A Short Story - මාමාගේ විසේ

ඔහු මගේ මවගේ බාල සොහොයුරාය. ඔහුට අපූරු හදවතක් තිබිණි. එයටම ගැලපෙන අපූරු මොළයක්ද තිබිණි. මේ දෙකම එක්තැන් වූ විට ඔහු අතින් අපූරු වැඩද සිද්ධ වූයේ අහම්බයකින් නොවේ. පෙළක් ඇත්තවුන් ඒවා මගෝඩි වැඩ කියා අර්ථ ගැන්වූවාට මා නම් සිතුවේ එවා ‘මරු’ වැඩ කියාය. මා එය අදටත් සිතන්නේ එහෙමය.




ඔවුන් අතර අවුරුදු 10ක පමණ විශාල වයස් පරතරයක් විණි. මේ නිසා මාගේ මව් විවාහ වී නගරයේ පදිංචියට එන විට ඔහු ගමක වූ කුඩා කොලු ගැටයෙකු විය. ඔහුත් මාත් අතර ආශ්රය ඇති වූයේ ඔහුගේ විශ්ව විද්යාල ජීවිතයේ ආරම්භයත් සමඟය. ඒ, ඔහු මේ සඳහාම ගමෙහි සිට අප නිවසේ පදිංචියට ආ විටය. ඔහුගේ නව ආගමනයත් සමඟ අප පාළු නිවසේ නව ආලෝකයක් මතු විය. හරියටම කිවහොත් මගේ ලෝකයේ නව පිබිදීමක් ඇති විය. ඔහුගේ නව යොවුන් තාරුණ්යය මගේ ළමාකමට සෑහෙන ලොකු බලපෑමක් ඉටුකළේය. එකල මට කිසිඳු සහෝදර සහෝදරියෙකු සිටියේ නැත. අඩුම තරමේ මව් පිය ඥාති පිරිසෙන්වත් කිසිවෙකුත් නොවීය. සියල්ලටම සිටියේ පොඩි මාමා පමණී.
වරෙක ඔහු මට පියෙකු විය. මම ඔහුට පුතෙකු විමි. එය මහත් කලබගෑනියක් වූ සිදුවීමකි. ඒ කතාව සැකවින් කීවොත් මෙසේය.
ඔහු කැම්පස් යන අතරමඟ මා ගිය පාසල වූ නිසා එකල එක වසරෙහි ඉගෙනුම ලැබූ කුඩා මා පාසැල් ගෙනයාම භාරවූයේ ඔහුටය. පාසල් වෑන් රථයක් සොයා ගන්නට නොහැකි වූ කාර්යබහුල මාගේ දෙමව්පියන් හට එය විශාල පහසුවක් විය. පොඩි මාමා එය කරදරයක් ලෙසින් සැලකුවේදැයි මම නොදනිමි. නමුත් ඔහු සමඟ ගමන් බිමන් යාම මා හට නම් විනෝදජනක කටයුත්තක් විය. උදෑසන විශ්ව විද්යාල දේශන සඳහා ඔහු පමාවන ඇතැම් දිනයන්හීදි මා පාසැල් ගේට්ටුව තෙක්ම රැගෙන යාමට ඔහු කරදර වන්නේ නැත. ගේට්ටුව පෙනෙන නොපෙනෙන දුර ඈත මානයෙන් මා තනිකර දමා, මා හට තනිව ඉදිරියට යාමට දිරිදෙයි. එසේ දිරි දෙමින් ඔහු හනි හනිකට ඔහුගේ බස් රථයට ඉගිලෙයි. දිනක් මේ කටයුත්ත අප පාසලට අලුත ආ තරුණ ගුරුවරියකගේ අතටම අසු විය. මා වැනි නොදරුවකු ජනාකීර්ණ කලබලකාරී මහමඟ තනිව දමා යෑමේ බරපතල ආදීනව පිළිබඳ මහා දේශනයකට ඒ ස්ථානයේදීම සවන් දීමට ඔහුට සිදුවිය.
නෝන්ජල්ම වැඩේ වූවේ, ඈ, මගේ මාමා, මගේ පියා යැයි සිතා කතා කිරීමයි. මුහුණට දරාගත නොහැකි රස්තියාදුකාර රැවුල නිසා ඔහු කෙරෙන් යම් වයසට වඩා මෝරන ලද වැඩිමහලු ගතියක් පෙන්නුම් කෙරිණි. ඔහු ඇගේ වැරදි හඳුනාගැනීම නිවැරදි කිරීමට වෙහෙසුණේ නැත. වචනයක් තෙපලන්නට වෑයම් කළේද නැත. කොටින්ම පොඩි මාමා මෙලෙස මීයෙකු ලෙස හැසිරී තියෙනු මීට පෙර මා දැක තිබුණේද නැත. ඇත්තෙන්ම ඒ වෙලාවේ ඔහුගේ මුහුණනම් බලන්නටම වටින මුහුණකි. එවන් ලැජ්ජාබරිත අවස්ථාවක් ඔහුගේ විසේකාර ජීවිතයට මහා කළු පැල්ලමක් එක් කළා විය යුතුය. හොඳ වෙලාවට මා දන්නා කිසිවෙකු හෝ දන්නා අයෙකු දන්නා කිසිවෙකු හෝ ඒ අසල සිටියේ නැත. සිටියා නම් ආයේ පාසැල් ගොස් හමාරය. කින්ඩි ලෝකයකි. මාමා නම් චාටර් වූයේ එකකින් දෙකකින් පමණක් නොවේ- හතරකින් පහකිනි. පළමුවැන්න නම් කිසි ලෙසකින්වත් නොසිතූ ලෙස මගේ පියා වන්නට සිදුවීමයි. දෙවැන්න නම් වැඩිහිටියෙකු ලෙස තමන්ගේ නොසැලකිලිමත්භාවය පිළිබඳ කෙල්ලෙකුගෙන් කතා අහන්නට සිදුවීමයි. තෙවැන්න නම් අහළ පහළින් ගිය පිරිස් වෙන වැඩක් නැතිවාක් මෙන් ඒ වටා රැස් වීමයි. එය විතරක් නොවේ. තමා දරුවාගේ පියා බව සිතාගත්, රැස්වූ මව්වරුන්ගෙන්ද ඔහුට අපවාද අහන්නට සිදු විය. සිව්වැන්න නම් තමාගේ ක්රියාකලාපය ම'පියාට හෝ මව්ට ආරංචි වුවහොත් ගෙදර බත්කා හමාර වීම හෝ ඒ ආසන්න යමක් සිදුවීමට ඇති ඉඩකඩයි. බොහෝවිට මේ සා දේශන කාලය තුළ මුනිවත රැකීමේ තීරණයට ඔහු එළඹෙන්නට ඇත්තේ යටකී හේතුව නිසා විය යුතුය. නැතිනම් මාමා වැනි කෙනෙකු කෙල්ලෙකුගේ බණකතා අසන්නට හීන් සද්දයක් නොමැතිව මෙලෙස රැඳී සිටින්නේ නැත. කෙමෙන් කෙමෙන් රතුවන ඔහුගේ කන් යුගලය ගැන පුරසාරම් මා ඔබට කිව යුතු නොවේ. කෙසේ වුවද මේ සිද්ධිය, අවසානයේ කෙළවර වූයේ ඔහුට, බස් රථය මග හැරීයාම, මා ගේට්ටුව අසලටම ගොස් හැරලන්නට සිදුවීම, සහ ඉතා වටිනා වැදගත් අත්යවශ්යය කැම්පස් දේශනයක්ද මඟ හැරි යාමෙනි. ඒ සඳහා නම් මගේ මාමාගෙන් කිසිඳු සමාවක් ඇයට ලැබුණේ නැත. නමුදු එතැන් පටන් කෙතරම් පමාවුවද ඔහුට ගේට්ටුව අසලටම ගොස් මා පාසලට භාරදෙන්නට සිදුවූයේ අහම්බයකට හෝ මුර කරන්නට හෝ, අප යන බොහෝ වෙලාවකම ඇය ගේට්ටුව අසල රැඳි සිටි නිසාවෙනි. එහෙත් ඒ හමුවන සෑම වෙලාවකම ප්රශංසාත්මක අගය කිරීමේ සිනහවකින් අප ආමන්ත්රණය කරන්නට ඇය අමතක නොකළාය. නමුත් එම ආමන්ත්රණය මද පමණක ප්රති සිනහවකට පමණක් සීමාවූයේ පොඩි මාමා ආඳෙකු මෙන් මා භාරදුන් කෙණෙහි ලිස්සා ගිය නිසාය.
තත්වය එතැනින් නැවතුණේ නැත. නව වසරේ මාගේ පංති භාර ගුරුවරිය ලෙස පත්ව ආයේ ඇයයි. මේ ආරංචිය මාමාගේ කනෙහි තැබූ විගස ඔහුගේ මුහුණ කපටි සිනහවකින් සැරසී ආයේ 'දෙන්නංකො වැඩේ' කියන්නාක් මෙනි. තමනට සද්දය දැමූ ප්රාථමික ශ්රේණියේ ගුරුවරියගෙන් වාඩුව ගන්නට ඔහු සැදී පැහැදී සිටියේය. ඔහුගේ සිතෙහි කුමන ආකාරයක සැලසුමක් දියත් විනිදැයි මා දැන සිටියේ නැත. නමුත් ඔහුගේ සෑම වැඩක්ම ‘මරු’ වැඩක් වන නිසාත් එය මෝඩ පහේ කුඩා විහිළුවක් විය යුතුය යන පූර්ණ විශ්වාසය නිසාත් ඕනෑම අන්දමේ සහයෝගයක් ලබා දීමට මම ද නොපැකිලිව ඉදිරිපත් විමි. මා කල යුතුව තිබුණේ පළමු වාර අවසාන ගුරු දෙගුරු රැස්වීම ගෙදරට නොවපවසා ඊට ඔහුව කැඳවාගෙන යාම පමණී. මාගේ මව්පියන් සමඟ පෙර වර්ෂයේ පැවති රැස්වීම් වල ලැබ තිබූ පීඩිත අත්දැකීම් හේතු කොටගෙන මම ද ඊට එකපයින්ම එකඟ විමි.
දිනය එළඹිණි. මාමා කෙලෙස සියල්ලන්ගේ ඇස් වසා එය සිදුකළේදැයි මම නොදනිමි. නමුත් ඔහු එය සිදු කළේය.
අලුත් ගුරුවරිය, පාසල ඇරී මා නිවසට කැඳවාගෙන යාමට කාර්යබහුලත්වය මැද හදිස්සියේ එන මගේ මව් යම් අවස්ථාවල දැක තිබූ මුත් ඈ නියම පියා දැක නොතිබීම අපට වාසියක් විය. දෙවන වසරට මා ගිය පළමු දිනයේද ඈ මගේ මව් හා කතා බහ කොට තිබිණි. නමුත් පියා ලෙස ඈ හඳුනා තිබුණේ උදයේ පැමිණෙන මාමා පමණී.
මාමා පැමිණියේ බොහෝ සේ පමාවීය. ඔහු එනතෙක් ටීචර් හටත්, දෙමව්පියන් හඳුනන මාගේ මිතුරන්ගේ මව්පියන් හටත් බොරු බේගල් ඇදබාමින් කල්මරන්නට මට සිදුවිය. ඔහුගේ පමාව හේතුකොටගෙන අප හට අවස්ථාව පැමිණියේ සියල්ලන් නික්ම ගිය මොහොතකය. මව්පියන් දැක ඇති මගේ මිතුරන්ගෙන් ගැලවෙන්නටද, එසේම ඔවුන්ගේ මව්පියන්ගෙන් ගැලවෙන්නටද මට එය මනා පිටිවහලක් විය. ඒ පමාව ඔහුගේ සැලසුමේ කොටසක් විය යුතුය.
කිසිවෙකුත් නොසිටි නිසා ඇත්තෙන්ම එය ඉතා නිස්කලංක හෝරාවකි. ඇය මාමා හා කතාබස් කළේ පූර්වයේ කී සිදුවීම කවරදාවත් සිදු නොවූවාක් ගානටය. ඈ කතාකරන්නට වූයේ මා ගැනය. මා ඉතා දක්ෂ සිසුවෙකු බව ඇය කීවාය. ඉන් පසුව මා කල කී දේ පිළිබඳව ඇය තබාගත් සටහන් වාර්තා ඔහු හට පෙන්වන්නට පටන් ගත්තේ මා අගය කරමිනි. පියෙකු නොවූ මාමා මේ සියල්ලටම සාවධානව සවන් දී සිටියේ නව අත්දැකීමෙන් මුසපත් වූවෙකු ලෙසිනි. තරුණ ගුරුවරියක් දරුවන්ගේ උන්නතිය කෙරෙහි මෙතරම් උනන්දුවක් දක්වනු ඔහු කිසිලෙසකින්වත් අපේක්ෂා නොකළ සෙයකි. ඈ සියලු ලිපි ලේඛන එක් එක් ළමයාට වෙන් වෙන්ව ක්රමවත් ලෙස තබාගෙන ඇති ආකාරය දැක ඔහු මහත් විශ්මයට පත් විය. බොහෝවිට ඔහු පාසල් යන කාලයේ මෙවැනි ගුරුවර ගුරුවරියන් ඔහුට නොසිටියා වෙන්නට පුළුවන. ළමයින් කියන කරන දේ පමණක් නොව ඔවුන් කන බොන අඳින පළඳින හැසිරෙන ආකාරය පිළිබඳව පවා ඈ මනා අවබෝධයකින් පසුවූ බව දැකගත් ඔහු විස්මය මුසු වියවුලකින් පසුවූ බව ඉරියව් තුළින් පෙනිණ.
ඉන්පසුව ඈ කරන්නට යෙදුණේ පංති කාමරය වටා මාමා රැගෙන ගොස් මා විසින් සිදුකළ අත්වැඩ හා කලා ක්රියාකාරකම් පෙන්වීමයි. පොඩි මාමා මගේ නම සොයනා අතරේ අනෙකුත් ළමයින් අතරින් මාගේ ක්රියාකාරකම් පෙන්වීමට ඇයට තත්පරයක්වත් ගත නොවිණි. මේ අල්ලපනල්ලේ මේ සියල්ලටම වඩා මා අවධානයෙන් පසුවූයේ මා කෙරෙහි සිදුවන ගුණ වැයුම නොව මාමාගේ සැලසුම ක්රියාත්මක වන තුරුය. නමුත් ඔහුට නම් ඒ පිළිබඳ වගේ වගක් නොවිණි. ඇත්තෙන්ම මේ වන විට ඇයගේ කතාබහ ඔහුගේ සිත තුළ පැවති තරහව නිවාලන්නට සමත් වී තිබිණි. පෙරකී සිදුවීමද ඔහුගේ සිතෙන් පලාගොස් තිබිණි. ගුරුදෙගුරු හමුවේ අවසන් විනාඩි කිහිපය ඇය වෙන් කළේ මාගේ නරක ගැන කියා පෑමටයි. මා පොත පත අධ්යාපනය කෙරෙහි යම් උනන්දුවක් දැක්වූවද අතිරේක ක්රියාකාරකම් කෙරෙහි සැලකිල්ලක් නැති බවට ඇය චෝදනා කළාය. ඇයගේ යෝජනාව වූයේ මා ක්රීඩා සඳහා සහභාගි කරලන්නට උනන්දු කරවිය යුතු බවත්, කලා කටයුත්තකට යොමු කරවිය යුතු බවත්ය. පාසල් නාට්ය කණ්ඩායමට බැඳී කටයුතු කරන්නේ නම් ඇයට ඊට උදව් දිය හැකි බවත් දන්වා සිටියාය. මාගේ මාමාද බොහෝ සුහදව එයට එකඟ වී මා එසේ දිරිගන්වන බැව් පොරොන්දු වී පංති කාමරයෙන් එළියට පැමිණියේ නව ජීවයක් ලැබූ පියෙකු ලෙසිනි. ඔහු ඇගේ සිසුවෙකු නොවූවත්, ඈ ඔහුගේ ජීවිතය වෙනස් කොට තිබිණි. එතැන් පටන් ඈ කෙරෙහි කෝපයක් හෝ වෛරයක් ඔහු තුළ නොවිණි. ඔහුගේ සිත තුළ ක්රියාත්මක වූ සැලසුම ඒ සමඟම වැළලී ගිය අතර ඒ සැලසුම කුමක්දැයි දැන සිටියේද ඔහුම පමණකි.
සියල්ල සාමකාමීව එසේ කෙළවර වූ මුත් අබග්ගය සිදු වූයේ මාහටය. ඒ මාමා පූර්ණ කාලිනව මාගේ පියාගේ කාර්යභාර්ය ඉටු කරන්නට තීරණය කිරීමත් සමඟය. ඔහුගේ ඔළුවට ඒ අමුතු අදහස ආයේ මන්දැයි මම නොදනිමි. සමහර විට ගුරුවරියට වැඩක් දිය යුතුය යන පාපකාරී සිතුවිල්ල ක්රියාත්මක කරවීමට සිත් දීමේ පවින් මිදීම සඳහා විය යුතුය. කෙසේ වුවත් ඔහුගේ බලවත් ඇවටිල්ල නිසා මා හට පාසල් නාට්ය කණ්ඩායමට බැඳෙන්නට සිදුවිය. වේදිකාවට නැග අතපය වනමින් මහා හයියෙන් කතා කරන්නට සිදුවීම එකල මා දැක්කේ විකාරයක් ලෙසය. එය චිත්රපටයක හෝ ටෙලිනාට්යයක රඟපෑම තරම් ආශ්වාදජනක කටයුත්තක් නොවේය යන්න මා මනසේ පැලපදියම්ව තිබූ අදහසකි. ඔහුගේ චාටු වදන් මේ සිතුවිලි වෙනස් කරන්නට ගත කළේ නිවාඩු කාලය පමණී. මා ආ ගමන් මඟ සැලකීමේදී මා සිතන්නේ ප්රාථමික පාසලක් වුවද නාට්ය කණ්ඩායමක සාමාජිකයෙකු වන්නට ලැබීම මා ලද භාග්යයක් බවයි. ඒ සඳහා පූර්ණ ගෞරවය ඇයටත් ඔහුටත් හිමි විය යුතුය. එසේ වුව ද ඔහු එතැනින් පමණක් නැවතුණේ නැත. ඈ කියූ පරිදිම මා හට ක්රීඩා කෙරෙහිත් ආසාව ඇති කරලන්නට ඔහු කටයුතු කළේය. ඒ සඳහා ඔහුට බොහෝ විය හියදම් ගිය බව සැබෑවකි. මන්දයත් මාගේ ආසාව වැඩි කරවනු වස් ඔහු මා සමඟ විවිධ ආකාරයේ, ප්රසිද්ධ, නොයෙක් නොයෙක් ක්රීඩා තරඟ නැරඹීම කෙරෙහි කාලය වැය කල නිසාය. ඔහුගේ මේ උපක්රමයෙන් කිසිඳු යහපත් ප්රතිඵලයක් අත් නොවූයේ ක්රීඩාව යනු මගේ ශරීරාංගයක් නොවූ බැවිනි. මේ ගමන් වලදී ක්රීඩා කරන්නට අසාව වැඩි වීම කෙසේ වෙතත් ඔහුගේ මිතුරු මිතුරියන් අතර නම් මා හට හොඳ තැනක් ලැබිණි. මාගේ දෛවය ලියවී ඇත්තේ ක්රීඩා නැරඹීමකට විනා ක්රීඩා කිරීමකට නොවන බැව් ඔහුට ඒත්තු ගැන්වීමට මම අපොහොසත් විමී. ඔහුගේ කඩචෝරු අල්ලස් කීපයකට සහභාගී වූ කිසිඳු ක්රීඩාවකින් මා ජයග්රහණය නොකළමුත්, අඩුම තරමේ පාසල් කණ්ඩායමට හෝ තේරෙන්නට නොහැකි වූ මුත්, ක්රීඩාවෙන් අපේක්ෂා කල සියලුම හර පද්ධතීන් මාගේ ජීවිතයට එක්කාසු විය.
මාගේ බේගල්වල සාර්ථකත්වත්, මවගේ කාර්යබහුලත්වයත්, සහ මාගේ වාසනාගුණ මහිමයත්, මිතුරන්ගේ දෙමව්පියන් මාගේ මව් සමඟ ගුරුදෙගුරු හමුව පිළිබඳ කිසිත් කතාබහක නොයෙදෙන්නට හේතු කාරණා විය. නමුත් මේ සැහැල්ලු වාතාවරණය පැවතියේ මාස කිහිපයක් පමණී. දෙවන වාරය අවසන් වීමට පෙර, නව පන්තියේ ගුරුවරිය දැක මා ගැන කතා බහ කිරීමේ මහඟු ආශාවකින් පෙළීම නිසාමදෝ මගේ මව් හට යම්කිසි වැරද්දක ඉව වැටිණි. නැතහොත් යම්කිසි ඇන්ටි කෙනෙක් වැඩේ පත්තු කරන්නට ඇත. ඇය කාටත් හොරා පාසැල අමතා මාගේ පංතිභාර ගුරුවරිය සමඟ සම්බන්ධ වී පළමුවාර ගුරුදෙගුරු හමුව නොපැවත්වීමට කරුණු විමසුවාය. එවිට මා ගුරුවරිය පවසන ලද්දේ එය පැවැත්වූ බවත් දරුවාගේ පියා එයට සහභාගී වී ඇති බවත්ය. මාගේ මව් නියත වශයෙන්ම ඒ අසා උඩගොස් බිම වැටෙන්නට ඇත. මන්ද ම'පියා මාගේ අධ්යාපන කටයුතු කෙරෙහි එලෙස ස්ව කැමැත්තෙන් උනන්දුවන අවස්ථා අල්ප වන නිසාය. ඇත්තෙම නැති තරම්ය. එතැන් පටන් මගේ මව් රැඳි සිටියේ පියා එනතුරුය. ඔහු වැඩ නිමවී ගෙදර ආ විට දිවුරා ප්රකාශ කළේ එවැන්නකට ඔහු කිසිදා තනිව සහභාගී නොවූ බවයි. මගේ හැටි දන්නා නිසා එසේ සිහිනෙන්වත් තනිව සහභාගී වන්නට ප්රාර්ථනා නොකරන බවයි.
ඔවුනට ගුරුවරියගේ කතාව හතර බීරි කතාවක් වූවාට සැක නැත. වාසනාවකට මෙන් ඔවුන් මගෙන් කරුණු විමසන්නට නොපෙළඹුනේ මා අවිශ්වාස කල නිසාද එසේත් නැතිනම් මා ප්රශ්න කොට පෙළන්නට අකමැති වූ නිසාද යන්න කියන්නට මම නොදනිමි. කෙසේ වුවත් සියලුම වැඩ පසෙක ලා පසුදින පාසැල ඇරෙන මොහොතේ ගුරුවරිය සමඟ පියාගේ පටලැවිල්ල සම්බන්ධයෙන් කතා කළයුතු බව ඔවුහූ ඒකමතිකව රහසේ තීරණය කළහ. ඔවුනගේ කෝණයෙන් බලන කල සිදුවී ඇති දෙයෙහි බරපතලකම මා තේරුම් ගත්තේ මා වැඩිහිටියෙකු වූවාට පසුය. කෙසේ වුවත් මේ සියල්ල මාමාගේ අනුදැනුමකින් තොරව සිදුවූ නිසා ඇතිවන්නට යන භයානක තත්වය කෙරෙහි ඔහුට යන්තම් හෝ දැනීමක් නොවිණි.
පාසැල ඇරෙන මොහොතෙහි මවද පියාද දෙදෙනාම පැමිණ ඇති නියාව දැන මා මහත් විස්මයට පත්වූයේ සිදුවන්නට යන සන්තෑසිය පිළිබඳව කිසිඳු තොරතුරක් දැන නොසිටි නිසාවෙනි. ඔවුහු ගුරුවරිය හමුවට මා කැටුව ගොස් ඇයට කාරණය පැහැදිලි කළහ. ඒ පියා නියම පියා නොවන වග වටහාගත් මාගේ ටීචර් හට හීන් දාඩිය වැටිණි. මා ඔවුනගේ සංවාද මේසයෙන් තරමක් ඈතට, නමුත් නෙතු පොවන මානයට යොමු කෙරිණි. එසේ වුවත් එතැන කතාබහ වන සියල්ල මගේ කණට වැටෙන්නට කිසිදු බාධාවක් නොවීය. සිදුව ඇති පටලැවිල්ලට ඇය මාගේ දෙමාපියන්ගෙන් සමාව ගත්තාය. තමා මීට වඩා සුපරික්ෂාකාරී විය යුතු බව තමාටම ගිවිස්වා ගත්තාය. ඊළඟට සාකච්ඡාවට බඳුන් වූයේ ඒ පියා කවුරුන්ද යන්නයි.
එහිදී ඇය ගිලගත් වචන කිහිපය බොහොම අමාරුවෙන් එළියට දැම්මාය. ඇය සිතුවේ අප පවුල දෙදෙරා ඇති අසමගිය රජයන පවුලක් ලෙසටය. ඈ ගෙන හැර පෑවේ එහි බලපෑම මාවෙත ලැබී ඇති බවකි. කෙතරම් සැර බාලකොට ඇය මේ ගැන විමසුවද ඒ වචන කිහිපය මගේ මව් කෝප ගන්වන්නට සමත් විය. මගේ පියා සිනාමුසුව එය ප්රතික්ෂේප නොකරන්නට මහා ගාලගෝට්ටියක් සිදුවන්නට ඉඩ කඩ තිබිණි. ඉන්පසුව ඇය විමසුවේ මා නිවසේ වෙසෙන්නේ බොහෝ අසතුටින්ද යන්නයි. මා යම්කිසි මානසික වියවුලකින් පෙළෙන්නේ යයි ඇයගේ ඊළඟ නිගමනය විය. මගේ පියා එයටද සන්සුන්ව පිළිතුරු දුන්නේ එහෙම දෙයක් දැනගන්නට නැති බවයි. ඕනෑම සාමන්ය නිරෝගි කොල්ලෙකු නිවසෙහි හැසිරෙන පරිද්දෙන් මාද නිවස උඩු යටිකුරු කරන බව සිනාමුසුව ඔහු ප්රකාශ කළේය. මේ වනවිට මගේ මව් කෝපයේ අති උත්ක්රමණයටම ගමන් කොට තිබුණේ මා නිසාද ගුරුවරියගේ වදන් නිසාද පියාගේ හැසිරීම නිසාද යයි හරියටම මම නොදනිමි. මෙවැනි අදහස් කතාකිරීමෙන් ඵලක් නොවන බව වටහා ගත් ම'පියා ඉන්පසු ගුරුවරියගෙන් විමසා සිටියේ මේ නව පියාගේ හැඩහුරුකම් කෙසේද යන්නයි. ඇය හැකි සෑම අයුරකින්ම මාමාගේ හැඩ හුරුකම් කියාපාන්නට වූවාය. නමුත් මේ විස්තරයෙන් ඔවුනට පොඩි මාමා ගැන මතකයට නගාගන්නට හැකියාවක් නොවිණි. ඉන්පසුව පැන නැගුණු නිශ්ශබ්දතාව බිඳනු වස් ඇය නැවත වරක් විමසා සිටියේ මා යම්කිසි චිත්ත පීඩාවකින් පෙළේද යන්නයි. මේ නව පියාගේ ආගමනය මාගේ පූර්ණ අනුග්රහය යටතේ සිදුවූවක් නිසා මා මෙහි මූලික පාර්ශවකරුවෙක් බවත් මාගේ ඉල්ලීමකට මෙය කරන්නට ඇතැයි යන්නත් ඇය තරයේ කියා සිටියාය. මේ පුද්ගලයා මා සමඟ සිටිනු නිතර දෙවේලේ දැක ඇති බවත්, ඒ ගුරුහමුවෙන් පසුව මාගේ සැබෑ ප්රගතියක් දක්නට ලැබූ බවත් ඇය ප්රකාශ කළා ය. මා අතිරේක ක්රියාකාරකම් කෙරෙහි පෙන්වූ මන්දගාමී ස්වභාවය එම ගුරුහමුවෙන් පසුව සැබෑලෙසම වෙනස්වූ බව ඇය ප්රශංසාත්මකව කියා සිටින විට මාගේ දෙමාපියන්ට කුමක් සිතුණාදැයි කියන්නට මා දන්නේ නැත.
ඉනික්බිති ඇය කියන්නට වූයේ මා පූර්වයේ කියන්නට යෙදුණු ඇබැද්දියයි. අකුරක් නෑරම සිදුවූ සියල්ල ඇය ඈගේ කෝණයෙන් බලා, කියන්නට වූවාය. මාමාගේ තිබූ නොසැලකිලිමත්කමත් ඉන්පසුව ඔහු එය නිවැරදි කරගත් ආකාරයත් මනා ලෙස ඇය කියා පෑවාය. මේ සියල්ල විමසුම් ඇසකින් අසා සිටියේ ම'පියා පමණී. මගේ මව් ඒ වන විට පුපුර පුපුරා සිටියේ කෝපය හා සන්තාපය මුසුවූ හැඟීමකිනි. කෙසේ වුවද මේ නව පියා කවූරුන්දැයි කියා ටක්කෙටම ම'පියා හට ඒ වන විට වැටහී තිබිණි. එය තහවුරු කරගනු වස් ඔහු ජංගම දුරකතනය දිග හැර ඡායාරූපයක් ඈ වෙත ගෙනහැර පා මාමාගේ මුහුණට ඇඟිල්ල යොමු කළේය. මාගේ නව පියා කවුරුන්දැයි ස්ථීර විය. මෙතෙක් වෙලා සන්තාපයෙන් වෙලී තිබූ මව්ගේ මුහුණට සිනා රැල්ලක් එබිණි. මෙය මාමාගේ මගෝඩි වැඩක් බව දෙමහල්ලන්ටම පසක් විණි. ඔවුනගේ මීළඟ කාර්යභාර්ය වූයේ කලබල වන්නට කිසිඳු දෙයක් නැති බැව් ගුරුවරියට වටහා දීමයි. අත්දැකීම් නොතිබූ ගුරුවරියක් එවදන් කෙලෙස වටහා ගත්තාදැයි මම නොදනිමි. ඕනෑම මගෝඩි වැඩක් කිරීමට මා සහ මාමා තකට තක ජෝඩුවක් බවත්, මෙය ඔවුන් අතින් කරන්නට යෙදුණු විහිළුවක් බවත් කෙතරම් කියාපෑවද තරුණ ගුරුවරිය ඇගේ මතයේම එල්බ සිටියාය. කෙසේ වුවද අවසානයේ ගුරුහමුව නිමා වූයේ නැවතත් එබන්ඳක් සිදුනොවන්නට වග බලාගන්නා බවට මාගේ මව්පියන් පොරොන්දු වීමෙනි. එමෙන්ම මා කෙරෙහි දැඩි විමසිල්ලකින් පසුවන්නටද ඔවුහු පොරොන්දු වූහ. පාසල් කලාපය පොඩි මාමාට තහනම් කලාපයක් බවට නියෝග කෙරිණි. මින් මතු මාමා මා ඇරලවන්නට පැමිණෙන්නේ නැත. ඔවුන් ඇයගෙන් උදක්ම ඉල්ලා සිටියේ මේ පිළිබඳව ඉහළට වාර්තා නොකරන ලෙසය. ඒ මාමාට ඉන් කරදරයක් ඇති විය හැකි බැවිනි.
ගුරුහමුව ඉන් අවසන් වූවත් ගාලගෝට්ටිය ඉන් අවසන් වූවේ නැත. නිවසට යන්නට කාරය තුළ රැඳි සිටි සම්පූර්ණ කාලය තුළ මවගේ අත පය සෙලවුණු ඝෝෂාව අස්සේ පියා වාහනය කෙසේ නිශ්ශබ්දව පැදවූවාදැයි මා දන්නේ නැත. මා පිටුපස ආසනයේ සිටි බැවින් විටින් විට ලැබුණද සම්පූර්ණ අතක ගුටි පහරින් මම ගැලවුණෙමි. නිවසට ගොඩවැදුණද නිහඬ බවක් උදාවූයේ නැත. එදින රාත්රිය තෙක්ම මාගේ මව්, මා හටත් මාමා හටත් නිරතුරුව දෙස් දෙවොල් තබන්නට පටන් ගත්තාය. මාමා එවෙලෙහි නොසිටි නිසාත්, හාන්කවිසියක් මේ ගැන නොදත් නිසාත් සියල්ල අසා සිටින්නට වූයේ මා හටය.
"ඇයි ඔච්චර කලබල වෙන්නේ. එච්චර ලොකු දෙයක් වුණේ නැහැනේ. මිනිහට පොඩි විහිළුවක් කරන්න හිතෙන්න ඇති පුරුදු වෙන්නත් එක්ක. අනික නරකක් වෙලාත් නෑනේ." පියා සිනහවක් මුවට නගා එසේ පැවසුවේ දෙසවනට තවත් දරාගත නොහැකි නිසා විය යුතුය.
"ඔව්, ආස ඇති මෙයත් ළමයගෙ වැඩ කරඅරින්න" යැයි කියා මගේ මව් ඊට දුන් වැල නොකැඩී ගිය පිළිතුරින් පසු ම'පියා කරබාගත් මුහුණින් සියල්ල අසා සිටියා මිස වදනක් දොඩන්නට නොයෙදුණේය. මව්ගේ කන්කරච්චලය අඩු වුණේම නැත. වළඳක් ලිප තබන්නට ගියත් ඇය කියවයි. කෑවත් කියවයි. බීවත් කියවයි. ඇවිද්දත් කියවයි. කොටින්ම වැසිකිළියට ගියෙත් නෝක්කාඩුවක් කියාගෙනය. ඒ මාමා කෙරෙහි වෛරයකින් නොවේ. ඇය ඔහුට ඇයගේම දරුවෙකුට මෙන් සෙනෙහස දක්වයි. ඒ ඔහු කුඩා කළ ඇගේ ඇකයේ හොවා නැළවු චූටි මල්ලී නිසාවෙනි. මාමා කැමති කෑම බීම ඇඳුම් පැළඳුම් සියල්ල මනා ලෙස ඇය දනී. පෙළක් විට ඔහු කැමතිම කෑමක් සාදා ඔහු පිනවීම ඇයගේ සිරිතය. ඔහුද ඇයට මවකට මෙන් සලකයි. නමුත් ඉන් ඔහුගේ විසේකාර වැඩ සඳහා අවසරයක් නැත. ඇය කෝප ගැන්වෙන්නේ ඔහුගේ මෙවන් මගෝඩි වැඩ නිසාය. මා දන්නා කාලයේ සිට නොදන්නා කාලය දක්වා ඔහු විසින් කරන්නට යෙදුණු බොහෝ ක්රියාකාරකම් මෙහිදී ඇගේ මුවින් සීඝ්රයෙන් මතුවිය. නමුත් අද බරපතල තත්වයකි. මෙය සුළුපටු මගෝඩියක් ලෙස සැලකිය නොහැක. ඇත්තෙන්ම ඔහු අතින් වැරදි දෙකක්ම සිදුවී ඇත. පළමු වැන්න නම් නොසැලකිලිමත් ලෙස මා මහ මඟ දමා යාමට පෙළඹීමයි. කවරදාකවත් මා එවැනි අවස්ථාවල අනතුරකට පත් වී නොමැති බව සැබෑවකි. මා පාසල් ගේට්ටුව කරා යනතෙක් බස් රථය කෙසේ හෝ නවතාගෙන ඈත සිට ඔහු බලා සිටි බව මම පසු කලෙක දැන ගතිමි. කෙසේ වුවද දෙවන වරද නම් ඔවුනගේ දරුවාගේ පියා ලෙස ගුරුවරියක් ඉදිරියේ ව්යාජව පෙනී සිටීමයි. මේ නිසාම අපේ පවුල පිළිබඳ වැරදි වැටහීමක් මාගේ ගුරුවරියකගේ සිත තුළ ජනිත වී ඇත. අද නම් මාමා මගේ මව්ගේ හැඳිමිටි පහක දහයකවත් පහර රසවිඳිනු ඇති බැව් පෙරමඟ සලකුණු තිබේ. ඇයද තතනමින් බලා සිටින්නේ ඔහු එනතුරුය. මාද බලාසිටින්නේ ඒ මනරම් අවස්ථාව දැක බලාගන්නා තුරුය. මේ සිද්ධිය මාමාට කින්ඩි දැමීමට මා හට අවුරුදු හය හතකටවත් ප්රමාණවත් වනු ඇත. ඉඳින් ඔහු නිවසට පැමිණි විට සිදුවූ සන්තෑසිය මා දැන්ම විස්තර කල යුතු නොවේ. එය වෙනමම කතාවකි.

Comments