැතින්ම මතකයට නැගෙනුයේ අපූ සහ ඔහුගේ බිරිඳ වූ අපර්ණා. පාතර් පංචලියේ හරීහරගේ නිවස පිහිටි දර්ශනතලය දැක බලා ගැනීමට යන ගමනේදි හැරෙන්නට අනෙක් උපුටාදැක්වීම් අවැසි නැත යන්නයි මගේ හැඟීම. ඒ කෙසේ වුණත් ඒ උපුටා ගැනීම් අධ්යක්ෂක කෞෂික් ගංගුලි හට International Film Festival of India (IFFI)හි හොඳම අධ්යක්ෂවරයා සම්මනය දිනා ගැනීමට කිසිඳු අවහිරයක් සිදු කරන්නේ නැහැ.
පාතර් පංචලි නොහොත් මාවතේ ගීතයෙහි සහෘදයෙකු වන ඔබ තවමත් මේ කෘතිය නරඹා නොමැති නම් චිත්රපටයෙහි ප්රචාරණයට යොදාගත් Arijit Singhගේ මධුර මනෝහර හඬ පෞරුෂයෙන් සංගීතවත් වන Apur Paayer Chhaap නම් බෙංගාලි ගීතය නරඹන්නට ආරාධනා කරනවා.
Bugs in the water lilliesDamp wings of the mynah (asian bird) glistenThe grass grows in silenceAnd a canopy of gray above usThis little road of mine, took me further than I ever knewApu's footprints, are in the song of a flute far awayI can still see the kans grass in my mindAs it grew in rows and linesAnd the chugging train like the curse of timeTo this day, the terrace has the red footprints of a newly wedLike moving pictures, telling a story they do seemStubborn memories of black and whiteApu's foot print, are in the song of a flute far away
Comments
Post a Comment