Valipilla : වැලිපිල්ල

Following are few thoughts about Sri Lankan Traditional Tool Valipilla - වැලිපිල්ල that can be found on in the web sphere.




The Valipilla in Martin Wickremasinghe Museum [1].

'පාසලට යන්න කලින් අපි අකුරු ලියන්න ඉගෙන ගත්තෙ ගල් ලෑල්ලෙ. ඊට කලින් දරුවො අකුරු ලිව්වෙ කොහේද? වැලිපිල්ලෙ. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා මේ වැලිපිල්ල ගැන අපූරු සටහනක් තබා තිබෙනවා. ඒ ඔහුගේ උපන් දා සිට නම් වූ සිය ස්වයං චරිතාපදාන කෘතියේ.[2]'

"මා ගුරු ගෙදරට ගොස් පාඩම් පොත් කියැවූයේ ආසාවෙනි. නොතේරෙන අංඩර දෙමළය ලෙස සැලකිය යුතු වදන් පවා මම සන්තෝෂයෙන් උගත්තෙමි. පුස්කොළ හෝඩිය හා වදන් කවි පොත ද කියැවීමෙන් හා වැලිපිල්ලේ ‘අයනු ආයනු’ ලිවීමෙන් ද මා විනෝදාස්වාදයක් ලැබුවෙමි."

------------------------------------------------------------------------------------------------------------------

'පුරාණ කාලයේ දරුවකු මූලික අධ්‍යාපනය ආරම්භ කළ සැටි ආනන්ද කේ.කුමාරස්වාමි මහතා සිය මධ්‍ය කාලීන සිංහල කලාකෘතියේ (පරිවර්තනය එච්.ඇම්.සෝමරත්න) සටහන් කර තැබූ ආකාරය පහත වේ [3].'

”අකුරු උගත්තේ ගී තාලයට ශබ්ද නඟා පුන පුනා කීමෙනි. ශිෂ්‍යයා ගුරුවරයා ඉදිරියේ නැඟී සිට, වැසූ පොත නළල මත තබාගෙන, තම පාඩම කට පාඩමින් කීයේය. වැරැදීමක් හෝ ඇනහිටීමක් නොමැතිව හෝඩිය කට පාඩමින් කිය හැකි වන තාක් අන් කිසිවක් නූගන්වන ලදී. .....ලිවීම උගන්වන ලද්දේ මේ සවිස්තර පුන පුනා කීම හොඳ හැටි ඉගෙනගත් පසු පමණි. වැලි අතුරන ලද වැලි පිළ නම් වූ පටු ලෑල්ලක් මත (ලිවීමෙන්) ලිවීම ඉගෙන ගන්නා ලදී."

----------------------------------------------------------------------------------------------------------------------

'1940 දී “අපේ ගම” කෘතිය ලියා පළ කළ වික්‍රමසිංහයන් සිය ජීවිතයේ හතළිස් වසරකට පමණ පෙර සිය මුල්ම අධ්‍යාපන පෙරහුරුව ලැබූ අයුරු සිහි කරන්නේ මෙලෙසිණි [3],[5].'

මැදැඟිල්ල මත දබරැඟිල්ල තබාගෙන මැදැඟිල්ලෙන් වැලිපිල්ලේ ලොකු අකුරු ලියූ සැටි සිහිකරන විට මා තුළ ප්‍රීතිය පමණක් නොව අතීතයට එබී බලන්ට තුඩු දෙන කුතුහලයක් ද හට ගනියි..... 
ඇඟිල්ලෙන් ලිවීම සඳහා මුහුදු වැලි අතුරන ලද කළුපාට ඵලකයට එකල වැලිපිල්ල යයි කියන ලදී.
මුහුදු වැලි උඩ ඇඟිල්ලෙන් අකුරු ලියත් ම වැලි දෙපැත්තට වීමෙන් හෑරෙන අගලෙන් කළුපාට ලෑල්ල මතුªවී පෙනෙයි. එවිට වැලිපිල්ලේ ලියන ලද අකුරු දුර සිට බලන්නෙකුට පෙනෙනුයේ සුදු සායම් ගෑ ලෑල්ලක දැලි අඟුරෙන් ලියන ලද අකුරු ලෙසිනි....

ගල්ලෑලි හා ගල්කූරු පාසලින් පැන්නූ නිසා තීන්ත පෑන් සහ ඇක්සයිස් පොත් බහුල වූ මෙකල ගම්බද ළමයකුට වුවද වැලිපිල්ල අමතක වූ උපකරණයකැයි සිතමි.... 
කඩදාසියෙන් සාදන ලද කොපි පොතෙහි මා පිහාටු පෑනෙන් ලියන්ට පටන් ගත්තේ වැලිපිල්ලේ ලිවීමෙන් ටිකක් අත පුරුදු වුණු පසුය.

-----------------------------------------------------------------------------------------------------------------------

කි‍්‍ර.ව. 1348 දී ශ‍්‍රී ලංකාවට පැමිණි විදේශ සංචාරකයකු වූ මරිඤ්ඤොල්ලි මෙරට දරුවන් වැලිපිල්ලේ අකුරු ලියා උගෙන ගත් අයුරුත් උගතුන් පුස්කොළවල පන්හිඳෙන් ලියූ සැටිත් සිය සටහන්වල ලියා ඇත්තේ ය [5].

ගණදෙවි හෑල්ලේ ඒ ගැන සඳහන් වනුයේ "සෝඩිය ද ගෙන’තිනේ – වැල්ලේ ද ලියමිනේ’" යනුවෙනි [5].

වදන්කවි පොතේ ද "ලියා අකුරු වැල්ලේ ගෙඩි නො කා දැනා" යනුවෙන් වැලිපිල්ල ගැන සඳහනක් එයි  [5]. 

වැලිපිල්ල හෙවත් ‘වැලිපිල’ මෑත කාලයක් වන තුරුම අකුරු උගැන්මට භාවිත වූ බව පෙනෙන්නට ඇත  [5]. 

හිත්තටියේ ශ‍්‍රී උදිත නා හිමියන් සිය ‘භාරතීය ධර්මශාස්ත‍්‍ර සහ සිංහල සිරිත් විරිත් කෘතියේ ඒ ගැන සඳහන් කරනුයේ මෙලෙසිනි.  [5] : “..අතපොත් තැබීමෙන් පසු ව වැලිපිලේ අකුරු ලියවීම හෙළදිව පැරණි සිරිතකි. රියන් දෙකක් පමණ දිග රියනක් පමණ පළල, වැටේ ලෑලි පටි ගසා ආවරණය කොට, ඉතා සිහින් වැලි ඉස සකස් කළ ‘වැලිපිල’ මෑතක් වනතුරු ඇතැම් පැරණි පන්සල්වල විය... එදා සිරිතට අනුව වැලිපිලේ ලිවීමෙන් හා මේ ශතක පොත් කීමෙන් ලිවීමට හා කියවීමටත් මනා ව පුහුණුවක් ලත් සමහරු වෛද්‍ය, ගණිත, නක්ෂත‍්‍ර පිළිබඳ දැනුමක් පන්සල් අධ්‍යාපනයෙන් ම ලැබූහ."

-----------------------------------------------------------------------------------------------------------
'වැලිපිල්ල අපේ භාවමය උරුමයක්. අපි අකුරු ලීවේ ගල්ලෑල්ලේ. අපිට කලින් පරම්පරාව අකුරු ලිව්වේ වැලිපිල්ලේ. දැන් පරපුර ලියන්නේ touch system වල [4].

'මැකීම කියන කාර්යය සඳහා අපි විවිධ තාක්‍ෂණික දේවල් භාවිතයට ගන්නවා. ගල්ලෑල්ලේ ලියන දෙයක් මැකුවේ අතින් හෝ රෙදි කෑල්ලකින්. පැන්සලින් ලියූ දෙයක් මැකුවේ මකනයෙන්. පෑනකින් ලියූ දෙයක් tippex භාවිතයෙන් මකා දැමුවා. වැලිපිල්ල තමයි මේ සියල්ල අතර ලිවීම සඳහා වගේම මැකීම සඳහා බාහිර උපකරණයක් භාවිත නොකළ නිෂ්පාදනය. එහි අද වනවිටත් දැනෙන්නේ අපූර්වත්වයක්. touch system වලත් ඒ තාක්‍ෂණය භාවිත වෙනවා. නමුත් touch screen කියන්නේ වැලිපිල්ලට නෙමෙයි. එය වැලිපිල්ලේ දියුණු අවස්ථාවක් [4].'

'වැලිපිල්ල කියන්නේ ඉතිහාසයේ අකුරු කරන්නට භාවිතයට ගෙන තිබුණ උපකරණයක්. ඉතිහාසයේ තිබූ වැදගත් දේවල් අෑත් කරන අපිට අකුරු ඉගෙන ගත් තැන මතක් කිරීමක් මෙයින් සිදු කරනවා. අපි භාවිත කරන touch screen වල මුල් අවස්ථාව තමයි වැලිපිල්ල. මේවායේ තියෙන තාක්‍ෂණය සමානයි. වැලිපිල්ල පාවිච්චි කිරීමට විද්‍යාත්මක බවක් තියෙනවා. වැලි මත ඇඟිලි වදින විට මනස වර්ධනය වීමක් සිදුවෙනවා. ඒ නිසා වැලිපිල්ලේ අකුරු කරන්න හුරුවීම වැදගත් [4].'

'වැලිපිල්ල භාවිත කිරීමෙන් දරුවන්ගේ නිර්මාණශීලීත්වයද වර්ධනය වීමක් සිද්ධ වෙනවා. පවතින ක්‍රමයේදී දරුවාට සිද්ධ වෙන්නෙ ඇඳලා තිබෙන චිත්‍රයක් පාට කිරීම පමණයි. එහිදී චිත්‍රයක් අඳින්න දරුවා ඉගෙන ගන්නේ නැහැ. ඒ නිසා දරුවගේ නිර්මාණශීලීත්වය අත්හදා බලන්න වැලිපිල්ල භාවිත කරන්න පුළුවන්. මේ අවශ්‍යතාව හඳුනාගෙන පැවැති වැලිපිල්ලට අලුත් අර්ථයක් දෙන්න Touch System වලට පුළුවන්.[4]'

-----------------------------------------------------------------------------------------------------------------------


Reference

[1] ඉනෝකා සමරවික්‍රම(Inoka Samarawickrame), විමල් කරුණාතිලක (Wimal Karunathilake), ‘සිංහල ලකුණ’ සොයා මහ ගෙදරට ගිය ගමනක්', සිළුමිණ: රසඳුන, ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම, July 18, 2010 [Online]. Available: http://www.silumina.lk/2010/07/18/_art.asp?fn=av1007188&p=1 [Accessed Jan. 11, 2016].

[2] සුමේධා නවරත්න(Sumedha Naverathne), 'එකෝමත් එක කාලෙක අපි කොහොමද පාසල් ගියේ?', සිළුමිණ: විශේෂාංග, ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම, Nov. 07, 2010 [Online]. Available: http://www.silumina.lk/2010/11/07/_art.asp?fn=af1011077 [Accessed Jan. 11, 2016].

[3] සුමේධා නවරත්න(Sumedha Naverathne), 'සිතට තවම මිහිර ගෙනෙන එදා පළමු පාසල් ගමන?', සිළුමිණ: විශේෂාංග, ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම, Jan. 2, 2011 [Online]. Available: http://www.silumina.lk/2011/01/02/_art.asp?fn=af1101024&p=1 [Accessed Jan. 11, 2016].

[4] 'Touch System හි කිරිකිත්තා වැලිපිල්ල', Ceylon Today: මව්බිම, Nov. 07, 2010 [Online]. Available: http://www.silumina.lk/2010/11/07/_art.asp?fn=af1011077 [Accessed Jan. 11, 2016].

[5] ආචාර්ය ප්‍රේමදාස ශී‍්‍ර අලවත්තාගොඩ , ‘පැරණි සිංහල සමාජයේ අක්ෂර ඥානය සහ ශිල්ප ශාස්ත‍්‍ර අධ්‍යයනය', සිළුමිණ: පුන්කලස, ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම, Jan. 4, 2009 [Online]. Available: http://www.silumina.lk/punkalasa/20090104/_art.asp?fn=ar0901045 [Accessed Jan. 11, 2016].

Comments

  1. ඉතාම වටිනවා ! Upekha Vandebona ගේ වෑයම ඉතාම වටින්නේ එය ගම්මැදි හෑල්ලක් නොවී කියවන්නට සැලැස්වීම නිසයි.

    ReplyDelete
  2. ඉතාම වටිනවා ! Upekha Vandebona ගේ වෑයම ඉතාම වටින්නේ එය ගම්මැදි හෑල්ලක් නොවී කියවන්නට සැලැස්වීම නිසයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. මා එකතුවක් සකස් කළා පමණි. ප්‍රණාමය මුල් කතුවරුන්ට හිමිවේවා.

      Delete

Post a Comment